සජීව විජේවීර
රතු පැහැති බස් රථය තේ වතු යාය මැදින් වැටී ඇති තාර පාර දිගේ ඉදිරියට ඇදෙන අයුරු සාරදා බලා සිටින්නීය. එය කෙනෙකුට සුන්දර දසුනක් වුව ද සාරදාගේ මුහුණේ ඇත්තේ ඉච්ඡාභංගත්වයකි. ඇය කිහිල්ලේ ගසාගෙන සිටින තම මල්ලී අනෙක් අතට මාරුකර විශාල සුසුමක් පිටකළාය. වෙනදා මෙන් සුදෝ සුදු ඇඳුමින් සැරසී සාරදාට ඒ රතු පාට බසයේ නැග දෙණියායේ පාසලට යාමට වරම් නැත.
රට ම වෙළාගත් ආර්ථික අර්බුදයත් සමඟ ඇගේ අම්මාටත්, අප්පාටත් ඇය පාසල් යවන්න දැන් හැකියාවක් නැත. අම්මාත් අප්පච්චීත් කීයක් හෝ උපයා ගැනීමට කුලී වැඩක් සොයා ගිය විට සාරදා තම නංගිලා මල්ලිලා සමඟ නිවසේ තනිවෙයි. එවිට පවුල් අම්මා වෙන්නේ මේ ලොකු අක්කාය.
රටේ ආර්ථික අර්බුදය උත්සන්න වනවිට සාරදා යන්තම් අටේ පත්තියට සමත්වූවා පමණි. ඇයගේ එකම අරමුණ වී තිබුණේ හොඳින් ඉගෙන ගැනීම වුව ද දැන් ඇයට කිසිසේත්ම ඉගෙන ගන්න වරම් නැත. ඇය දැන් පාසල් යන්නේ නැත. මේ පවුලේ පාසල් යන වයසේ පසුවන පිරිමි ළමයින් දෙදෙනකු පමණක් ඉඳහිට පාසලට යයි.
මේ වතු වැඩවල යෙදෙන මිනිසුන්ගේ ඛේදවාචකයයි.
දෙමාපියන් විඳින දුක
දෙණියායේ දී අපට හමු වූ ක්‍රිෂ්ණපුල්ලේ රාමනාදන් (44) මෙසේ කීවේය.
අපිට දැන් දරුවන්ව ඉස්කෝලේ යවන්න විදියක් නෑ. කෙරෝනාවලට ඉස්සෙල්ලා දරුවෝ කොහොම හරි ඉස්කෝලේ ගියා. කොරෝනා නිසා ඉස්කෝල වැහුණා. අපිට කිසිම වත්කමක් නෑ දරුවන්ට ෆෝන් අරන්දීලා ඉගෙන ගන්න පහසුකම් දෙන්න බැරිවුණා. ඉතින් ඒක ඉස්සෙල්ලාම මඟඇරුණා. ලොකු දරුවා මුලින්ම ඉගෙන ගන්න එක නැවැත්තුවා. ඊට පස්සේ දෙවැනි පුතා නැවතුණා. කොරෝනාවලින් පස්සේ ඉස්කෝල පටන්ගත්තම අනිත් හතර දෙනාම ඉස්කෝලේ යැව්වා. ඒත් ඉතින් දැන් බඩුවල ගණන් වැඩි නිසා දරුවන්ට හරියට කන්න අදින්න දෙන්න විදියක් නෑ. පොත්වලට ම ලොකු ගාණක් වියදම් වෙනවා. දරුවෝ ඉඳලා හිටලා තමයි ඉස්කෝලේ යවන්නේ.
කේ.සකුන්තලා විවාහ වී සිටින්නේ වතු කම්කරුවකු සමඟය ඇය වතු නිවාස පේළියක පදිංචිව සිටියි.
“මගේ මහත්තයා විතරයි රස්සාවට යන්නේ. පොඩි දරුවන් එක්ක මට කිසිම දෙයක් කරගන්න බැහැ. දැන් දරුවන් පාසල් යැවීම ඉතාමත් අමාරු දෙයක්. සපත්තු දෙකක් අරන් දෙන්න රුපියල් 5,000.00ක් යනවා. ඉස්කෝලේ ගෙනියන බෑග් එකක් රුපියල් 4,000.00කට වැඩියි. එක පොතක් රුපියල් 200.00ක් විතර වෙනවා. ලොකු පුතා 10 වසරෙන් පස්සේ පාසල් ගමන නවත්තලා දැම්මා. අපිට මාස කිහිපයක් හම්බකරන සල්ලි ඕනේ එක ළමයෙකුට අවශ්‍ය දේවල් අරන් දෙන්න විතරක්. දැන් දුව ශිෂ්‍යත්වය කරනවා. නිතරම ඉස්කෝලෙන් පණිවිඩ එවනවා ප්‍රශ්න පත්තරවලට රුපියල් 1,000.00ක් 900.00ක් එවන්න කියලා. ඉතින් කොහොමද මේ දරුවෝ ඉස්කෝලේ යවන්නේ. කන්න හාල් ටික ගෙනත් බෙහෙත් හේත්වලටයි අනිත් අඩුම කුඩුමවලටයි වියදම් කළාම දරුවන් ඉස්කෝලේ යවන්න සල්ලි ඉතිරිවෙන්නේ නෑ. මේ දරුවන්ට ඉරිච්ච ඇඳුම් අන්දලා කැඩිච්ච සපත්තු දාලා ඉස්කෝලේ යවන්න බෑ. එයාලා අනිත් අය අතර කොන්වෙනවා. ඉතින් ඉස්කෝලේ යන්න කැමති නෑ. වෙනදාට පිටි පැකට් එකක් ගෙනත් බාලම දරුවාට උදේට කිරි ටිකක් දුන්නා. දැන් ඉතින් ඇල්වතුර තමයි”
ඇය පවසන්නේ දැන් තමන්ගේ දරුවන් පාසල් යැවීමට හැකියාවක් නැති බවයි. ඒ නිසා ඔවුන්ගේ අධ්‍යාපනය පිළිබඳ පැහැදිළි ඉලක්කයක් නැත. පාසල් යැවිය යුතු ම නිසා පාසල් යවයි.
කනකපුල්ලලේ රාජන් (45) පවසන්නේ තමන්ගේ දරුවන් පාසලෙන් ලැබෙන ආහාර වේල නිසා කෙසේ හෝ කැමැත්තෙන් පාසල් යන බවයි. පාසලේ පෝෂණ වැඩසටනක් ක්‍රියාත්මක වන බැවින් ඔවුන්ට ආහාර ප්‍රශ්නයක් නැතත් පාසල් ගමනට අවශ්‍ය පොත්පත් සහ අනෙකුත් ද්‍රව්‍ය රැගෙන දීමට වත්කමක් නොමැතිවීම බරපතල ගැටලුවක් බව ඔහු පෙන්වා දෙයි.
වත්තට ම සින්න වූ ජීවිත
මේ ගැටලුව සමස්ත වතුකරයේ ම ජනතාවට ඇත. ඔවුන්ගේ දෛනික වැටුප දැන් රුපියල් 1,000.00ක් බවට පත්කර ඇතත් වත්තෙන් ලබාදෙන අත්තම් ගණන සීමා කර තිබේ. එමෙන් ම දිනකට තනි පුද්ගලයකුට සම්පූර්ණ කළ නොහැකි තරම් විශාල වැඩ ඉලක්කයක් ලබාදෙන අතර එය සම්පූර්ණ කරගැනීමට නොහැකි වුවහොත් රුපියල් 1,000.00 ලැබෙන්නේ ද නැත. එවිට එය කපා දමයි. මේ නිසා වතුවල වැඩකරන ජනතාවට මාසයකට රුපියල් 20,000.00ක් උපයා ගැනීම පවා ඉතාත් දුෂ්කර කාර්යයක් වී තිබේ.
කනකපුල්ලේ රාජන් මෙසේ කීවේය
“වත්තේ වැඩ කරලානම් දරුවන් ඉස්කෝලේ යවන්න බැහැ. අපි ගන්න සොච්චම් මුදල දරුවන්ට උගන්වන්න කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඒ නිසා හැම වෙලාවෙම කුලී වැඩක් හොයාගන්න බලනවා. ඒත් ඉතින්ව වත්තෙන් ඒවටත් තහංචි දානවා. අපි හිරකාරයෝ වගේ තත්වයට පත්වෙලා ඉන්නේ. මගේ දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. ඒ අයගෙන් තුන්දෙනෙක් දැන් ඉස්කෝලේ යනවා. එයාලගේ ඉස්කෝලෙන් කෑම දෙනවා. ආර්ථික අර්බුදය නිසා පාසල්වල කෑම දෙන්න පටන් ගත්තා. ඒ නිසා දරුවෝ උදේට හිස්බඩම ඉස්කෝලේ ගිහින් ඉස්කෝලෙන් දෙන දෙයක් කාලා එන්නේ. ඒත් ඉතින් වෙනත් අවශ්‍යතාවලට වියදම් කරන්න අපිට සල්ලි නෑ”
පිටබැද්දර හුලංදාව වත්තේ පදිංචි කාන්තාවක අපට කීවේ වෙනදා දරුවන් වෙනුවෙන් වත්තෙන් ලැබෙන පහසුකම් වැඩි ප්‍රමාණයක් දැන් කපාහැර ඇති බවයි. ඒ නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම් කිරීම අසීරු බව ඇය පවසයි. තමන් මෙන්ම සැමියා ද වත්තේ තවමත් රැකියාව කරන බැවින් නම හෙළි නොකරන ලෙස ඇය ඉල්ලා සිටියාය.
“ඉස්සර අපේ දරුවන්ගේ පාසල් පොත්පත් ටික වත්තෙන් අරන්දෙනවා. ඒක ලොකු සහනයක් වෙලා තිබුණා. හැම දරුවෙක් වෙනුවෙන් ම අවුරුද්දේ මුල පාසල් පොත් වත්තෙන් අරන්දුන්නම අපිට දරුවන් පාසල් යවන්න පුළුවන්. දැන් දරුවන්ගේ පොත් ගන්න කියලා අවුරුද්ද මුල දෙන්නේ රුපියල් 2,500.00ක් විතරයි. ඒ මුදල එක්කෙනෙකුට අවශ්‍ය දේවල් ගන්නවත් මදි. ඉතින් අපි ලොකු අමාරුවකින් ජීවත් වෙන්නේ. දරුවන්ගේ අවශ්‍යතා කියනකොට පොළව පළාගෙන යන්න හිතෙනවා. මේ දරුවෝ ඉගෙනගත්තොත් විතරයි උන්ට අනාගතයක් තියෙන්නේ”
ආර්. කමලම්මාගේ නිවසට යන විට ඇය කොස්ඇට තම්බමින් සිටියාය. වෙනත් කිසිම ආහාරයක් මේ නිවසේ නැත. ඇය මෙසේ කීවාය.
“මම දැන් වයසයි. මගේ පුතා එයාගේ පවුලම අතඇරලා ගිහින්. එයාගේ නෝනා දරුවන් දාලා රට ගියා. දැන් රට ගිහින් රස්සාවක් නෑ. එන්න විදියක් නැතිව ඉන්නේ. එයාලා දෙන්නගේ දරුවන් බලාගන්නේ මම. කඩේට රුපියල් 50,000.00කට වඩා ණයයි. එක දරුවෙක් 11 වසරේ. අනිත් එක්කෙනා 10 වසරේ මේ දරුවන්ට උගන්වන එක තමයි ලොකුම ප්‍රශ්නේ“
දරුවන්ගේ බඩගින් දැනෙන ගුරුවරු
පිටබැද්දර ප්‍රදේශයේ සිට දෙමළ මාධ්‍ය පාසලක උගන්වන ගුරුවරයකු අපට හමුවූයේය. ඔහු දිනපතා තම යතුරුපැදියෙන් රැකියාවට යයි. ඉන්දියාවේ සිට ඔහුගේ මුත්තා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ 19 වැනි සියවසේ අගභාගයේ දී ය. අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් මධ්‍යයේ දෙමාපියන් අතේ කරගැට එනතුරු වත්තේ වැඩ කර තමන්ට ඉගැන්වූ බව ඔහු කියයි. දැන් ඔහු ගුරුවෘත්තියට එක්ව සිටියි. තවමත් ජීවත් වන්නේ වතු නිවාසයකය.
“මම කොහොම හරි මේ දුක්ඛිත ජීවිතයෙන් ගොඩඑන්න උත්සාහ ගන්නවා. අධ්‍යාපනය ලැබුවොත් විතරයි අනාගතය සාර්ථක කරගන්න පුළුවන්. මම ඒක අත්දැකීමෙන් ම දන්නවා.” එසේ කියන මේ ගුරුවරයා වතුවල සිට පාසල් එන දරුවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර තිබේ.
“දෙණියායේ දෙමළ මාධ්‍ය පාසල් 05ක් විතර තියෙනවා. මම ඉන් එකක උගන්වනවා. ආර්ථික අර්බුදයත් එක්ක වතු ආශ්‍රිතව ජීවත්වන ළමයින් පාසල් ඒම ඉතාමත් අඩු වුණා. ලොකුම ප්‍රශ්නය වුණේ දරුවන්ට කන්න නැති වීම. ඒ වගේම පොත්පත් සහ අවශ්‍ය ද්‍රව්‍ය ගන්න සල්ලි නැතිකම. අපි පුළුවන් විදියට දරුවන්ට පිහිට වුණා. ආර්ථික දුෂ්කරතා හැම දරුවෙකුටම තිබුණා. අපි ඒ අය හොයාගෙන ගිහින් ප්‍රශ්න විසඳන්න උත්සාහ ගත්තා. සමහරු අපි යනකොට මඟහැරලා යනවා.”
මේ ගුරුවරයා තම නම කීමට කැමති නැත. එමෙන් ම තමන් දරුවන්ට හැකි සෑම අවස්ථාවක දී ම පිහිට වූ බැවින් තම අනන්‍යතාව හෙළි කිරීමට ඔහු කැමති නැත. ආර්ථික අර්බුදයට මාස කිහිපකට පෙර විවාහ වූයේ තවත් ගුරුවරියක සමඟිනි. මේ ගුරු යුවළ සෑම දිනකම තම නිවසේ උදෑසන ආහාර සකසා ඔවුන් දෙදෙනාට අවශ්‍ය ආහාර පාර්සල්වලට අමතරව තවත් ආහාර පාර්සල් පහක් හයක් පිළියෙල කරගනිති. ඒ තම පාසල්වල ඉගෙන ගන්නා කුසගින්නේ පාසලට එන දරුවන් වෙනුවෙනි.
“සමහර ළමයින්ට උදේට ඉස්කෝලෙට එන්න බෑ. තමන්ට වඩා බාල නංගිලා මල්ලිලාව බලාගන්නවා. අපි ඒ අයට රෑට පන්ති කරන්නත් වැඩපිළිවෙලක් සකස් කරලා තියෙන්නේ. මේ විදියට අපි කොහොම හරි මේ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්න ඕනෑ” ඒ ගුරුවරයා එසේ කීවේය.
ප්‍රශ්න සදාකාලික උරුමයක් ද ?
පහතරට වතු ආශ්‍රිතව ජීවත්වන පුද්ගලයන්ගේ සමාජ ආර්ථික ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් කරුණු සොයාබලමින් ඒ සඳහා මැදහත් කාර්යභාරයක් ඉටුකළ සමාජ ක්‍රියාකාරිකයකු වන සිරිල් පතිරණගේ පවසන්නේ වතු ආශ්‍රිත පවුල්වල දරුවන් ආර්ථික අර්බුදය නිසාම පාසල් හැරයාම විශාල ඛේදවාචකයක් බවයි.
ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.
“වතු ආශ්‍රිතව ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔවුන්ගේ ආර්ථික ගැටලු වගේම මේ දෙමාපියන්ට ඒ ප්‍රශ්නවලින් මිදීමට අවශ්‍ය දැනුම සහ අවබෝධය නොමැතිකමත් තවත් ගැටලුවක්. ඔවුන් හැමදාමත් මේ දුක්ගැහැට විඳිමින් ඉන්නවා. දරුවන්ගේ අධ්‍යාපනය ගැන අවධානය යොමුකරනවා ඉතාමත් අඩුයි. දරුවන් කිහිප දෙනකු ලැබෙන විට බාල දරුවන් රැකබලාගන්නේ පවුලේ වැඩිමල් දරුවන්. එතකොට ඒ අයගේ අධ්‍යාපනය ඉබේම නතර වෙනවා. ආර්ථික අර්බුදය නිසා මේක තවත් දරුණ වුණා. අපි නිරීක්ෂණය කරල තියෙනවා මේ දරුවන්ට අවශ්‍ය පොත්පත් සහ පාසල් උපකරණ ගන්න මුදල් නැති නිසාම පාසල් ගමන නවතා දමනවා. ඒ විතරක් නෙවෙයි හරිහැටි ආහාරයක් නැතිව පාසල් යන්න නොහැකි වෙනවා. දරුවන්ට අධ්‍යාපනය නොලැබෙනවා කියන්නේ ඊළඟ පරපුරත් මේ දුකම විදිනවා කියන එක. මෙය දිගින් දිගටම තියෙන ප්‍රශ්නයක්. වහාම විසඳුම් සෙවිය යුතුයි.“
ලංකා ගුරු සංගමයේ උප සභාපතිනි, රසිකා හඳපාන්ගොඩ මෙසේ කීවාය.
“ආර්ථික අර්බුදයත් එක්ක පාසල් දරුවන් ඉතා දුක්ඛදායී තත්වයකට පත්වෙලා ඉන්නවා. ඒ අතරින් වතු ආශ්‍රිතව ජීවත්වන දරුවන් සුවිශේෂීයි. ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්නයට කිසිම විසඳුමක් මෙතෙක් ලැබිලා නැහැ. විශේෂයෙන් ම දරුවන් අතර මන්දපෝෂණය තිබෙනවා. මේ දරුවන්ට පොත්පත් ගන්න තියා කන්න දෙයක් ගන්නවත් සල්ලි නැහැ. රජය දරුවන්ට අධ්‍යාපනය නොමිළේ දෙනවා කිව්වට පොත්පත් ගන්න සල්ලි නැත්නම් දරුවන්ට ඉගෙන ගන්න විදියක් නැහැ. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ දරුවන්ගේ අධ්‍යාපනයට වෙන්කරන මුදල් ප්‍රමාණය වැඩි කළ යුතුයි. ඒ වගේම උද්ධමනය එක්ක වැඩි වූ පාසල් උපකරණ මිල වහාම අඩුකළ යුතුයි. පාසල්වල පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පටන්ගත්තත් එක දරුවෙක් වෙනුවෙන් දිනකට වෙන්කර තිබෙන්නේ රුපියල් 100.00ක් වැනි මුදලක්. ඒක පෝෂ්‍යදායී ආහාරවේලක් දෙන්න ප්‍රමාණවත් නැහැ. ඇතැම් පාසල්වල පෝෂණ වැඩසටහන් හොඳට ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. මේ ප්‍රශ්න වහාම විසඳන්න ඕනෑ.“
දෙමළ මාධ්‍ය පාසල්වල දරුවන්ගේ පාසල් පැමිණීම සම්බන්ධයෙන් අපි දෙණියාය අධ්‍යාපන කලාපයේ අධ්‍යක්ෂ ධම්මිකා ප්‍රියදර්ශනීගෙන් ඇසූ විට ඇය කියා සිටියේ ආර්ථික අර්බුදයක් තිබුණ ද දරුවන් පාසල් හැරයාමක් විශේෂයෙන් දක්නට නැති බවයි.
දෙණියාය කලාපයේ දෙමළ මාධ්‍ය පාසල් 05ක් ඇති අතර ඉන් පාසල් 03ක උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙයි. ඇය පවසන්නේ වතු ආශ්‍රිත දරුවන්ගේ පාසල් පැමිණීම විටින් විට වෙනස් වුව ද පාසල් හැරයාමක් විශේෂයෙන් වාර්තා නොවන බවයි.
“ආර්ථික අර්බුදය නිසා දරුවන්ට අවශ්‍ය පෝෂණය නොලැබී යාම කුසගින්නේ පාසල් පැමිණීමට නොහැකිවීම කියන ගැටලු අපි හඳුනාගත්තා. ඒ නිසා විශේෂ පෝෂණ වැඩසටහන් මේ පාසල් 05 තුළම ආරම්භ කළා. තවමත් ඒ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා දරුවන් මුල දී පාසල් පැමිණීමේ අඩුවක් තිබුණත් දැන් ගැටලු නිරාකරණය වෙමින් යනවා.”
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය එසේ කීවාය.
සාරදා ඈත වතුයාය මැදින් නොපෙනී යන රතු පැහැති බස් රථය දෙස බලා සිටින්නීය. ටිකෙන් ටික මෝදු වූ කඳුළු බිඳුවක් ඇගේ දෙකොපුළු අතරින් රූටා වැටෙයි. ඇය තම සිඟිති අතැඟිලිවලින් එය පිසදැමුවාය.
සාරදා වැනි දරුවන් දෙණියායේ පමණක් නොව රටපුරාම සිටිති. මේ වතු ආශ්‍රිතව ජීවත්වන අපේම සහෝදර ජන කොට්ටාසයක දරුවන් මුහුණ දෙන පොදු ගැටලුවකි. එයට අප විසඳුම් සෙවිය යුතුය. නමුත් එය පෝෂණ වැඩසටන්වලින් ලබාදෙන තාවකාලික විසඳුමක් නොව ස්ථිර විසඳුමක් විය යුතුය.
කොළඹ සුපිරි පාසල්වල සිටින දරුවන්ටත්, ඈත දෙණියායේ වතු පාසලක දරුවන්ටත් අධ්‍යාපනය ලැබීමට සම අයිතියක් තිබේ. නමුත් අප රටේ ඒ අයිතිය සමාන නැත.
මෙම ලිපිය සඳහා – උපදේශකත්වය හා අනුග්‍රහය ඉන්ටර්නිව්ස්