spot_img
spot_imgspot_img

“එන්නතක් දුන් පසු මගේ දරුවා මියගියා”යැයි කියා පියා පොලිසියට යයි

පුවත්

විදෙස්

තමන්ගේ සිඟිති දියණියට හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් එන්නතක් ලබාදීමෙන් පසු ඇය පසුගිය 16 වැනි දා මියගිය බවත් මේ මරණය සැකසහිත බැවින් පරීක්ෂණයක් පවත්වන ලෙස කියමින් කුලියාපිටිය මූලස්ථාන පොලිසියට පුද්ගලයකු පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ කුලියාපිටිය, ඉහළ ගොමුගොමුව ප්‍රදේශයේ පදිංචි හර්ෂණ ප්‍රදීප් රත්නායක නමැති අයෙකි. ඔහුගේ දියණිය මාස 04ක් වයසැති බවත් සඳහන් කර ඇත.

මාස හතරකින් ලබාදිය යුතු එන්නතක් පසුගිය 15 වැනි දා හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් බාගත් බව ඔහු පවසයි. එන්නත ලබාදීමෙන් පසු විනාඩි 20ක් යනතුරු එම ස්ථානයේ සිටින ලෙස දැනුම් දී තිබූ බැවින් ඊට වඩා වැඩි කාලයක් එහි ගතකර දියණියට කිසිදු අපහසුතාවක් නොවූ බැවින් සිය බිරිඳ දරුවා සමඟ ආපසු නිවසට පැමිණි බවත් ඔහු පවසා ඇත.

එදින කිසිම අපහසුතාවකින් තොරව සිටි දියණිය පසුදා අලුයම 4.30 පමණ වනවිට කටින් සමෙ පිටකිරීමට පටන් ගත් බවත්, ඇය හුස්ම ගැනීමේ අපහසුතාවකින් පෙළුණු බැවින් හැකි ඉක්මණින් කුලියාපිටිය රෝහලට ගෙන ගිය බවත් පියා පැමිණිල්ලේ සටහන් කර තිබේ.

කුලියාපිටිය ශික්ෂණ රෝහලේ දී තම දියණිය පරීක්ෂාකළ වෛද්‍යවරු ඇය මියගොස් ඇතැයි දැනුම් දුන් බව ද පියා‍ගේ පැමිණිල්ලේ සඳහන් වෙයි.

මේ පිළිබඳ අප හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු මෙසේ කීවේය.

“මිය ගොස් ඇති මේ දියණිය ඇතුළු දරුවන් 10 දෙනෙකුට එකම කුප්පියකින් එන්නත් ලබාදුන්නා. එන්නත් ලබාදීමෙන් පසු දරුවන්ට ආසාත්මිකතාවක් ඇතිවනවා ද ? වෙනත් අපහසුතා ඇතිවනවා ද කියා අපි විනාඩි 20ක් පමණ නිරීක්ෂණය කරනවා. එය වෛද්‍ය විද්‍යාවේ සම්මත ක්‍රමයක්. එහෙම ආසාත්මිකතාවක් හෝ වෙනත් අපහසුතාවක් නැතිනම් පමණයි දරුවන් රැගෙන යාමට දෙන්නේ. මේ දියණියටත් එවැනි අපහසුතාවක් ආවේ නැහැ. අනිත් කිසිම දරුවකුටත් කිසිම සංකූලතාවක් හෝ රෝග ලක්ෂණයක් ඇති වී නැහැ. එදා ගෙදරගිහින් දරුවා හොඳින් සිටි බවත් අපහසුතා ඇතිවුණේ පසු දිනයේ බවත් දෙමාපියන්ම කියනවා. ඒ අනුව පැහැදිළියි මේ දරුවාගේ මරණයට හේතුව එන්නත විය නොහැකි බව. ඒ ගැන විධිමත් පරීක්ෂණයක් කරනවාට අපි කැමතියි. මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් දැන් රටේ බොහෝ දෙනෙක් එන්නත්වලට ඖෂධවලට චෝදනා කරනවා. නමුත් මරණයට හේතුව වෙනත් දෙයක් විය හැකියි. එය හරියට නොදැන මේ වගේ චෝදනා කිරීම වැරදියි.”

කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ඇය කියා සිටියේ මියගිය මේ දරුවාට 15 වැනි දා හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් එන්නතක් ලබාදී ඇති බවයි. නමුත් දරුවාගේ මරණයට හේතුව එන්නත විය නොහැකි බවත් ඇය කියා සිටි‍යාය. දරුවා‍ගේ සිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මරණයට හේතුව අනාවරණය කරගත හැකි බව ද අධ්‍යක්ෂවරියා ප්‍රකාශ කළාය.

කුලියාපිටිය මූලස්ථාන පොලිසිය මෙම පැමිණිල්ලට අදාළව පරීක්ෂණ ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!