spot_img
spot_imgspot_img

ටෙලිකොම් විකිණීමට එරෙහි පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ කරයි

පුවත්

විදෙස්

ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් විකිණීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය හේතුවෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීරණනය කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම් දෙකක් අද (15) විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ශ්‍රී ලංකා සමස්ත විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජේ. බී. ගුරුසිංහ, ලේකම් එච්. කේ. හෙට්ටිආරච්චි සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමගි සේවක සංගමයේ සභාපති ඉන්දික ප්‍රියදර්ශන විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි. මුර්දු ප්‍රනාන්දු, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව දෙන ලදී.

පෙත්සම් සලකා බැලූ අවස්ථාවේ දී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජීව ගුණතිලක අධිකරණය හමුවේ කරුණු දක්වමින් ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා ඉකුත් මාර්තු මස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙන බව සඳහන් කළේය.එමෙන්ම පාර්ලිමේන්තුවේ මුදල් අමාත්‍යවරයා සිදු කළ අයවැය ප්‍රකාශය තුළින් ද මෙම කරුණ සඳහා අනුමැතිය ලැබී තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.

ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බවට මෙම පෙත්සම්වලින් චෝදනා කර තිබුණි.

එම චෝදනාවේ කිසිදු පදනමක් නොමැති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා බ්‍රිතාන්‍යය ඇතුළු ලෝකයේ ප්‍රධාන රටවල් ගණනාවකම විදුලි සන්දේශ කටයුතු පෞද්ගලීකරණය කර තිබෙන බවත් සඳහන් කර සිටියේය.

හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ පෙත්සම්කරුවන් ඉල්ලා ඇති පරිදි අතුරු නියෝගයක් දෙනු ලැබුවහොත් විදේශීය ආයෝජකයන් ශ්‍රී ලංකාවට පැමණීමට මැළිකමක් දක්වනු ඇති බවයි.

රජය සතුව ඇති ටෙලිකොම් ආයතනයේ කොටස්කරුවන්ටත්, එහි ග්‍රාහකයින්ටත් අගතියක් සිදු වන බවට පෙත්සම්වලින් චෝදනා කර තිබුනත් එය ද පදනම් විරහිත බව ප්‍රකාශ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම ක්‍රියාදාමය හරහා ලැබෙන වාසිය ටෙලිකොම් ආයතනයට පමණක් නොව එහි කොටස්කරුවන්ටත්, ග්‍රාහකයින්ටත් හිමිවන අතර මෙය සැමටම ජයග්‍රහණය ගෙන දෙන වැඩපිළිවෙලක් බවත් හෙතෙම කියා සිටියේය.

ඒ අනුව මෙම ක්‍රියාවලිය තුළින් පෙත්කසම්කරුවන්ගේ  මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන හෙයින් මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ ඉල්ලීම විය.

ටෙලිකොම් ආයතනය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු ඉදිරිපත් කළේය.

මෙම කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් දෙකම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!