කොළඹ මැනිං වෙළෙඳ සැළ යළි නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කළ බව පොලිසිය පවසයි. අද (09) මැනිං වෙළෙඳ සැළ විවෘත කර වෙළෙඳ කටයුතු සිදුකරන බව කලින් දැනුම් දී තිබූ බැවින් අළුයමවන විට එළවළු ලොරි සහ එළවළු මිලදී ගැනීමට තදාසන්න වෙළෙන්දෝ විශාල පිරිසක් පැමිණ සිටියහ.
එසේ වුව ද පොලිසිය මැනිං වෙළෙඳ සැළ විවෘත කිරීමට අවසර නොදුන් බැවින් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ද අද ඇති වී තිබිණි. පසුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ මැනිං වෙළෙඳ සැළ දහවල්වන විට විවෘත කරන බවයි.
නමුත් නැවත දැනුම් දෙනතුරු මැනිං වෙළෙඳ සැළ වසා දැමීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේය. මෙලෙස මැනිං වෙළෙඳ පොළ යළි වසා දැමීමට හේතු වී ඇත්තේ එහි සිදුකළ පීසීආර් පරීක්ෂණ වාර්තා අනුව සේවකයන් කිහිප දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන තිබීඹයි.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ මේ අතර නාටාමිවරු කිහිප දෙනකු සිටින බවයි. ඔවුන්ගේ සමීපතමයන් සොයා පීසීආර් පරීක්ෂණ සිදුකිරීමටත් නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමටත් කටයුතු කරන බව ද හෙතෙම පැවසීය.
සෞඛ්‍ය නිර්දේශ ලැබෙනතුරු මැනිං වෙළෙඳ සැළ විවෘත නොකරන බවත් විවෘතකරන දිනය ඉදිරියේ දී දැනුම්දෙන බවත් පොලිසිය පවසයි.