spot_img
spot_imgspot_img

හිටපු සෞඛ්‍ය ඇමති සෝපානය කඩා වැටී මියගිය හැටි ගැන හෙදිය කී කතාව

පුවත්

විදෙස්

“උඩ තට්ටුවේ නානකාමයරක් හදන්න ඒක මනින්න අවශ්‍යයි කියලා වෛද්‍යතුමා උඩට ගියේ සෝපානයෙන්. ආපහු එන්න දොර වහගන්නවාත් එක්කම ලොකු ශබ්දයක් ඇහුණා. විදුලි සෝපානය කඩා වැටුණා. මම පහළට දුවලා ගිහින් අවට කට්ටිය එක්ක එකතුවෙලා තමයි වෛද්‍යතුමාව එළියට ගත්තේ” යැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය ‍‌වෛද්‍ය පී.එම්.බී.සිරිල් මහතාගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි දෙමින් හෙදියක කියා සිටියාය.

හම්බන්තොට දිසා මන්ත්‍රීවරයා ලෙස සහ සෞඛ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ වෛද්‍ය පී.එම්.බී.සිරිල් මහතා 89 වැනි වියේ පසුවූයේය. දරුවන් හය දෙනකුගේ පියකු වන ඔහු හම්බන්තොට, සිරිබෝපුර නිවසක පදිංචිව පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇත.

වෛද්‍ය සිරිල් මහතාගේ මරණය පිළිබඳ හිදිසි මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රොහලේ දී ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න මහතා විසින් පවත්වන ලදී.

එහි දී සාක්ෂි ලබාදුන්  පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ හෙදියක ලෙස සේවය කරන ප්‍රමිලා කාවින්දි (23) මහත්මිය වැඩිදුරටත් මෙසේ ද කීවාය.  

“මියගිය වෛද්‍යවරයා ළඟ මම හෙදියක ලෙස සේවයට ඇවිත් වසර ගණනක් වෙනවා. මමත් රියදුරු මහත්මයකුත් විතරයි වැඩ කළේ. පහළ තට්ටුවේ වෛද්‍ය මධ්‍යස්ථානය තියෙන්නේ. වෛද්‍යවරයාත් බිරිඳත් දෙවැනි මහළේ පදිංචිව ඉන්නවා. ඊයේ (25) දහවල් 12.00ට විතර තුන්වැනි තට්ටුවේ නානකාමරයක් හදන්න මනින්න අවශ්‍යයි කියලා වෛද්‍යවරයා රියදුරු මහතා සමඟ උඩට ගියේ විදුලි සෝපානයේ. මම ගියේ පඩිපෙ‍ළ නැගලා. වෛද්‍යතුමා රියදුරා සමඟ නැවත ආපසු එන්න විදුලි සෝපානයට නැගලා දොර වසා ගත්තා. ඒ වෙනකොට මම දෙවැනි තට්ටුවට ඇවිත් හිටියේ. එකපාරටම විශාල ශබ්දයක් ඇහුණා. මම පහළට දුවලා බලනකොට සෝපානය කඩා වැටිලා. එක දොරක් ගැලවිලා පැත්තකට විසිවෙලා තිබුණා. අවට අයත් එක්ක අපි අනෙක් දොර ඇරලා බලනකොට වෛද්‍යතුමා එහෙමම බිම වැඩිවෙලා වගේ හිටියා. රියදුරු මහතාත් එහෙම හිටියා. අපි එකතුවෙලා දෙන්නම පුළුවන් තරම් ඉක්මනට හම්බන්තොට රෝහලට ගෙන ගියා. එතනින් කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යැව්වා. කරාපිටියට ගෙනයන විට සවස 6.00 විතර වෙලා. රෑ 8.00ට විතර දැනගත්තා එතුමා මියගියා කියලා.”

මෙම මරණය සම්බන්ධයෙන් මියගිය වෛද්‍යවරයාගේ බිරිඳ ධර්මා කුරුප්පු (89) මහත්මිය මෙසේ කීවාය.

“අපිට දරුවන් හය දෙනෙක් ඉන්නවා. ඒ අයගෙන් හතර දෙනෙක් ම විදේශගත වෙලා. දෙන්නෙක් කොළඹ පදිංචි වී සිටිනවා. අපි දෙන්නා හම්බන්තොට, සිරිබෝපුර නිවසේ දෙවැනි මහළේ ඉන්නේ. ඊයේ දහවල් විශාල ශබ්දයක් ඇසුණා. මහත්තයාගේ ඩිස්පෙන්සරියේ වැඩකරන හෙදිය ඇවිත් කිව්වා සෝපානය කඩා වැටිලා මහත්තයා සහ එයාගේ රියදුරා රෝහලට රැගෙන ගියා කියලා. පසුව රාත්‍රී දැනගන්න ලැබුණා මගේ මහත්තයා මියගිය බව. මේ මරණය ගැන සැකයක් නැහැ.”

මෙම මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ්‍ය පැවැත්වූ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය රොහාන් රුවන්පුර මහතාගේ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි සැළකිල්ලට ගත් ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න මහතා නිගමනය කළේ උසකින් වැටීම නිසා කොඳුඇටපෙළට, සුසුම්නා ශීර්ෂයට සහ හෘදයට සිදු වූ බහුවිධ තුවාල නිසා මරණය සිදුව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!