තම මව අහිමිවීමෙන් අතරමං වී සිටි ගෝන පැටවුන් දෙදෙනකු තනිවම කැලයේ ජීවත්විය හැකි වනතුරු රැකබලාගත් ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සංරක්ෂක කණ්ඩායම පසුගිය දා එම ගෝන්නු දෙදෙනා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ කන්නෙළිය වනාන්තරයට මුදා හැරීමට කටයුතු කළහ.
මෙම ගෝන පැටවුන් දෙදනො හියාරේ උද්භිද උද්‍යාන පරිශ්‍රයේ පිහිටි ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ අධ්‍යයනය කේන්ද්‍රයට ගෙනවිත් භාර දී තිබුණේ ද වනජීවී දෙපාර්තමේන්තුව විසිනි. එ් පසුගිය ජනවාරි මාසයේ දින දෙකක දී ය. එක් ගෝන පැටවකු දෙදියගල වනාන්තරය අසළ ගම්මානයකින් හමුවී ඇති අතර අනෙක් ගෝන පැටවා හමුවී ඇත්තේ වීරපාන ප්‍රදේශයෙනි.
ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති සත්ත්ව විද්‍යා පර්යේෂක මධුර ද සිල්වා මහතා මෙසේ කීවේය.
“ මේ පැටවුන් දෙදෙනා ම පිරිමි සතුන්. ඔවුන් අපට ලැබෙන විට වයස මාසයක්වත් වී තිබුණේ නැහැ. අම්මාගෙන් කිරි බොන වයසේ හිටියේ. ඔවුන්ට මවගේ රැකවරණය නැතිව වනාන්තරයේ තනිවම ජීවත් විය නොහැකි තත්ත්වයක් තිබුණා. ඒ නිසා අපට සිදුවුණා ඔවුන් දෙදෙනා රැකබලාගැනීමට. ඒ වගේම ඔවුන් ඉක්මණින්ම ස්වභාවික පරිසරයට මුදා හැරීමේ වගකීමත් අපිට තිබුණා. ඒ නිසා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ අපි මේ සතුන් දෙදෙනා රැකබලාගනිමින් ඇතිදැඩි කළා. අද ඉතාමත්ම සතුටුයි. ඔවුන් නිරෝගී සතුන් දෙදෙනකු හැටියට වනාන්තරය මුදාහැරීමට අපිට හැකියාව ලැබුණා.”
සිය මවගේ රැකවරණය හා උණුසුම අහිමිවූ මේ පැටවුන් දෙදෙනා රැකබලා ගැනීම පහසු වූයේ නැත. ඔවුන් හීලෑ සතුන් ලෙස පුරුදු කිරීම ද වනජීවී සංරක්ෂණ ක්‍රියාදාමයට පටහැනි බැවින් හියාරේ උද්භිද උද්‍යාන පරිශ්‍රයේ සාදා ඇති එළිමහන් කුටියක සතුන් දෙදෙනාට තම රිසි පරිදි සිටීමට ඉඩ දී ඔවුන්ට අවශ්‍ය පෝෂණය ලබාදීම සංගමයේ සාමාජිකයන් විසින් සිදුකරන ලදී. මාර්තු මාසයේ ආරම්භ වූ කොරෝනා වසංගත තත්ත්වයත් සමග මෙය වඩාත් දුෂ්කර විය.
“ අපිට තිබුණු ලොකුම අභියෝගය මේ සතුන් දෙදෙනාට දෙන්නේ නැවුම් කිරි. පිටිකිරි හෝ වෙනත් දියරවර්ග වලට පුරුදු කරන්න බැහැ. ඒ වගේම සීනි සහ ලුණු රසට පුරුදු කරන්නත් බැහැ. කොරෝනා කාලේ දී කිරි සපයාගැනීම ඉතාමත් දුෂ්කර කාර්යයක් වුණා. පසුව ක්‍රමයෙන් අපි ඔවුන්ට තණකොළ හා කුඩා පැලෑටි දළු කෑමට පුරුදුවීමට ඉඩ හැටියා. මොවුන් දෙදෙනාම හොඳින් වැඩී නිදහසේ තමන්ගේ ආහාර වේල සොයාගත හැකි වූ විට තමයි මේ විදියට වනාන්තරයට මුදා හැරියේ.” මධුර ද සිල්වා මහතා වැඩිදුරටත් කීවේය.
සංරක්ෂණ ක්‍රියාවලියේ දී ඔවුන් මේ ගෝන පැටවුන් දෙදෙනා මිනිස් ඇසුරට පුරුදු වීම වළක්වා තිබේ. හැකිතාක් වනයටම හුරු කළ ඔවුන් මුදාහැරීමට කන්නෙළිය රක්ෂිතය සුදුසුයැයි යෝජනා කර තිබෙන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සහ වියළි කලාපයේ දක්නට ලැබෙන්නේ එකම ගෝන විශේෂයක් වුව ද ගෝන පැටවුන් දෙදෙනා කන්නෙළිය වනාන්තරයට මුදා හැරියේ ඔවුන් දෙදෙනා තෙත් කලාපයේ ම කන්නෙළිය, දෙයිගල හා නාකියාදෙනිය රක්ෂිතයට අයත් ප්‍රදේශවලින් හමුවූ දෙදෙනකු බැවිනි.
ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ හියාරෙ පිහිටි අධ්‍යයන කෙන්ද්‍රයේ වනසතුන් සංරක්ෂණ කටයුතු සඳහා නේෂන් ට්‍රස්ට් බැංකුව සමාජ සත්කාර අරමුදලකින් ආධාර සැපයීම සිදුකරයි. මෙලෙස සත්ත්ව සංරක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා එය මහත් ශක්තියක් බව සංරක්ෂණ සංගමය පැවසීය.
මෙම සතුන් දෙදෙනා කන්නෙළිය රක්ෂිත වනාන්තරයේ මායිමේ සිට කිලෝ මීටර 4කට වඩා වැඩිදුරක් වනාන්තර ඇතුළට ගෙන ගොස් නිදහස් කළ බව ද මධුර මහතා කීවේය.
එම කාර්ය සඳහා උඩවලව ඇත් අතුරු සෙවණ පශු වෛද්‍ය කණ්ඩායම, මිරිස්ස වනජීවී කාර්යාලය සහ හික්කඩුව වනජීවී කාර්යාලයෙන් ලැබුණු සහයෝගය ද වනජීවී සංරක්ෂණ සංගමය කෘතවේදීව සිහිපත් කරයි.
කිරි පෙවූ ආකාරය පැටවු දෙදෙනා ක්‍රමයෙන් වැඩෙන පැටවු දෙදෙනා කැලයට රැගෙන යාමට සූදානම්ව එක් පැටවෙක් කැලයට යන අයුරු අනෙක් පැටවාත් කැලයට සෙමෙන් සෙමෙන් කැලයට පිය මනින ගෝන පැටවුන් දෙදෙනා