-2.1 C
New York

කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය ඒකකය රෝගියකු නිසා වසා දමයි

Published:

නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අකුරැස්සේ අමලගොඩ පදිංචි කාන්තාවක් කොරෝනා ආසාදිතය බව තහවුරුවීම හේතුවෙන් අද (09) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ඒකකය (23 වාට්ටුව) තාවකාලිකව හුදකලා කිරීමට කටයුතු කර තිබේ.

ඒකකයට පැමිණෙන සහ වෙනත් වාට්ටුවලින් යොමුකරන සියලුම රෝගීන් ඉදිරි දින 14ක කාලයේ දී උණවටුන රෝහල වෙත යොමුකිරීමට ද පියවර ගෙන ඇත.  

එම කාන්තාව පසුගිය 02 දා වකුගඩු රෝගයකට ප්‍රතිකාර ගැනීම සඳහා කරාපිටිය රෝහලට ඇතුළත්ව ඇති අතර ඉන් පසු මෙම වාට්ටුවට මාරුකර තිබිණි. එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී ශ්වසන අපහසුතා ඇතිවීම හේතුවෙන් ඇය පීසීආර් පරීක්ෂණයකට යොමුකර ඇත. එහි ප්‍රතිඵල අද (09) උදෑසන ලැබුණු අතර ඉන් සනාථ වූයේ 53 හැවිරිදි ඇය කොරෝනා ආසාදිත රෝගියකු බවයි.

ඒ මොහොතේම මනෝ වෛද්‍ය ප්‍රතිකාර ඒකකය වසා දැමිණි. වාට්ටුව වසා දමන විට එහි නේවාසික රෝගීන් 10 දෙනකු සිටි බව වෛද්‍යවරු කියති. මේ වනවිට වාට්ටුවේ සිටින කිසිවෙකුට පිටතට යාමට හෝ පිටතින් කිසිවෙකුට ඇතුළට පැමිණීමට අවසරයක් නොමැතිි අතර මානසික ආබාධ සඳහා ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් මෙහි සිටින බැවින් ඔවුන්ට වාට්ටුවේ ම දින 14ක කාලයක් නිරෝධායනය කිරීමට කටයුතු යොදා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා මෙසේ කීවේය.

“ වාට්ටුවට මානසික ආබාධ ඇති අය වගේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයත් ඇතුල් කරන නිසා ඔ්නෑම අයකු ආසාදිතයකු විය හැකියැයි සැකයක් තියාගෙන ආරක්ෂිිතව වැඩ කළා. රෝගීන්ගේ සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයගේ විස්තර සොයාගෙන පුංචි හෝ සැකයක් තිබුණානම් ඒ අය පීසීආර් පරීක්ෂණවලට යොමු කළා. මේ කාන්තාවත් වකුගඩු ආබාධයකින් පෙළෙන අතරම අපේ වාට්ටුවට යොමුකර තිබුණා. ඇයට ශ්වසන ආබාධයක් තිබූ නිසා පීසීආර් පරික්ෂණයට යොමු කළා. ඒ වගේම වාට්ටුවේ වෛද්‍යවරුන්ට හා හෙදියන්ට ඒ ඒ රෝගීන් වෙන වෙනම බෙදා දීලා සියලු රෝගීන් සමග කටයුතු කිරීම වළැක්වූවා. එවැනි වැඩපිළිවෙලක් කරපු නිසා මෙම ආසාදිත රෝගියා සමග සම්බන්ධ වි තිබෙන්නේ ඉතා සුළු පිරිසක් පමණයි.”

රෝගියා වාර්තාවීමත් සමඟ වෛද්‍යවරු සහ කාර්යමණ්ලයේ අවදානම් තත්ත්වය පිළිබඳ තක්සේරුවක් කර ඇති අතර ඉන් තීරණය වී තිබෙන්නේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය අවධානම් තත්ත්වයක නොසිටින බැවින් නිරෝධායනය වීම අනවශ්‍ය බවයි.

මෙම රෝගියාට කොරෝනා වැළඳී ඇති ආකාරය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසන්නේ රෝගියා කිසිදු බාහිර පුද්ගලයකු සමඟ සම්බන්ධතා නොපැවැත්වූ බව කියන ඇගේ ඥාතීන් ඇයට ආසාදනය වන්නට ඇත්තේ කරාපිටිය රෝහලේ දී යැයි පවසන බවයි.

පසුගිය දිනවල දී මනෝ වෛද්‍ය ඒකකයට බන්ධනාගාර රැඳවියන් ද ගෙනවිත් ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබූ අතර විවිධ බන්ධනාගරවලින් කාන්තා හා පිරිමි රැඳවියන් එහි ගෙනවිත් ප්‍රතිකාර කර තිබිණි.

වාට්ටුවේ සිටි රෝගින් සහ කාර්ය මණ්ඩලය සඳහා ද පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇත. දින 14කට පසු සියලුම රෝගීන්ට පීසීආර් පරීක්ෂණ සිදුකිරීමෙන් පසු නිවෙස්වල රඳවාගත හැකි රෝගීන් ආපසු යැවීමට ද තීරණය කර තිබේ.

Related articles

Recent articles

spot_img