GMOA එකෙන් rata.lkට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්

0
702

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ දී වෛද්‍යවරුන් අතර ඇතිවූ සිද්ධියක් වාර්තා කිරීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර සත්‍ය නිරාවරණය කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ බලන පොලිස්පතිතුමාට 2020.11.09 වැනි දින ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම ලිපිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් යැයි කියන වෛද්‍යවරුන් විසින් තම facebook ගිනුම්වල ප්‍රසිද්ධියට පත්කිරීමෙන් අප අතට පත්විය.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලබන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු එම ලිපියේ දක්වා ඇත්තේ rata.lk වෙබ් අඩවිය මගින් ඉදිරිපත් කර තිබූ කරුණු දැක්වීමක් කරාපිටිය රෝහලේ ඔවුන්ගේ ශාඛා සංගමය මගින් අවධානයට යොමුකර ඇති බවයි.

rata.lk වෙබ් අඩවියට එරෙහිව තම මතයට අනුව පැමිණිල්ලක් (සත්‍ය අසත්‍යතාව විමර්ශනයකින් පසු දැනගත හැකිවනු ඇත) සිදුකරමින් එය සමාජමාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍යවරු පිරිසක් වෙබ් අඩවියේ කීර්ති නාමයට හානිකරමින් තම මතය වක්‍රාකාරයෙන් තහවුරු කිරීමට උත්සාහ ගන්නා බැවින් අපි මෙම පැහැදිලි කිරීම අපගේ පාඨක සමූහයා වෙනුවෙන් ඉදිරිපත් කරන්නෙමු.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තම මතය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අප පිළිගන්නා බැවින් එම ලිපිය ද මෙහි පළකරීමට අපි තීරණය කළෙමු.

මාධ්‍ය ආචාරධර්ම ආරක්ෂා කරමින් කිසිදු පාර්ශවයකට අගතියක් නොවන ආකාරයෙන් වාර්තා කිරීමට rata.lk වෙබ් අඩවිය නිරන්තරව ම බැඳී සිටින බව මෙහි දී සිහිපත් කරන්නෙමු.

මෙම පහරදීමට ලක්වූ බව කියන වෛද්‍යවරිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට කරන ලද පැමිණිල්ලකට අනුව ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමට පොලිසියෙන් පැමිණි අවස්ථාවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් හා පිළිකා ශල්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා ඇතුළු නිලධාරීන් පිරිසක් ගැටුමක් ඇතිකරගත් ආකාරය අපි එම දිනයේ දී ම වාර්තා කළෙමු.

එහි දී අදාල සිද්ධියට මුහුණ දුන් පාර්ශව දෙක ම නියෝජනය කරමින් වෛද්‍ය ක්‍රිසාන්ත පෙරේරා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල කරාපිටිය ශාඛාවේ නිලධාරීන්ගේ අදහස් සම්පූර්ණයෙන් ම පළ කිරීමට ද අප කටයුතු කර ඇත.

එම ලිපියේ සබැඳිය මෙසේ ඉදිරිපත් කර ඇත.

මෙහි අඩංගුවන සියලු කරුණු අදාල වූ සියලු පාර්ශවයන්ගෙන් තහවුරු කරගනිමින් සහ සෑම පාර්ශවයකම අදහස්වලට අවස්ථාව ලබාදෙමින් මාද්‍ය ආචාරධර්ම අනුව සකසා ඇති බව පාඨක ඔබට මෙය කියවන විට තේරුම් ගැනීම අපහසු නොවනු ඇත.

මෙම සිද්ධියට අදාල වීඩියෝ දර්ශන ද අප විසින් පළකරනු ලැබූ අතර වීඩියෝ දර්ශන පමණක් පළකිරීමෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුවිය හැකි බැවින් ඒ සමඟ සවිස්තරාත්මක වාර්තාවක් ද පළ කර ඇත. එහි සැබැඳිය මෙලෙස සටහන් කරමු

මෙම ලිපිය සැකසීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍යවරුන්ගේ සංගමයේ අප දන්නා හඳුනන වෛද්‍යවරයකුට ඇමතූ විට ඔහු කියා සිටියේ දැන් තමන් වෙනත් රෝහලක සේවය කරන බැවින් මේ සිදුවීම ගැන කිසිවක් නොදන්නා බවයි. නමුත් පසුව එම වෛද්‍යවරයා විසින් තම Facebook පිටුවේ තැබූ සටහනක් සහ එදින ගැටුමේ වීඩියෝ පරීක්ෂා කරන විට ඔහු අප මුලා කිරීමට අසත්‍ය ප්‍රකාශයක් කළ බව පැහැදිලිය. තම රාකාරී ස්ථානයෙන් බැහැරව එම වෛද්‍යවරයා වෙනත් රෝහලකට පැමිණි ආකාරය අප මෙහි දී වුව ද ප්‍රශ්න කරන්නේ නැත. ඒ ඔහුගේ වෘත්තීය අයිතියක් විය යුතුය.

මෙම සිදුවීමෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ගාල්ලේ දී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අර අප පුද්ගලිකව හොඳින්ම දන්නා හඳුනන එම සංගමයේ නිලධාරීන් විසින් ඒ සඳහා අපට ආරාධනා කළේ නැත. එසේ වුව ද ආරාධනා ලැබූ මාධ්‍යවේදීන් මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙන වේලාව පිළිබඳ දැනුම් දුන්නෙන්  ඒ ගැන විමසීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ ලේකම් වෛද්‍ය උබය බණ්ඩාර මහතා ඇමතුව ද ඔහු කිසිදු ඇමතුමකට ප්‍රතිචාර නොදැක්වූ බැවින් අනාරාධනයෙන් ඔවුන්ගේ සාකච්ඡාවට නොයාම අප තීරණය විය. එම සාකච්ඡාව අප විසින් වාර්තා නොකළේ එබැවිනි.

ඉන් පසු ගාල්ල දිස්ත්‍රික් ප්‍රජාව විසින් විශේෂඥ වෛද්‍ය ක්‍රිසන්ත පෙරෙරා බේරාගැනීමේ අරමුණින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී පහර දීම හා පොලිස් පරීක්ෂණ පිළිබඳ ඔවුන් කරුණු දැක්වීය. එසේ වුව ද තුන්වන පාර්ශවයක් විසින් කරනු ලබන කරුණු දැක්වීම් වාර්තා කිරීම අප වෙබ් අඩවිය විසින් පිළිගනු ලබන මාධ්‍ය ආචාරධර්ම වලට හා මාධ්‍ය භාවිතයට පටහැනි බැවින් ඔවුන්ගේ කරුණු දැක්වීම වාර්තා නොකිරීමට අප තීරණය කරන ලදී. එසේ වුව ද ඔවුන් ගාල්ලේ ප්‍රජාව ලෙස මෙම සිද්ධිය අරභයා ජනාධිපතිවරයා වෙත කරන ලද පැමිණිල්ල පිළිබඳ සඳහන් කරමින් ඒ වනවිට පොලිසිය අදාල සිද්ධිය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ විමසා බැලීමට කටයුතු කළෙමු.

එහි දී මාධ්‍යවේදීන් වශයෙන් ජනතාවට, පාඨකයන්ට හා ප්‍රේක්ෂකයන්ට සත්‍ය තොරතුරු නිවැරදිව ඉදිරිපත් කිරීමට ඇති අයිතිය භාවිතා කරමින් පොලිසිය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ rata.lk මාධ්‍යවේදීන් විසින් ගාල්ල මූලස්ථාන පොලිසියෙන් හා ගාල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයෙන් කරන ලද විමසීම් අනුව ඒ ඒ නිලධාරීන් විසින් දක්වනු ලැබූ අදහස් ද ඇතුළත් කරමින් පහත සබැඳියේ දක්වා ඇති ලිපිය අපි ප්‍රකාශයට පත්කළෙමු.

මෙහි දී අප රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට සිහිපත් කරනු ලබන්නේ rata.lk වෙබ් අඩවිය නිරන්තරව ම තහවුරු කරගත් සත්‍ය කරුණු පාඨකයාට ඉදිරිපත් කිරීමටත්, පාඨකයාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු අන් සියලු දෙනාගේ ප්‍රකාශන අයිතිය  සුරැකීමටත් අප බැඳී සිටින බවයි.

මෙහි දී අධිකරණයේ යම් නඩුවක් විභාග කිරීම ආරම්භවීමට පෙර පැමිණිලි හා පොලිස් විමර්ශන පිළිබඳ පොලිසියෙන් කරුණු විමසා ඒවා මාධ්‍යයේ පළකිරීමට මාධ්‍යවේදීන්ට හැකියාව ඇති බවත් එහි දී පොලිස් නිලධාරීන්ට කරුණු දැක්විය හැකිබවත් වෛද්‍ය වෘත්තියේ යෙදෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සිහිපත් කළ යුතුය. ඇතැම් විට ඔවුන් එය ඔවුන්ගේ වෘත්තියට පරිබාහිර කරුණක් බැවින් ඒ ගැන ඔවුන් නොදන්නා කරුණක් විය යුතුය.

එමෙන්ම අධිකරණයේ විභාග වෙමින් පවතින යම් සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ගෙන් තොරතුරු නොගෙන අධිකරණ කරුණු පමණක් වාර්තා කිරීම මාධ්‍යවේදීන් විසින් සිදුකරන බවත් rata.lk වෙබ් අඩවිය ද එම කරුණුවල පිහිටා කටයුතු කරන බවත් පාඨක ඔබට මෙහි දී සඳහන් කරන්නෙමු.

ශ්‍රි ලාංකික ජනතාවව අතර බෙහෙවින් ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලාවන් හි ඇතැම් පුද්ගලයන් විසින් පළකරනු ලබන පුවත් ඔවුන්ගේ කර්තෘ අයිතියට මුල්තැන දෙමින් පළ කිරීම සඳහා “කියවිය යුතුම” නමින් වෙනම කොටසක් අප වෙබ් අඩවියේ පවත්වාගෙන යයි. එහි පළකරනු ලබන කිසිදු ලිපියක් අප සංස්කරණය කරන්නේ නැත. වෙනත් අයගෙන් උපුටා ගන්නා ලිපි පළකරන බැවින් අන්තර්ගතයට වගකියනු නොලබයි. නමුත් අප පළකරනු ලබන්නේ එහි ඇති අන්තර්ගතයන් තහවුරුකරගැනීමෙන් පමණි.

මෙම ගැටුමට අදාලව වෙනත් පුද්ගලකු විසින් facebook ගිනුමක පළකරන ලද ලිපියක් අපි “කියවිය යුතුම” යන කොටසේ උපුටා දක්වා ඇත. එය පිළිකා ශල්‍ය ඒකකයේ රෝගියකුට වැරදි උපදෙස් ලබාදීම පිළිබඳ සිද්ධියකි. මෙම සිද්ධිය සත්‍ය කරුණක් යැයි තහවුරු වූ පසු අපි එය එසේ පළකිරීමට කටයුතු කළෙමු. එහි සබැඳිය මෙහි දක්වා ඇත.

අප මේ සෑම අවස්ථාවක දී ම සියලු පාර්ශවයන් සඳහා අවස්ථාව ලබා දී ඇති අතර තහවුරු කරගත් කරුණු පමණක් ප්‍රකාශයට පත්කර ඇත. එමෙන්ම පොලිස් නිලධාරීන්ගෙන් තොරතුරු ලබාගෙන ඇත්තේ අධිකරණයේ විභාගවන කරුණක් සම්බන්ධයෙන් නොව අධිකරණයට වාර්තා කිරීමට ඇති කරුණක් සම්බන්ධයෙනි. එම තොරතුරු ලබා ගැනීමට මාධ්‍යයට අයිතියක් ඇති අතරම ඒවා ප්‍රකාශ කිරීමට අදාල නිලධාරීන්ට ද අයිතියක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අපි නැවතත් ප්‍රකාශ කරන්නෙමු.

කෙසේ වෙතත් වෛද්‍යවරියක තවත් වෛද්‍යවරියකට චෝදනා කරන අවස්ථාවවක දී චෝදනා කරනු ලබන වෛද්‍යවරිය වෙනුවෙන් පමණක් පෙනී සිටිමින්, චෝදනාවට ලක්වන වෛද්‍යවරයාට එරෙහිව ක්‍රියාත්මක වීම වෛදවරුන්ගේ වෘත්තීය සමිතියක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සාචාරාත්මක අයිතියක් තිබේ ද යන්න පිළිබඳ අප රජයේ වෛද්‍ය නිලධාරී සංගමයෙන් මේ මොහොතේ ප්‍රශ්න කරන්නේ නැත. ඔවුන්ට තම සාමාජිකාවක් වෙනුවෙන් පෙනී සිටීමට ඇති අයිතියට අපි ගරු කරන්නෙමු.

නමුත් ගැටලුව වන්නේ සියලු පාර්ශවයන්ට ඉඩ ලබාදෙමින් අප විසින් පළකරන ලද වාර්තා පිළිබඳ පොලිස්පති ඇතුළු හැකි සෑම පාර්ශයකට ම පැමිණිලි කරන ඔවුන් ඒක පාර්ශ්වික කරුණු දැක්වීම් සඳහා පුළුල් ප්‍රචාරයක් ලබාදීමට උත්සාහ ගැනීමයි.

ඔවුන්ගේ මතය ප්‍රකාශ කිරීමේ අයිතියට අප ගරු කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වැඩබලන පොලිස්පතිවරයාට යවන ලද සම්පූර්ණ ලිපිය ද මෙහි පළ කරන්නෙමු.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා හෝ වෙනත් කිසියම් පාර්ශවයක් විසින් යම් විමර්ශනයක් සිදුකරන්නේ නම් එ් සඳහා rata.lk වෙබ් අඩවියේ අපි පෙනී සිටින බව ද එම තොරතුරු නොවලහා පාඨක සැමට ඉදිරිපත් කරන බව ද දන්වා සිටින්නෙමු.

පොලිස්පතිට කරන ලද පැමිණිල්ල වෛද්‍යවරු විසින් තම facebook ගිනුම්වල සටහන් කර තිබූ ආකාරය ද පහත දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here