සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමතර ව අලි – මිනිස් ගැටුම වර්ධනයවීමට බලපෑ ප්‍රධාන සැළසුම ජාතික භෞතික සැලැසුම යි.
එය ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා සකස් කළ සැළසුමක් බව ජනතාවට අවබෝධ කිරීමට මෙරට රජය උත්සාහ දැරුව ද සත්‍ය තත්ත්වය එය නොවේ.
මෙය චීන රජයේ අවශ්‍යතාව මත සකස් කළ සැළසුමකි. එම සැළසුම ක්‍රියාත්මක කිරීමේ දී ඉතා ම දරුණු තත්ත්වයකට අලි – මිනිස් ගැටුම වර්ධනය වීම ඉතා ම කණගාටුදායක තත්ත්වයකි.
චීන රජය විසින් පසුගිය කාලය පුරා සංවර්ධන සැලැසුම් කිහිපයක් සකස් කෙරිණි. එක් තීරයක් එක් මාවතක් (One Belt One Road), සේද මාවතේ ආර්ථික තීරය (Silk Road Economic Belt) හා 21 වන සියවසේ සමුද්‍ර සේද මාවත (21st Century Maritime Silk Road) යන සැළසුම් ඒ අතර වේ. මෙම සැළසුම් ක්‍රියාත්මක කිරීම සඳහා 2013 වසරේ දී Belt and Road Initiative (BRI) ගොඩනගා ගෙන තිබේ.
චීන BRI සැළසුමෙන් බලාපොරොත්තු වන්නේ චීන නිෂ්පාදන සඳහා අඛණ්ඩ හා කාර්යක්ෂම වෙළෙදපොළක් ඇති කර ගැනීම ය. සේද මාවතේ ආර්ථික තීරය නම් සැළසුමට අනුව බටහිර රටවල සුප්‍රසිද්ධ ඓතිහාසික වෙළෙද මාර්ග ඔස්සේ මධ්‍යම ආසියාව හරහා ගොඩබිම් මාර්ග හා දුම්රිය මාර්ග සකස් කිරීමට නියමිත ව ඇත. 21 වන සියවසේ සමුද්‍ර සේද මාවත නම් සැළසුමට අනුව ඉන්දු – පැසිපික් මුහුදු මාර්ග අග්නිදිග ආසියාව හරහා දකුණු ආසියාව, මැද පෙරදිග හා අප්‍රිකාව වෙත සම්බන්ධ කිරීමට යෝජිත වේ. ඒ යටතේ වරාය, ගුවන්තොටුපොළ, දුම්රිය මාර්ග, ගල් අගුරු බලාගාර ඉදි කිරීමට සැලැසුම් කර ඇත.
මේ සැලැසුම හා සම්බන්ධ ව පළමු ව මෙරට සකස් කළ වාර්තාව 2011 – 2030 ජාතික භෞතික සැළසුම වන අතර 2013 වසරේ චීන BRI සැළසුමට අනුගත වන පරිදි එය යාවත්කාලීන කර සකස් කළ වාර්තාව 2018 – 2050 ජාතික භෞතික සැළසුම ලෙස හැඳින් වේ. මේ වන විට 2048 වසරේ ජාතික භෞතික සැළස්ම ලෙස යාවත්කාලීන කරන ලද නව සැළසුම ද ප්‍රකාශයට පත් කර තිබේ.
2000 වසරේ දී කෙටුම්පත් කරන ලද ජාතික භෞතික සැළසුම් ප්‍රතිපත්තිය මත සකස් කරන ලද පළමු ජාතික භෞතික සැලැසුම 2007 ජූලි 3 වන දින එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික භෞතික සැළසුම් කවුන්සිලය මගින් අනුමත කරන ලදී. එය 2010 වසරේ දී සවිස්තරාත්මක වාර්තාවක් ලෙස සකස් කර ඇත්තේ මෙරට ඉදිරි අවුරුදු 20 තුළ සැළසුම් ගත ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා වන මහ පරිමාණ ව්‍යාපෘති සැළසුම් ආයෝජකයන්ට හා ආධාරක ආයතන වලට ඉදිරිපත් කිරීම සඳහා ය. එම වාර්තාව 2011 ජනවාරි 13 වන දින ජාතික භෞතික සැළසුම් කවුන්සිලය මගින් අනුමත කර ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ. මෙය 2011 – 2030 ජාතික භෞතික සැළසුම ලෙස හැඳින්වේ.
ජාතික භෞතික සැළසුමට අනුව ප්‍රධාන මහ නගර 5 ක් Metro Region නමින් සකස් කර තිබේ. එනම් උතුරු, උතුරු මැද, නැගෙනහිර, දකුණ හා බස්නාහිර වශයෙනි. එම මහ නගර පහ සම්බන්ධ කිරීම සඳහා අධිවේගී මාර්ග ජාලයක් ස්ථාපිත කරන අතර එය මන්නාරම ආදම් ගේ පාලම ඔස්සේ ඉන්දියාවේ ධනුෂ්කොඩි හරහා ආසියානු අධිවේගී මාර්ග ජාලයට සම්බන්ධ කිරීමට සැලැසුම් කර තිබේ.
මීට අමතර ව ජාත්‍යන්තර හා අභ්‍යන්තර ගුවන්තොටුපොළ, බලශක්ති බලාගාර, විශේෂ උප නගර, මහ පරිමාණ සංචාරක කලාප, කර්මාන්ත හා අපනයන සැලසුම් කලාප බිහි කිරීමට සැලැසුම් කර තිබේ. මීට අමතර ව උතුරු, උතුරු මැද, ඌව හා නැගෙනහිර පළාත් ආවරණය වන පරිදි මහ පරිමාණ වාණිජ කෘෂිකාර්මික කලාප ඇති කිරීමට සැලැසුම් කර තිබේ.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙසත් රනිල් වික්‍රමසිංහ අගමැති ලෙසත් බලයට පත් වූ පසුව 2011 – 2030 ජාතික භෞතික සැළසුමේ සඳහන් මහ නගර, Metro Region වෙනුවට Mega polis ලෙස හැඳින් වූ අතර එම සැළසුම යාවත්කාලීන කර 2018 – 2050 ජාතික භෞතික සැළසුම වශයෙන් අලුත් සැළසුම ක්‍රියාත්මක කිරීම ඇරැඹින.
නව සැළසුමට අනුව පළමු සැළසුමේ සඳහන් මහ නගර කලාප පුළුල් කර අලුතින් අධිවේගී මාර්ග එක් කර ඇත. උතුරු මහ නගරය යාපනය අර්ධද්වීපයේ සිට කිලිනොච්චිය දක්වා පුළුල් කර ඇත. උතුරු මැද මහ නගරය ත්‍රිකුණාමලයේ සිට බස්නාහිර පළාත දක්වා පුළුල් කර තිබේ. නැගෙනහිර මහ නගරය සියඹලාණ්ඩුව දක්වා ද දකුණු මහ නගරය අම්බලන්ගොඩ දක්වා ද පුළුල් කර ඇත. අනුරාධපුරය හා මහනුවර අලුතින් මහ නගර දෙකක් සැලැසුම් කර තිබේ.
මේ සැලැස්මට අනුව වාණිජ වගාවන් සඳහා මහ පරිමාණ ඉඩම් ලබා දීමට උතුරු හා උතුරු මැද පළාත්වල, ඌව හා නැගෙනහිර පළාත්වල ඉඩම් හඳුනාගෙන ඒවා සිතියම් ගත කර තිබේ. සමහර ඉඩම් මේ වන විට සමාගම්වලට ලබා දී තිබේ. එම ඉඩම් සියල්ල ම අලි – ඇතුන් ජීවත් වන වනාන්තර හා තෘණ බිම් පරිසර පද්ධති වීම කණගාටුවට කරුණකි.
ජාතික භෞතික සැළැස්මට අනුව සකස් කරන මහ නගරවලට ජලය ලබා දීම සඳහා ක්‍රියාත්මක කළ මහ පරිමාණ බහුකාර්යය වාරි ව්‍යාපෘති හේතුවෙන් ද දැවැන්ත අලි – මිනිස් ගැටුමක් නිර්මාණය වී ඇත. යාන් ඔය, මොරගහකන්ද හා කළු ගඟ, පහළ මල්වතු ඔය හා උමා ඔය බහුකාර්යය වාරි ව්‍යාපෘති මේ අතුරින් ප්‍රධාන වේ. යාන් ඔය වාරි ව්‍යාපෘතිය සඳහා අක්කර 17000 ක වනාන්තර, මොරගහකන්ද හා කළු ගඟ බහුකාර්ය වාරි ව්‍යාපෘති සඳහා අක්කර 27000 ක වනාන්තර, ජාතික භෞතික සැළැස්මට අනුව දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහ නගරය ඉදි කිරීම සඳහා ක්‍රියාත්මක කළ මාගම්පුර වරාය, මත්තල ගුවන්තොටුපොළ, දකුණු අධිවේගී මාර්ගය පුළුල් කිරීම, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනය ඇතුළු භෞතික සංවර්ධන ව්‍යාපෘති සඳහා වනාන්තර අක්කර 25,000 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර තිබේ. මීට අමතර ව මාගම්පුර වරාය මේ වන විට චීන සමාගමකට බදු දී ඇති අතර ඊට සමගාමී ව ඒ ආශ්‍රිත වනාන්තර අක්කර 15,000 ක් චීන කර්මාන්තශාලා ස්ථාපිත කිරීමට ලබා දීමට ද නියමිත ව ඇත. එම ඉඩම් සියල්ල හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්ක වලින් ලබා දීමට මේ වන විට මැනීම් කිරීම ද අවසන් කර ඇත. එම වනාන්තර ඉඩම් සියල්ල ම අලි – ඇතුන් ජීවත් වන, වැව්වල ජල පෝෂක ප්‍රදේශයන් ය. මේ වනාන්තර සියල්ල ම එළි පෙහෙළි කළ පසු ව ඒ ආශ්‍රිත අලි – මිනිස් ගැටුම ඉතා ම දරුණු තත්ත්වයකට පරිවර්තනය වනු ඇත.
යාන්ඔය බහුකාර්ය වාරි ව්‍යාපෘතිය සඳහා එළිපෙහෙළි කළ අලි – ඇතුන් ගේ වාසස්ථාන හේතුවෙන් මාවත වැව, ඉස්සන්නෑව, ඩී හය ගම්මානය, මරදන්මඩු, ඉදුල්හිටියාව, මල්පෝරුව, කන්දමලාව, කජුවත්ත, පඹුරුගස්වැව, ගල්කඩවල වැනි ගම්මාන රැසක් අලි – මිනිස් ගැටුමට දරුණු ලෙස මුහුණ දී ඇත.
මොරගහකන්ඳ හා කළු ගඟ බහුකාර්ය වාරි ව්‍යාපෘති හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මීගස් වැව ප්‍රදේශයේ ජීවත් වන ජනතාව උග්‍ර අලි – මිනිස් ගැටුමකට ගොදුරු ව සිටී. මීට ප්‍රධාන හේතු කිහිපයක් බලපා තිබේ. මොරගහකන්ද ව්‍යාපාරය යටතේ අලුතින් ජනාවාස හා වගා බිම් ඇති කිරීම සහ මොරගහකන්ඳ ව්‍යාපාරය යටතේ වගා බිම් අහිමි වූ ජනතාවට වගා බිම් ලබා දීම සඳහා ඇටඹ ඔය, පේරමඩුව, බිසෝපුර ප්‍රදේශයේ සිදු කරන දැවැන්ත වන විනාශය මේ සඳහා ප්‍රධාන වේ. මීට අමතර ව සෝමාවතිය – කන්දකාඩුව ප්‍රදේශයේ සිදු කරන වන විනාශය හා විල්ලු පරිසර පද්ධතිවලට සිදු කරන විනාශය තව ආකාරයකින් මේ සඳහා බලපා තිබේ. මෙම වනාන්තර හා විල්ලු පරිසර පද්ධති විනාශ කිරීම හේතුවෙන් වාසස්ථාන අහිමි වන අලි – ඇතුන් මීගස් වැව ඇතුළු ව ඒ අවට ගම්මානවලට බහුල ව පිවිසෙමින් තිබේ. මීට අමතර ව මෙම ගම්මානය ආශ්‍රිත ව පිහිටා ඇති දම්සෝපුර වැව ඛණ්ඩනය වන පරිදි විදුලි වැට සකස් කිරීම නිසා වියළි කාලයේ දී අලි – ඇතුන්ට ජලය හා ආහාර හිඟ වීමෙන් එම විදුලි වැටට හානි සිදු කර අලි – ඇතුන් ගම්මානවලට පිවිසීමෙන් පල්ලියගොඩැල්ල, අග්බාර්පුර, අහමඩ්පුර, ගාමිණීපුර, පිඹුරාන, ගුරුගොඩැල්ල, තලාකොළ වැව, ඉළුක්පිටිය, අරුණ ගම, දම්සෝපුර, කුමුදුපුර, විජයපුර, මීගස්වැව, කුඹුකුණාවල, නිකහේන ඇතුළු ගම්මාන රැසක් අලි – මිනිස් ගැටුමට ගොදුරු වී තිබේ.
හම්බන්තොට මහ නගරය ඉදි කිරීම සඳහා සිදු කළ දැවැන්ත වන විනාශය හේතුවෙන් කැටන්වැව, කුඩා ඉදිවැව, නාගරවැව, පන්වැව, වල්සපුගල, තැලවිල්ල, ඉලුක්පැලැස්ස, සීනුක්කුගල, මැටිගත්වැව, අන්දරගස්වැව, දිමුතුගම, එලල්ල, පහළ මත්තල, උඩ මත්තල, පුංචිඅප්පු ජදුර, බඳගිරිය සහ ලූණුගම්වෙහෙර ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ කුඩා ගම්මාන 5 හා 6 ප්‍රදේශවලට අලි – ඇතුන් පිවිසීම හා වගා බිම්වලට හානි සිදු කිරීම දැඩි ලෙස වර්ධනය වී ඇත.
හම්බන්තොට මහ නගරය ඉදි කිරීමේ දී වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ගේ වාසස්ථාන සුරක්ෂිත කර ලුණුගම්වෙහෙර, උඩවලව හා බූන්දල ජාතික වනෝද්‍යාන අතර එම සතුන්ට ගමන් කිරීම සඳහා හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කෙරින. නමුත් එම රක්ෂිතය තුළ හා එම රක්ෂිතය හා සම්බන්ධ ප්‍රධාන අලිමංකඩවල් සියල්ල ම ප්‍රදේශයේ ප්‍රධාන දේශපාලඥයන් හා එක් ව මහ පරිමාණ ව්‍යාපාරිකයන් විසින් අත්පත් කර ගෙන වාණිජ වගාවන් සඳහා යොදා ගෙන ඇත. මේ සියල්ලේ ම ප්‍රතිඵලයක් ලෙස හම්බන්තොට ගම්මාන රැසක් අලි – මිනිස් ගැටුමට දරුණු ලෙස ගොදුරු ව තිබේ.
මීට අමතර ව 2010 වසරේ උතුරු – නැගෙනහිර පැවති යුද්ධය අවසන් වීමෙන් අනතුරු ව නැවත පදිංචි කිරීමේ කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක කිරීම වෙනුවට ජාතික භෞතික සැළසුමට අදාළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉඩම් ලබාගැනීම සඳහා දැඩි ආරක්ෂිත කලාප නාමයෙන් එම ජනතාව ගේ ඉඩම් රඳවා තබා ගෙන නැවත පදිංචි කිරීම සඳහා ස්ථාන 18 ක වනාන්තර අක්කර 17800 ක් පමණ එළි පෙහෙළි කිරීම සිදු කර තිබේ. මේ සියලු වනාන්තර අලි – ඇතුන් ගේ වාසස්ථාන වීම හේතුවෙන් එම පදිංචි කළ ජනතාව අලි – මිනිස් ගැටුමට දරුණු ලෙස ගොදුරු වී ඇත. මීට හොඳම උදාහරණය වව්නියාව, කැළෑ බෝගස්වැව ප්‍රදේශ යයි. කරුන්කාලිපුරම් වන රක්ෂිතයේ අක්කර 2000 ක් පමණ එළිපෙහෙළි කර නන්දිමිත්‍ර ගම, නාමල් ගම නමින් අලුතින් ගම්මාන පිහිටුවා ඇති අතර ඒ සියලු ගම්මානවල ජනතාව අලි – මිනිස් ගැටුමට ගොදුරු කර ඇත.
අලි – මිනිස් ගැටුම වර්ධනයට බලපාන වෙනත් සාධක
ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි, ජාතික භෞතික සැළසුම හා සම්බන්ධ අක්‍රමවත් සංවර්ධන හා ආයෝජන ව්‍යාපෘතිවලට අමතර ව අලි – මිනිස් ගැටුම වර්ධනය වීමට බලපාන ප්‍රධාන හේතු සාධක කිහිපයක් වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ගේ මැදිහත් වීම මත එළ ගවයන් හා මී ගවයන් ලුණුගම්වෙහෙර, උඩවලව, මාදුරු ඔය හා ගල් ඔය ජාතික වනෝද්‍යාන තුළට ඇතුළු කිරීම නිසා අලි – ඇතුන් ගේ ආහාර ප්‍රභවයන් අඩු වීම ද අලි ගම් වැදීම වර්ධනය වීමට හේතු වී ඇත. මීට අමතර ව ජනතාව විසින් වනාන්තර විනාශ කර සිදු කරන වගා බිම් හා ජනාවාස ව්‍යාප්ත කිරීම ද රක්ෂිත වනාන්තර තුළ ආක්‍රමණික ශාක ව්‍යාප්ත වීම නිසා අලින්ට තෘණ බිම් හා ගැවසුම් ප්‍රදේශ ඛණ්ඩනය වීම පාලනය කිරීමට නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවීම ද අලි – මිනිස් ගැටුම වර්ධනය වීමට හේතු සාධක වී තිබේ.
එපමණක් නොව අලුතින් වනාන්තර ඇති කිරීමේ දී දැවමය අවශ්‍යතා ව පමණක් පදනම් කර ගත් තේක්ක වැනි දැවමය ශාක වලින් යුත් වන වගාවන් පිහිටුවීම නිසා අලුතින් ඇති කරන වනාන්තර ද අලි – ඇතුන්ට ආහාර බිම් නොවීම ද අලි – මිනිස් ගැටුම වර්ධනයට හේතුවකි. අලි – ඇතුන් ජීවත් වන රක්ෂිත වනාන්තර ආශ්‍රිත ව හා ග්‍රාමීය ජනාවාස ආසන්නයේ මහ පරිමාණ කසළ රැඳවුම් පවත්වාගෙන යාම නිසා එම සතුන් මෙම ස්ථානවලට වැඩි වශයෙන් ආකර්ශනය වීම අලි – ඇතුන් ගම් වැදීමට හා අලි – මිනිස් ගැටුම වර්ධනය වීමට බලපා තිබේ.
වර්ෂ 2017 මැයි මස 30 වන දින කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ “කසළ බැහැර කරන ස්ථානවල වන අලි ගැවසීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම” නම් කැබිනට් පත්‍රිකාව එවකට තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා අමාත්‍යවරුන් විසින් ඒකාබද්ධ ව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වන්නේ අලි – ඇතුන් රැදී සිටින කසළ රැඳවුම් 54 ක් තිබෙන බව ය. මේ සියල්ල අලි – මිනිස් ගැටුම වර්ධනයට හේතු සාධක වී ඇත.
මේ තත්ත්වයන්ට අමතර ව ජූලි, අගෝස්තු, සැප්තැම්බර් මාසවල වියළි කලාපයේ හා අතරමැදි කලාපයේ ජීවත් වන සමහර ජනතාව විසින් සිදු කරන කැළෑ ගිනි තැබීම් ද අලි – ඇතුන් ගම්මානවලට පිවිසීමට බලපාන හේතු සාධකයකි.
මීට අමතර ව විදුලි වැටවල් සකස් කිරීමේ දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හා මහවැලි අධිකාරීයට අයත් වන අලි – ඇතුන් ජීවත් වන සමහර වනාන්තර පද්ධති මඟ හැර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර පමණක් ආවරණය වන පරිදි විදුලි වැටවල් සකස් කිරීම ද අලි – මිනිස් ගැටුම වර්ධනයට බලපාන හේතු සාධකයකි.
අලි – ඇතුන් ගේ සාම්ප්‍රදායික ගමන් මාර්ග අවහිර වන පරිදි හා වියළි කාලයේ දී මෙම සතුන් ජල අවශ්‍යතාව සපුරා ගන්නා වැව්වලට පිවිසීමට ඇති මාර්ග අවහිර කරමින් සිදු කරන විදුලි වැටවල් සකස් කිරීම හා ජනාවාස ව්‍යාප්ත කිරීම ද අලි – මිනිස් ගැටුම වර්ධනය වීමට බලපාන සාධකයකි.
එපමණක් නොව මහ පරිමාණ සමාගම් හා ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් විසින් පවත්වාගෙන යන වාණිජ වගා බිම් හා විවිධ සංවර්ධන ව්‍යාපෘති භූමි පමණක් ආවරණය වන පරිදි පෞද්ගලික ව ඉදි කරන විදුලි වැටවල් හේතුවෙන් ග්‍රාමීය ජනතාව ගේ වගා බිම් හා ජනාවාස විවෘත ව පැවතීම ද අලි – මිනිස් ගැටුම වර්ධනය වීමට හේතුවකි.
මීට අමතර ව අලි – ඇතුන් ගේ වාසස්ථාන ආවරණය කරමින් සකස් කර ඇති විදුලි වැටවල් නිවැරදි ප්‍රමිතීන්ට අනුව ඉදි නොකිරීම, නඩත්තු නොකිරීම හා විදුලි වැටවල් දෙපස නිවැරදි පරිදි ජෛව බාධක ඇති නොකිරීම ද අලි – ඇතුන් ගම් වැදීමට හා අලි – මිනිස් ගැටුම වර්ධනයට බලපාන සාධකයකි.
මේ සියල්ලේ ම ප්‍රතිඵලයක් ලෙස වර්ධනය වන අලි – මිනිස් ගැටුමට විසදුම් සෙවීමේ දී මේ සියල්ල පිළිබඳ ව ම අවධානය යොමු කළ යුතු ව ඇත.
අලි – මිනිස් ගැටුම පාලනයට ජාතික ඉඩම් කොමිෂන් සභාව පිහිටුවීම
අලි – මිනිස් ගැටුමට අදාළ සියලු කරුණු විශ්ලේෂණය කිරීමේ දී පෙනී යන්නේ වැරදි භූමි භාවිත රටාව මත මේ සියල්ල නිර්මාණය වන බව ය. මේ නිසා අලි – මිනිස් ගැටුම පාලනය කිරීමට නම් ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි මූල්‍ය ආයතනවල නිර්දේශ මත හා චීන රජයේ අවශ්‍යතා මත සිදු කරන සංවර්ධන ව්‍යාපෘති හා ඉඩම් සමාගම් සතු කිරීමේ ක්‍රියාවලිය මෙන් ම ඒ සඳහා කඩිනමින් ඉඩම් අණ පනත් හා චක්‍රලේඛ සංශෝධනය කිරීම වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයේ සඳහන් “ජාතික ඉඩම් කොමිෂන් සභාව” පිහිටුවීමට ක්‍රියාමාර්ග ගත යුතු ය. එසේ නොමැති වූවහොත් බලයට පත් වන ආණ්ඩු විසින් බාහිර බලපෑම් හා දේශපාලන අවශ්‍යතා මත ජාතික ප්‍රතිපත්තියකින් තොර ව ඉඩම් පිළිබඳ ව තීන්දු තීරණ ගැනීම පාලනය කළ නොහැකි ය. එපමණක් නොව ඒ මත සිදු වන අලි – මිනිස් ගැටුම වර්ධනයවීම පාලනය කිරීමට හැකියාවක් නොලැබෙනු ඇත.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මඟින් නීති ගත කරන ලද 9 වන උපලේඛනයේ පළාත් සභා ලැයිස්තුවේ II පරිශිෂ්ටය මඟින් “ජාතික ඉඩම් කොමිෂන් සභාවක්”පිහිටුවිය යුතු බව දක්වා ඇත. මෙම ජාතික ඉඩම් කොමිෂන් සභාවේ මූලික වගකීමක් ලෙස දක්වා ඇත්තේ රජයේ ඉඩම් පරිහරණය හා සම්බන්ධ “ජාතික ඉඩම් ප්‍රතිපත්තියක්”සකස් කිරීමයි. මෙම නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වී ඇත්තේ 1987 දී වුව ද “ජාතික ඉඩම් කොමිෂන් සභාව” මේ දක්වා වසර 36 ක් ගත වුවත් තව ම ස්ථාපිත කර නොමැත.
මෙම II පරිශිෂ්ටයේ 3 වන වගන්තියේ කරුණු ගණනාවක් දක්වා ඇත. එනම් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ජාතික ඉඩම් කොමිෂන් සභාවක් පිහිටු විය යුතු ය, ඒ කොම්ෂන් සභාව රජයේ ඉඩම් භාවිතය හා සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳ ව වගකිව යුතු ය, මේ කොමිෂන් සභාවට දිවයිනේ සියලූ ම පළාත් සභාවල නියෝජිතයන් ඇතුළත් විය යුතු ය, ජාතික ඉඩම් කොමිෂන් සභාවට ස්වාභාවික සම්පත් කළමනාකරණයට අදාළ සමාජ ආර්ථික සාධක මෙන්ම, භෞතික සාධක ඇගයීම සඳහා අවශ්‍ය අදාළ සියලු විෂයයන් නියෝජනය වන තාක්ෂණික ලේකම් කාර්යාලයක් තිබිය යුතු ය, ඉඩම් භාවිතය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය දේශපාලනික වශයෙන් හෝ ජනවාර්ගික වශයෙන් නොව තාක්ෂණික සාධක මත පදනම් විය යුතු ය, ඉඩම් කොමිෂන් සභාව විසින් පස, දේශගුණය, වර්ෂාපතනය, පස සේදීයාම, වන ආවරණය, පාරිසරික සාධක, ආර්ථික යෝග්‍යතාව ආදී කරුණු කෙරෙහි සැලැකිලිමත් ව ඉඩම් භාවිතය හා සම්බන්ධ පොදු න්‍යාය නියම කළ යුතු ය, පළාත් සභා වෙත පැවරෙන බලතල ක්‍රියාත්මක කිරීමේ දී පළාත් සභා විසින් ජාතික ඉඩම් ප්‍රතිපත්තිය කෙරෙහි නිසි පරිදි සැලැකිලිමත් ව තම බලතල ක්‍රියාත්මක කළ යුතු ය වශයෙනි.
මෙම කරුණු ක්‍රියාත්මක කිරීමට බලයට පත් වන සෑම රජයක් ම වගකීමෙන් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැදී සිටී. නමුත් මේ සියල්ල ව්‍යවස්ථාවට පමණක් සීමා වී තිබීම රටේ ජනතාව ගේ අවාසනාවකි. මේ මත පදනම් ව නිවැරදි ඉඩම් භාවිත ක්‍රියාවලියක් සකස් නොකළ හොත් අලි – මිනිස් ගැටුම පාලනය කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගත නොහැකි ය. ඒ වෙනුවට අලි ගම් වැදීම පාලනයට විදුලි වැටවල් පමණක් ඉදි කර මෙම ගැටළුවට විසඳුම් සෙවිය නොහැකි ය. එපමණක් නොව ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් මත රජය ක්‍රියාත්මකවන ව්‍යුහයක් ගොඩනැගීමට බලපෑම් කරන බුද්ධිමත් සමාජයක් බිහි වන තුරු මෙම ප්‍රශ්නයට විසදුම් සෙවිය නොහැකි වන බව ද අප අවබෝධ කර ගත යුතු ය.