spot_img
spot_imgspot_img

අඹන්පොළ, බස් අනතුරේ රියදුරා දින දෙකකින් නින්දක් ලබා නෑ

පුවත්

විදෙස්

වන්දනාවේ ගොස් පැමිණෙමින් සිටිය දී අඹන්පොළ ආසන්නයේ දී නවතා තිබූ කන්ටේනර් ප්‍රවාහන රථයක වැදී අනතුරට ලක්වූ බස් රථයේ රියදුරා දින දෙකකින් නින්දක් ලබා නැතැයි ද අනතුර සිදුවන අවස්ථාවේ ඔහුට නින්ද ගොස් ඇතැයි ද පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

මෙම අනතුරින් පුද්ගලයන් දෙදෙනකු මියගිය අතර 29 දෙනකු තුවාල ලබා අඹන්පොළ සහ ගල්ගමුව රෝහල්වලට ඇතුළත් කෙරිණි.

මෙලෙස මියගොස් ඇත්තේ තලාව, හඟුරන්කෙත පදිංචි එච්.එම්.පී.ලක්ෂ්මන් බණ්ඩාර (32) සහ කරගහවැව, මහවැලිතැන්න පදිංචි බාලසූරියගෙදර මුතුබණ්ඩා (72) නමැති දෙදෙනෙකි.

තලාවේ පදිංචිකරුවන් පිරිසක් කූරගල සහ රත්ගඟ පිහිටි පුංචි දඹදිව වන්දනාකර ආපසු එමින් සිටිය දී අනුරාධපුර-පාදෙණිය මාර්ගයේ අඹන්පොළ මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේ දී ඊයේ (10) අලුයම මෙලෙස අනතුරට ලක්ව තිබිණි. අනතුර සිදුවන අවස්ථාවේ සියලු මගීන්  නින්දේ පසු වී ඇතැයි ද පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ මේ වන්දනා නඩය තලාවෙන් පිටත්ව ගොස් ඇත්තේ පෙරේදා (09) අලුයම 2.30ට පමණ බවයි. බසයේ රියදුරා 08 වැනි දා උදෑසන නින්දෙන් අවදි වූ පසු 09 වැනි දා අලුයම මේ ගමන පිටත්වන තුරු නින්දක් ලබා නැත. පළමුව කූරගල ගිය වන්දනා නඩය ඉන් පසු රත්ගඟ පුංචි දඹදිව ගොස් එතැනින් ආපසු තලාව බලා යාමට පිටත්ව ඇත්තේ 09 වැනි දා අඳුර වැටීමෙන් පසුවය. මේ අතරතුර කාලයේ දී ද රියදුරා නින්දක් ලබා නැත. ඉන් පසු එකදිගට බස් රථය ධාවනය කරමින් සිටිය දී ඔහු අනතුර සිදුවන අවස්ථාවේ දී නින්ද ගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේය. බසය අනතුරට ලක්ව ඇත්තේ ඊයේ (10) අලුයම 2.45ට පමණ ය.

පොලිසිය සඳහන් කරන්නේ රියදුරාට නින්දයාමත් සමඟ වේගයෙන් ධාවනය වූ බසය රියදුරාගේ පාලනයකින් තොරව ගොස් මාර්ගය අයිනේ නවතා තිබූ කන්ටේනර් රථයේ ගැටී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!