-2.5 C
New York

උඩවළව වනෝද්‍යානයේ හඳගිරිය දෙසින්, කිලෝ මීටර 30ක පාරවල් කපන්න සූදානමක්

Published:

උඩවලව ජාතික වනෝද්‍යානයට බලංගොඩ හඳගිරිය දෙසින් ඇතුළුවීම සඳහා කිලෝ මීටර 30 වැඩි මාර්ග පද්ධතියක් සැකසීමට වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සැළසුම් කර ඇතැයි වාර්තා වේ.

පරිසරවේදීන් පෙන්වා‍දෙන්නේ මෙවැනි සංවර්ධන ව්‍යාපෘතියක් සිදුකරන්නේ නම් ඒ සඳහා පාරිසරික අධ්‍යයන වාර්තාවක් සිදුකළ යුතු බවයි. අතිශය සංවේදී පරිසර පද්ධතියක් හරහා මාර්ගයක් තැනීමට  දේශපාලකයන්ට තීරණ ගැනීමට නොහැකි බව ඔවුහු පෙන්වා දෙති.

මෙම මාර්ගය තැනීම කඩිනම් කරන ලෙස අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දී තිබේ. ඒ ඇය බලංගොඩ වැලිගෙපොළ-කල්තොට නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේ දී ය.  හඳගිරිය උද්‍යානය තුළ යෝජිත ඉදිකිරීම් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු  සැළසුම් කිරීමේ සාකච්ඡාවක් තන්ජන්තැන්න විහාරස්ථානයේ දී සහ බෝවත්ත විහාරස්ථානයේ දී පවත්වා ඇත.

හඳගිරිය සහ පොල්ලමුරේ ප්‍රදේශවල අලි ගම්වැදීම පාලනය කිරීම සඳහා කිලෝ මීටර 05ක් පමණ දිගින් යුතු අලිවැටක් ඉදිකිරීමේ කටයුතු ද සාකච්ඡා කර ඇත. ඒ සඳහා රුපියල් ලක්ෂ 190ක් වෙන්කර ඇතැයි ද අමාත්‍යවරිය සඳහන් කළාය.

හඳගිරිය වනෝද්‍යානයේ කිලෝ මීටර 30ක් වන මාර්ග පද්ධතියක් සකස් කිරීමටත් අභ්‍යන්තරයේ පවතින වැව් 04ක් ප්‍රතිසංස්කරණය කිරීමටත්  හඳගිරිය සහ උඩවලව ප්‍රදේශය යාකරමින් වළවේ ගඟ හරහා මීටර 52ක පාලමක් ඉදිකිරීමට, සංචාරක බංගලා 02ක් හා නව කඳවුරු බිම් 05ක් ඇතිකිරීමට ද මෙහි දී සැළසුම් කර ඇත.

අමාත්‍යවරිය පවසන්නේ උඩවළව වනෝද්‍යානයේ දැනට පවතින පිවිසුම සහ හඳගිරිය පිවිසුම අතර සබඳතාවය ඇතිකිරීමෙන් දෙස් විදෙස් සංචාරකයන්ට එකම වනෝද්‍යානයක පවතින දේශගුණික සහ පරිසර පද්ධතීන් දෙකක් දැකබලා ගැනීමට අවස්ථාව හිමිවන බවයි. එම ව්‍යාපෘතිය මගින් බලංගොඩ ප්‍රදේශයේ රැකියා අවස්ථා උත්පාදනය කිරීමට හැකි බව ද ඇය සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img