spot_img
spot_imgspot_img

දුප්පතුන් වැඩිවීමේ පළමු තැන දකුණු පළාතට. නගරයේ තුන් ගුණයකින්, ගමේ දෙගුණයකින් දුප්පතුන් වැඩි වෙයි

පුවත්

විදෙස්

පසුගිය වසර 04කට අඩු කාලයක දී ශ්‍රී ලංකාවේ ලක්ෂ 40ක ජනතාවක් දුප්පතුන් බවට පත්ව ඇතැයි සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබේ.

මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ LIRNEasia ආයතනය විසිනි.  

2019 වර්ෂයේ දී මෙරට දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත්වන ජනගහනය හෙවත් දුප්පතුන් ප්‍රමාණය ලක්ෂ 30ක් විය. 2023 වර්ෂයේ දී කරන ලද අධ්‍යයනයෙන් තහවරු වී ඇත්තේ මේ වනවිට මෙරට දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 70ක් බවට පත්ව ඇති බවයි. ඒ අනුව වසර 04කට ආසන්න කාලයක දී ශ්‍රී ලංකාවේ දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 40කින් වැඩි වී ඇතැයි සමීක්ෂණ වාර්තාවෙන් තහවරු කර තිබේ.  සමීක්ෂණයෙන් පෙන්වා දෙන්නේ 2019 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් දුප්පතුන් සංඛ්‍යාව 14%ක් වුව ද වසර හතරක දී 2023 වනවිට එම සංඛයාව 31%ක් දක්වා වර්ධනය වී ඇති බවයි.

2022 අගෝස්තු 20 වැනි දා සිට 2023 මාර්තු මස 10 වැනි දා දක්වා මෙම සමීක්ෂණය ශ්‍රී ලංකාව පුරා ග්‍රාම නිලධාරී වසම් 400කින් පවුල් 10,000ක් යොදාගෙන සිදුකර තිබේ. මෙම සමීක්ෂණය සඳහා ඉලක්ක ගත කණ්ඩායම් 28ක් යොදාගෙන ඇති අතර ගැඹුරින් සිදුකරන ලඳ සම්මුඛ සාකච්ඡා 291ක්, ඉලක්කගත තොරතුරු විමසීම් 117ක් සහ නිරීක්ෂණ අවස්ථා 20ක් භාවිතා කර ඇත.

දුප්පත්කම පළාත් මට්ටමින් වර්ධනය වී ඇත්තේ මේ ආකාරයෙනි.

පළාත2019 දී දුප්පත්කම2023 දී දුප්පත් කම
බස්නාහිර11%18%
දකුණ20%41%
මධ්‍යම28%38%
වයඹ19%23%
සබරගමුව32%40%
උතුරු මැද18%31%
නැගෙනහිර24%31%
උතුර28%33%
ඌව37%48%

මෙම දත්ත අනුව ශ්‍රී ලංකාවේ වැඩිම දුප්පතුන් සංඛ්‍යාවක් සිටින පළාත වන්නේ ඌව පළාත වන අතර එම ප්‍රමාණය 48%කි. අඩුම දුප්පතුන් සංඛ්‍යාවක් සිටින පළාත ලෙස හඳුනාගෙන ඇත්තේ බස්නාහිර පළාත වන අතර 2019 දී බස්නාහිර පළාතේ 11%ක් වූ දුප්පතුන් සංඛ්‍යාව 2023 වනවිට 18%ක් දක්වා වර්ධනය වී ඇත. 2019 වර්ෂයේ දී දුප්පත්කම අතින් ශ්‍රී ලංකාවේ හයවැනි තැන තිබූ දකුණු පළාත 2023 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ දුප්පතුන් වැඩිම පළාත් අතරින් දෙවැනි තැනට පත්ව ඇත්තේ වසර 04ක් ඇතුළත දුප්පතුන් සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි කරගනිමිනි. 2019 දී දකුණේ සිටි දුප්පතුන් ප්‍රමාණය 20%ක් වන අතර එය 2023 වර්ෂය වනවිට 41%ක් දක්වා වර්ධනය වී ඇත. දුප්පතුන් අතින් දකුණ දෙවැනි වන්නේ ඌව පළාතට පමණි.

නාගරික, ග්‍රාමීය සහ වතු ආශ්‍රිතව දුප්පත්කම වැඩි වී ඇති ආකාරය

දුප්පත්කමට ලක්වූවන් මෙම සමීක්ෂණය අනුව ග්‍රාමීය, නාගරික සහ වතු ආශ්‍රිත වශයෙන් වෙන්කර තිබේ. ඒ අනුව 2019 වර්ෂයේ දී නාගරික ප්‍රදේශවල සිටි දුප්පතුන් ප්‍රමාණය 06% සිට 2023 වර්ෂය වන විට 18%ක් දක්වා වර්ධනය වී ඇත. එය තුන්ගුණයකින් වැඩිවීමකි.

ග්‍රාමීය ප්‍රදේශවල 2019 වර්ෂයේ දී දුප්පතුන් 15%ක් වූ අතර එය දෙගුණයකටත් වඩා වර්ධනය වී එම ප්‍රමාණය 32%ක් බවට පත්ව ඇත.

වතු ආශ්‍රිත ජනතාව අතරින් 34%ක් ම දුප්පතුන් බව 2019 වර්ෂයේ සංඛ්‍යාලේඛන අනුව තහවරු වී තිබූ අතර එම සංඛ්‍යාව 1.5ක ගුණයකින් වර්ධනය වී 2023 වර්ෂය වනවිට වතු ආශ්‍රිතව ජීවත්වන ජනතාවගෙන් හරි අඩකටත් වඩා 51%ක් ම දුප්පතුන් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත්වන පුද්ගලයන් ලක්ෂ 70 අතරින් 81%ක් ම ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන බව ද සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.  

මෙම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ ආර්ථික අර්බුදය නිසා 47%ක පිරිසක් ඔවුන් වෙනදා ආහාර ගත් ආකාරයෙන් මේ වනවිට ආහාර ලබා‍ නොගන්නා බවයි. තම ආහාර වේලට එකතුකරගත් ඇතැම් ද්‍රව්‍ය අඩුකර ඇති බව ද ඔවුන් පවසයි.

එමෙන් ම 33%ක පරිසක් මේ වනවිට තමන් දිනගට ගන්නා ආහාර ප්‍රමාණය අඩුකර ඇත. තවත් 27%ක් දරුවන්ට ආහාර ලබා දී වැඩිහිටියන් ලෙස තමන් නිරාහාරව සිටින බවත් එය දරුවන්ට දැනගන්නට නොදෙන බවත් පවසා තිබේ.

මේ සමීක්ෂණයෙන් හෙළිදරව් වන්නේ නූතන ශ්‍රී ලාංකිකයන් මුහුණ දී ඇති ඛේදවාචකයයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!