spot_img
spot_imgspot_img

මල් පැණි බිඳකට, සිය පණ පරදු තියන්නෝ

පුවත්

විදෙස්

සටහන සහ ඡායාරූප – දයා නෙත්තසිංහ

ඔවුන් දවසට දහ දොළොස් වතාවක්වත් ජීවිතය පරදුවට තබන්නේ, සිය අඹුදරුවන් සමග ජීවිතය ගැටගසාගනු පිණිසය. කිසිවකුට අවහිරයක්, හිරිහැරයක් නැතිව සිය දාඩිය මහන්සියෙන් ජීවත්වෙමින් රටේ ආර්ථිකය ද පෝෂණය කරන ඔවුහු, ඊට නිසි සැලකුම් නොලබති. ආණ්ඩුවේ ලිඛිත අණ පනත් මෙන්ම සමාජයේ අලිඛිත අතීත වැඩවසම් සම්ප්‍රදායන් ද ඔවුන්ගේ ජීවන ගමනට හරස්ව නැගී සිටී.


වියළී ගිය පත්‍ර, පිති, මල් කිනිති අවිධිමත් ලෙස එල්ලා වැටෙන අඳුරු තල් ‘කරටිය’ කොණ්ඩා රැවුල් වවාගත් යාචකයෙකු මෙනි. මේ යාචක පෙනුමැති තල්ගස්වලට ‘කඩවසම්’ පෙනුම ලබා දෙන්නේ යාපනයේ සිටින තල් රා මදින්නන්ය.

ඔවුහු තල්ගසේ මේ පැරණි කටු සහිත වැරහැලි ඉවත් කර ඉතාමත් සීරුවෙන් තල් ගසට නැගීමේ මාර්ගය පාදා ගනිති. අනතුරුව තල් කරටියේ අවිධිමත් අතු පිති, කිනිති ඉවත් කර පිරිසිදු කර ගනිති. නාඹර මල් තැළෙන්නේ ඊට පසුවයි. බාබර්ගේ කාරියත් බඹරුන්ගේ කාරියත් එකවර ඉටු කරන මේ රා මදින්නන් නිසා තල් ගසට ලැබෙන ආලෝකය ඔවුන්ගේ ජීවිත දක්වාම පැතිරේ. බඹරුන් මල නොතළා රොන් ගත්තත් මේ රා මදින්නන් පැනි එකතු කරන්නේ නාඹර මල් පදමට තළා ගැනීමෙනි.

‘මදින පෙට්ටිය’, ‘මල්තැලුම’, මදින පිහි කට්ටලය, වාඩිය, රා ලබ්බ, ගස්නගින තල් වළල්ල, ගෙරිහමෙන් තැනු ලාඩම් දෙක, ඔවුන්ගේ රැකියාවේ උපකරණ කට්ටලයි. පැල්පත් තිබෙන තැන සිට ඇතැම්විට තල් රා මදින්නාගේ වැඩබිම හෙවත් තල් රුප්පාව ඇත්තේ කිලෝමීටර් දහයක් පහළොවක් දුරිනි. පාපැදිය හා යතුරු පැදිය සහාය වන්නේ මේ දුර ගෙවා දැමීමටයි. හිරු උදාවීමත් සමඟ මී මැස්සන් මෙන් කඩිසරව තල් රුප්පාව වෙත යන ඔවුන්, කුහුඹුවන් මෙන් තල්ගස තරණය කරන අයුරු ‘මනිපායි’ හිදී අපට දැක ගන්නට ලැබුණි.

එක ගහේ මල් හතයි

එක් මුරයකට කිතුල් ගසකින් තැළීමට ලැබෙන්නේ එක මලකි. පොල් ගසෙන් නම් දෙකක් හෝ තුනකි. එහෙත් තල් රා මදින්නන්ට නම් එක තල් ගසකින් මල් පහක් හයක් හෝ හතක් තළා ගැනීමට වාසනාව තිබේ. ‘මනිපායිහිදී’ හමු වූ ප්‍රදීපන්, එම ප්‍රදේශයේ තල් රා මදින්නන්ගේ සමුපකාර සමිතියේ සභාපති වරයාය. අච්වේලි, පණ්ඩතාරිප්පු, චාවකච්චේරි, තෙලිප්පලෙයි, කොණඩාවිල් චුන්නාකම් හා කරෙයිනාගර්හි තල් සංවර්ධන සමිති නියෝජිතයන් හමුවීමද මෙම ලිපිය සම්පාදනයේ දී මහත් රුකුලත් වූයේය.

හිරු එළියට මදින පෙට්ටිය පේන්න පටන් ගන්නා හෝරාව තල් රා මදින්නේකුගේ කාල සටහනේ ආරම්භයයි. මනිපායිහි ප්‍රදීපන් (40) ඔහුගේ දවසේ කාලසටහන අපට කීවේය.

“ඉර එළිය වැටෙන්න කලින් නැගිටින්න ඕනේ. ඊට පස්සේ මදින පෙට්ටියේ පිහි මුවාත තියලා මැද ගන්නවා. රා එකතු කරන භාජන ටික බයිසිකලේ ගැට ගහලා තියෙන්නේ. ගෙදරින් යන්නෙ උදේ පහට. මම කිලෝමීටර් හතරක් දුර යන්න ඕනේ. උදේට මොකුත් කාලා යන්නෙ නෑ, ගස් නගින්න අමාරු නිසා. මම ගස් 11ක රා මදිනවා. ඒ ඔක්කොම සමුපකාර සමිතියට තමයි දෙන්නේ.”

රා මදින රස්සාව එන්නේ උරුමයෙනි. ප්‍රදීපන්ට එය ආවේ ඔහුගේ අප්පාගෙනි. අප්පාට ද එලෙසමය. එය පැරණි දෙමළ සමාජ සංවිධානය තුළ එක් කුල කණ්ඩායමක් ලෙස සැලකේ. ඒ ගැන ඉදිරියේදී කතා කරන නිසා, අපි ප්‍රදීපන් සමග කතා කළේ මේ අපූරු රස්සාවේ වගතුග ගැනය.

ලාඩම් දාගෙන ගස් නැගීම

“මම ගස් නගින්න පටන් ගත්තේ තාත්තාට මේ රස්සාව කරන්න අමාරු නිසා. ඒත් තාත්තා තාමත් මාත් එක්ක රා මදින්න යනවා. ඉස්සර වගේ ඉක්මනට තාත්තාට වැඩ කරන්න බෑ. ඒ වගේ වයසක අයට ගස් නගින්න හැර ගහන්න ඕනේ. අපි ගස් නගින්නේ තල් ගහේ පිත්තෙන් ගත්ත පට්ටෙන් හදපු වළල්ලෙන්. ඒක කකුලේ දාන්න මේ වගේ ලාඩන් දෙකක් ඕනේ නැත්නම් වළල්ලට පිටිපතුල තුවාල වෙනවා. වැස්ස දවසට ගස් එකොළහේ නගින්න ලේසි නෑ, පරක්කු වෙනවා.”

ප්‍රදීපන් තල් ගස් තරණය කරන්නට පටන්ගෙන තිබුණේ අවුරුදු 18 දීය. “තාත්තා එක්ක ගිහින් රා මැදලා ඒ සල්ලිවලින් තමයි මම උසස්පෙළ දක්වා ඉගෙන ගත්තේ. අපේ ගෙදර පිරීමි පරම්පරාවම ජීවත්වෙන්නෙ මේ රස්සාවෙන්. දවසට ලීටර් 12ක් විතර ගන්න දවස් තියෙනවා. තාත්තයි මමයි ලීටර් 40ක් රා ගන්න දවස් තියෙනවා. වැස්සෙන් කරදර වුණේ නැත්නම්, දවසට රුපියල් පන්දාහක් හයදාහක් හොයාගන්න අමාරු නෑ.” ප්‍රදීපන් කීවේය.

ශන්මුගනාදන් රාසයියා (69) ආලඩි හන්දියේ පදිංචි රා මදින්නෙකි. පාපැදිය නිල රිය කර ගත් ඔහු රා මදින රුප්පාව ඇත්තේ හැතක්ම තුනක් හතරක් දුරිනි.

“පාන්දර හරක් ටික ලිහලා දාලා මම යන්නෙ. ගෙදර එනකොට 11 විතර වෙනවා උදේට දවල්ට දෙකටම එක වේල තමා. යාපනේ කොහෙවත් උදේට බත් නෑ. පාන්, රොටි, පිට්ටු, ඉඳිආප්ප තමයි තියෙන්නේ. බත් කන්නේ දවල්ට. මම ගස් අටක රා මදිනවා. තවත් දෙකක් මේ දවස්වල හදමින් ඉන්නේ. එක මලකින් ලීටරයක් ගන්නෙ බොහොම හදිස්සියෙන්. බෝතල් බාගයක් විතර නම් වෑස්සෙනවා. ගහකින් රා බෝතල් 4-5ක් ගන්න පුළුවන් ඒක වේලකට. දවසට රුපියල් 3,000ක් හොයන්න පුළුවන්, වෙන කරදර වුණේ නැත්නම්.”  ඔහු පැවසුවේය.        

මදින පෙට්ටියේ උරුමය

මදින පෙට්ටිය

කන්දස්ස්වාමි මුල්ලි (64) පැරණි රා මදින්නෙකි. මේ වන විට තල් ගස් මැදීම අත්හැර ඇති ඔහු, රා අමතක කර නැත.

“දැන් මට ගස් නගින්න බෑ. මෙතන ඉන්නේ රා වඩියක් බොන්න. මට නම් කිරි වීදුරුවකට වැඩිය අගෙයි රා වඩිය. අපේ පරම්පාරවේ පිරිමි උපදින්නේ මදින පෙට්ටිය අතේ අරගෙන” මුල්ලි ඒසේ කීවේ බුලත් කහටින් පදම් වුණු ගෙවිගිය දසන් දක්වමිනි.

“මම රා මැද්දේ අවුරුදු 17 ඉඳලා. අවුරුදු 62ක් වෙනකම් මේක මගේ රස්සාව. දැන්නම් ගස් නගින්න බෑ, අමාරුයි. ඒක නිසා නවත්තලා දැම්මා. මගේ පුතාලා හතර දෙනාම මනිපායිවල රා මදිනවා. මගේ සීයා ගෝපාල් ස්වාමිගේ මදින පෙට්ටිය දැන් තියෙන්නේ මගේ ලොකු පුතා කදිරවේලු ළඟ. ඉර පායන්නේ කොයි වෙලාවේ ද කියලා නින්දෙන් ඇහැරුණත් වෙලාව බලනවා. මොකද අපේ රස්සාව මේක නිසා. එකතු කරපු රා ඒ දවස්වල නම් ගහ යටදි ම වික්කා. දැන් තමයි සමිති තියෙන්නේ. රා බෝතලයක් රුපියල් 200.00ක් විතර වුණා නම් අද කාලේ හැටියට කාලා බීලා ළමයි ඉස්කෝලේ යවලා ජීවත් වෙන්න තිබුණා. දැන් රා බෝතලයක් රුපියල් 150.00යි. මේක කියන්න ම ඕනේ. තල් රා මදින්න ලයිසන් ඕනේ නැති කාලේ අපිට කරදර තිබුණේ නෑ. දැන් එහෙම බෑ. බදු ගහන එකත් ඒ දවස්වල තිබුණේ නෑ. මේවා අපිට බරක්.” 

රූබන් වේලායුධම්, (59) තල් රා මදින්න්කු ලෙස ඔහු ලැබූ අද්දැකීම් එකින් එක දිගහැරීයේ යුද්ධයේ අමිහිරි මතකද අවුළුවමිනි.

“මාත් එක්ක රා මදින්න ගිය කනපති පිල්ලේ තල් ගහේ ඉද්දි වෙඩි වැදිලා මැරුණා. එදා ජීවිතේ ගැලවුණේ අනූ නමයෙන්. මගේ අයියා තල් ගහෙන් වැටිලා මරුණේ. මගේ බාප්පාගේ පුතා තල් ගහෙන් වැටිලා අබ්බගාත වෙලා ඉන්නේ. මේක හරි කල්පනාවෙන් කරන්න ඕන රස්සාවක්. හැමෝටම මේක කරන්න බෑ. අතේ හුරුවෙන් මල තළන්න, හීන් සීරුවෙන් මල කපන්න. වගේම ඒකතු කරන රා ටික පරිස්සමින් බා ගන්න ඕනේ. දෙවියන් අපිට දීපු තෑග්ග තමයි තල් ගහ.“

ගැහැනුන්ට හිමිවූ කර්මාන්තය

තල් රා මදින රස්සාවේ ගැහැනු කවුරුවත් නැතත්, දෙවියන් දුන් තෑග්ග පිරිමින්ට පමණකැයි සිතුවොත් එය මුළාවකි. බිම ඉඳගෙන පරිස්සමට කරන්න අප්‍රමාණ වැඩ, තල් ගස ගැහැනුන්ටත් දී තිබේ.

වඩිවේල් සිවගාමි අම්මා (63) ඒ ගැන බොහෝ දේ අපට පැවසුවාය.

“අපේ පරම්පරාවේ හැමොමෝ ජීවත්වුණේ තල් ගහෙන්. පිරිමි තල් රා මදින්න ගස් නගිද්දී අපි ඒ තල් කොළවලින් වට්ටි පෙට්ටි ගෙතුවා. 2009 යුද්දේ ඉවර වෙනකම් ජීවත්වුණේ පාත්තයෝ වගේ. එහේ යනවා, මෙහේ යනවා ජීවත්වෙන්න ස්ථිර තැනක් නෑ. 2009න් පස්සේ කුඩාරම් ගහගෙන හිටියේ. 2011 නැවත පදිංච් කිරීමෙන් පස්සේ තමයි එක තැනක ඉඳලා හුස්ම ගන්න පටන් ගත්තේ. කිලිනොච්චියේ ඉඳලා අපි කෝපායිවලට ආවා. අපේ පවුලේ හොයාගන්න බැරි වුණු සහෝදරයෝ දෙන්නම හමු වුණා. බාල පුතා නෑ. එයාගෙ නෝනා එක්ක අපි ජීවත්වෙන්න මොනවා හරි කරන්න ඕනේ නිසා තල් හකුරු හදන්න පටන් ගත්තා. මම තල් කොළවලින් වට්ටි පෙට්ටි හැදුවා. මෙහේ රාජ්‍ය නොවන සංවිධානයක් අපිට මුදල් ආධාරයක් දුන්නා. ඒක ලොකු උදව්වක් වුණා.”

මුලදී ඔවුන්ගේ නිෂ්පාදනවලට එතරම් ඉල්ලුමක් නොතිබුණත්, යුද්ධය නිම වීමෙන් පසුව එක් වරම විශාල ඉල්ලුමක් නිර්මාණය විය. ඔවුන්ගේ ව්‍යාපාරය දියුණු වූ අතර මේ වන විට ඇගේ මගපෙන්වීමෙන් තවත් පිරිසක් සාර්ථක ලෙස තල් හකුරු හා වට්ටි පෙට්ටි ගෙතීමේ ව්‍යාපාරවල නිරතව සිටිති.

තල් මලෙන් ඩොලර් පෙරීම

තල් රා මදින උතුරේ කුරාකුහුඹු මිනිසුන්ගේ අතිශය දුෂ්කර ව්‍යායාමයෙන් රටට ඩොලර් ගෙන ඒමට හැකියාව ඇති බව ඔප්පු කරනු ලැබුවේ 2022 වසරේය. එම වසරේ දෙසැම්බර් 10 දින තල් සංවර්ධන මණ්ඩලය ප්‍රකාශයට පත් කර සිටියේ මෙරටින් තල් රා බෝතල් 25,000ක් අඩංගු බහාලුමක් ප්‍රංශයට අපනයනය කළ බවයි. අපනයනයෙන් ඩොලර් 45,000ක පමණ මුදලක් උපයා ගැනීමට හැකි වූ බවද සඳහන්ය. එලෙස තල් රා අපනයනය කරනු ලැබුවේ ඉතිහාසයේ මුල් වරට වීම ද විශේෂත්වයකි. උතුරු ප්‍රදේශයේ තල් රා සමිති හරහා මෙම රා එකතු කරගෙන තිබුණි. එලෙස සිදුකළ අපනයනයක් සමඟ ඇමරිකාව, කැනඩාව, ස්විස්ටර්ලන්තය ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ රටවල් 10කට පමණ තල් රා අපනයනය ආරම්භ කෙරිණි. තල් රා මදින්නන් විසින් මෙරට ආර්ථිකයට එකතු කළ මේ ශක්තිය අතිවිශිෂ්ට ක්‍රියාදාමයකි.

ලංකාවේ උතුර, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පහසුවෙන් වැඩෙන තල්ගස දකුණු කෙළවරේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළු වශයෙන් පැතිර තිබේ.තල් සංවර්ධන මණ්ඩලයේ නවතම වාර්තා අනුව ශ්‍රී ලංකාවේ තල් ශාක ගහනය දැන් මිලියන දොළහකට ආසන්න වෙමින් තිබේ. ඒ ආශ්‍රිත සෘජු හා වක්‍ර රැකියාවල යෙදෙන්නන් සංඛ්‍යාව දහඅට දහස ඉක්මවයි. තල් ආශ්‍රිත නිෂ්පාදන විශාල සංඛ්‍යාවක් ඇති අතර, තල් සංවර්ධන මණ්ඩලය ඒවා ප්‍රවර්ධනය සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. එහි ප්‍රධාන කාර්යාලය යාපනය නගරයේ පිහිටා ඇති අතර, ඊට කලාපීය කාර්යාල 09ක් හා අලෙවි සැල් 14ක්, නිෂ්පාදන මධ්‍යස්ථාන 14ක්, පර්යේෂණ මධ්‍යස්ථානයක්, තල් අරක්කු නිෂ්පාදනාගාරයක් හා තල් ආදර්ශ ගොවිපළ 11ක් ඇතුළත්ය.

මලට කලින් තැළෙන ජීවිත

තල් කර්මාන්තය කෙතරම් දැවැන්ත කර්මාන්තයක්ද යන්න ඉහත දත්තවලින් පැහැදිලි වන අතර, ඒ දැවැන්ත ආර්ථික ක්‍රියාවලිය පදනම් වන්නේ, තල් මල් කැපීමට දිනපතා දහ දාළාස් වතාවක් ජීවිතය පරදුවට තබන ‘කුරා කුහඹු මිනිසුන්’ මතය.

තල් රා මදින්නන්ගේ සමූපකාර සමිති නියෝජිතයින් පැවසුවේ 2017 වසරෙන් පසුව තල් රා මැදීම සඳහා තිබූ නිදහස සීමා වූ බවයි. ඒ අනුව දැන් තල් රා මැදීම සඳහා බලපත්‍ර අනිවාර්ය කර තිබේ. රා මදින සෑම ගසක්ම අංක කර ඇත්තේ මේ නිසාය. නිෂ්පාදිත තල් රා බෝතලයක වත්මන් මිල රුපියල් 150.00කි. ඉන් රුපියල් 31.00ක් සුරා බද්දයි. ඊට අමතරව මදින තල් ගසක් වෙනුවෙන් රුපියල් 10.00ක මුදලක් වෙන ම අය කෙරේ.

ග්‍රාම නිලධාරින්ගේ නිර්දේශය ඇතුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගන්නා අයදුම්පත් පුරවා තල් රා මැදීම සඳහා බලපත්‍ර ලබා ගත යුතුය. ඒවා කිරීමට සාක්ෂරතාවයක් නැති අය තල් රා මැදීම පසෙක තබා කුලී වැඩක් කරගෙන ජීවත්වීමට පුරදු වූහ. දශක ගණනාවක් පුරා පැවති යුද්ධය නිසා ලියන්නට කියන්නට ඉගෙන ගැනීමට වඩා ජීවිතය රැක ගැනීමට වෙහෙසණු මේ මිනිසුන් ගැන තල් සංවර්ධන මණ්ඩලය හෝ සුරාබදු දෙපාර්තමේන්තුව සාධාරණව කටයුතු කර නැත.

නියාමනයේදී දැඩි නීති රීති පැනවීම ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීම රා මදින්නන්ගේ ජීවිතවලට එල්ල වූ තර්ජන වැනිය. කිතුල් හැර පොල් හා තල් රා මැදීම සඳහා බලපත්‍ර ලබා ගත යුතු බවට නිකුත් කළ, 2017 ඔක්තෝබර් 20 දිනැති ගැසට් නිවේදනය උතුරු ප්‍රදේශයේ තල් රා මදින්නන් 18,000කගේ පවුල් ජීවිත අවුල් කරන්නක් බවට එවකට ඇමතිවරයෙකු වූ ඩග්ලස් දේවානන්ද පාර්ලිමේන්තුවේ දී විරෝධය පළ කර තිබිණි. 2020.10.09 දින පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මුදල් අමාත්‍යවරයාට යොමු කළ ප්‍රශ්නයකට ලැබුණු පිළිතුරුවලින්, තල් රා මැදීම සඳහා බලපත්‍ර ලබා ගත යුතු බවට 2017 වසරේ කරන ලද නියාමනයේ ප්‍රතිඵලය පැහැදිලි පෙන්වා දී ඇත. ඒ අනුව මුදල් අමාත්‍යවරයා කියා සිටියේ 2019.12.31 දිනට බලපත්‍ර ලබා ගත් රා මදින්නන්ගේ සංඛ්‍යාව 3,024ක් බවයි. රා නිෂ්පාදනය සඳහා බලපත්‍ර ලබාගත් ආයතන සංඛ්‍යාව 32ක් බවද එහිදී හෙළි කෙරිණි.

කුලයේ කුළු ගෙඩියෙන් තැළීම

තල් රා මදින්නන් යනු සමාජ වරප්‍රසාද අහිමි, ආන්තීකරණයට ලක් වූ ප්‍රජාවකි. යුද්ධයේදී මෙන්ම සුනාමි ව්‍යවසනයේදීද අපමණ පීඩා විඳි ඔවුහු නිරන්තරයෙන්ම රැකියාව නිසා පීඩාවට ලක් වෙති.

තල් සංවර්ධන මණ්ඩලයේ 2014 වාර්ෂික වාර්තාවේ තල් රා මැදීමේ කර්මාන්තය පසුබෑමකට ලක්ව ඇති හේතු කාරණා දක්වා තිබේ. වෙනත් කාරණා යටතේ දක්වා ඇති කරුණු 13න් මූලිකම කාරණාව ලෙස දක්වා ඇත්තේ ‘කුල ක්‍රමයේ බලපෑම ඉහළ ජීවිත අවදානම හා මැදීමේහි ඇති වෙහෙස කර ක්‍රියාවලිය හේතුවෙන් පුහුණු ශ්‍රමිකයින් අඩු වීම මඟින් තල් සම්පත් සැපයුම සීමා වී ඇති බව’යි. බැලූ බැල්මට නොපෙනෙන මේ කුලවාදය අදත් දහයියා කඳු යට ගිනි අඟුරු මෙන් පැතිරී තිබේ.

කුලය සම්බන්ධයෙන් කිසිවෙකු අදහසක් පළ නොකරන්නේ ඉන් තමන්ට අත්විය හැකි ඉරණම සම්බන්ධයෙන් ඔවුන් දන්නා නිසායි. මේ නිසා බොහෝ තල් රා මදින්නන් ඡායාරූප ගැනීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටියේය. මෙහි කිසිවකුගේ මුහුණු නැත්තේ ඒ නිසාය. ඔවුන්ගේ මුහුණ පුවත්පතක පළවීම පවා ප්‍රතික්ෂේප කරන්නේ කවර හේතුවක් නිසාද?

කුලවතුන්ගේ කෝවිල්, සුසානභූමි ළිං හෝ නාන තොටුපළ, අවාහ විවාහ කිසිවක් පහත් කුලවල අයට ලැබෙන්නේ නැත. අදත් එවැනි සුසාන භූමි යාපනයේ තිබේ. ලංකාවේ කුල බයිබලය ලෙස සැලකිය හැකි බ්‍රයිස් රයන් (Bryce Rayan) ගේ Caste in Modern Ceylon නමැති ග්‍රන්ථයේ ඔහු කියා තිබෙන්නේ, දහවැනි සියවසේ අවසානයේ පටන් 1952 දක්වා ලංකාවේ පහළ වූ ඉතාම කටුක ගැටුම් පැන නැගුණේ ජනවර්ග අතර නොව විවිධ කුල අතර බවයි. (2017.04.27 රාවය- වික්ටර් අයිවන්) 1920 දශකයේ දෙවතාවක් ලන්ඩන් නුවර ගොස් ලංකාවේ කුල ක්‍රමය නීතිගත කිරීමට ඉල්ලීම් කර ඇත්තේ පොන්නම්බලම් රාමනාදන් ය. ද්‍රවිඩ ජාතික ශාන්තුවරයෙකු හා විරයෙකු ලෙස සලකන ආරුමුග නාවලර් (1822 – 1879) ගුරුවරයෙකු ලෙස සේවය කළ යාපනය මහා විද්‍යාලයේ ගුරු සේවයෙන් ඉල්ලා අස් වූයේ එවකට විදුහල්පතිව සිටි පීටර් පර්සිවල් පහත් කුල දරුවන් එම විද්‍යාලයට ඇතුළත් කර ගැනිමට ගත් තීරණය නිසාය. (විජේදාස රාජපක්ෂ 2018.04.08 ඉරිදා දිවයින) යාපනයේ කුල භේදය කොතෙක් බරපතළද යන්න ආචාර්ය සෙබස්තියන් රාජලිංගම් පළ කළ ලිපියක දැක්වේ. එහි දක්වා තිබෙන්නේ ගුරු සේවයෙන් ඉල්ලා අස් වූ ආරුමුග නාවලර් ඊට වසර තිහකට පසුව යාපනයේ ඇති වූ නියං සාය වකවනුවේ වෙල්ලාල කුලයේ මිනිසුන්ට පමණක් ආහාර බෙදා දීමේ ප්‍රබල ව්‍යාපාතියක් පවත්වාගෙන ගිය බවයි.

ඔවුන්ගේ නිදහස තව දුරද?

නිදහසින් පසුව වසර 75ක් ගත වුවත්, මේ ජනතාව තවමත් පැරණි වැඩවසම් විය ගසින් මිදී නැත. නලවාර් හෙවත් තල්රා මදින්නන්ගේ ජීවිතයම යුද්ධයකි. කුලවතුන් ඔවුන් සමඟ සමඅසුන් ගන්නේ නැත. අවාහ විවාහ නැත. සොහොන්බිම පවා තවමත් ඇත්තේ වෙනමයි. කුලවතුන්ගේ ඉඩම්වල ළිංවල ජලය පිරි තිබුණත් කිලෝ මීටර් හයක් හතක් දුරින් ඇති උල්පතකින් ජලය සපයා ගන්නා රා මදින්නෝ මනිපායිහි ජීවත් වෙති. කුලවතුන් කිසිසේත් ඔවුන්ගේ දූ පුතුන්ට එක්ව ක්‍රීඩා කිරීමටවත් ඉඩ දෙන්නේ නැත. අරක්කු බීමට ඇති තැබෑරුම්වලට කුලවතුන් යන්නේ නම් ඔවුන්ගේ මේසයේ අතිරේක පුටු, පවා ඉවත් කිරිමට ඔවුහු කටයුතු කරති. කුලවතුන් නලවාර් ජන කොටස ඔවුන්ගේ යටත් වැඩ කරන පිරිසක් ලෙස තබා ගැනීමට කැමති වුවත් ඔවුන්ට සමාජ වරප්‍රසාද හිමි වීමට නම් කිසිසේත්ම ඉඩ නොදේ. තල් රා නිෂ්පාදන සමූපකාර සමිතිය හැර වෙනත් සමිති නියෝජනය කිරීමට ඔවුන්ට ඉඩක් ලැබෙන්නේ නැත. රටට ඩොලර් ගෙනෙන ක්‍රියාන්විතයේ මිනිසුන් සිය ජීවිත වියමන ගොතා ගන්නේ මෙවැනි ශුෂ්ක පසුබිමක නම්, එය සමාජ ගැටලුවක් පමණක් නොව සංවර්ධනය පිළිබඳ ගැටලුවක් ලෙසද සලකා විසඳුම් සෙවිය යුතු නොවේද?

උපදේශකත්වය හා අනුග්‍රහය, ඉන්ටර්නිව්ස් ආයතනය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!