spot_img
spot_imgspot_img

දකුණේ රාජ්‍ය සේවකයන්ට සෞඛ්‍ය නිර්දේශ අනවශ්‍ය ද ?

පුවත්

විදෙස්

කොරෝනා වසංගතය හේතුවෙන් රජයේ කාර්යාලවල  රාජකාරී පවත්වාගෙන යාමට අවශ්‍යවන අවම කාර්යමණ්ඩලයක් ගෙන්වන ලෙස සෞඛ්‍ය අංශ දුන් උපදෙස් නොතකා දකුණු පළාත් සභාව වෙනස් උපදෙස් ලබාදි ඇතැයි රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ වෘත්තීය සමිති සම්මේලනය පවසයි.

ඔවුන් මේ බව දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේට ද ලිඛිතව පැමිණිලි කර තිබේ. සංගමයේ ප්‍රධාන ලේකම් සුනිල් ගමගේ විසින් අත්සන්කර යවන ලද එම ලිපියේ පිටපත් ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත ද පැමිණිලි කර තිබේ.

පළාත් සභාවේ ප්‍රධාන ලේකම් විසින් සියලුම ආයතන ප්‍රධානීන් වෙත යොමුකරන ලද ලිපියක දක්වා ඇත්තේ ප්‍රවාහන තදබදය අවම කිරීම සඳහා උදෑසන 8.30 සිට සවස 3.15 දක්වාත් උදෑසන 9.30 සීට 4.15 දක්වාත් සේවා මුර දෙකකට නිලධාරීන් සේවය සඳහා කැඳවන ලෙසයි. මේ අනුව උදෑසන 9.30 සිට සවස 3.15 දක්වා කාර්යාලවල සියලු කාර්ය මණ්ඩලය රැඳී සිටීම සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීමක් බව එම සංගමය යොමුකළ ලිපියේ දක්වා ඇත.

දකුණු පළාත් සභාවේ ආයතනවල සේවය කරන රාජ්‍ය නිලධාරීන් පවසන්නේ දකුණු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ආර්.සී. ද සොයිසා විසින් 2020.10.21 දින නිකුත් කරන ලද අංක CSS/03/01පොදු – Covid 19/2020 ලිපියේ දෙවැනි වගන්තයෙන් දක්වා තිබුණේ කාරයාලයේ එදිනෙදා රාජකාරීවලට බාධාවක් නොවන අයුරින් සෑම ආයතනයක ම 50%ක සීමාවකට යටත්ව නිධාරීන් හට සේවයට වාර්තා කළ හැකි අතර අත්‍යාවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා කටයුතු කළමනාකරණය කළ යුතු බවත්, සියලුම මාණ්ඩලික නිලධාරන් සේවයට වාර්තා කළ යුතු බවත්ය.

එසේ වුව ද ඉන්පසු 2020.11.04 දිනැති CSS/03/01පොදු – Covid 19/2020 ලිපියේ දක්වා ඇත්තේ 2020.10.21 දරණ ලිපිය අවලංගු වන බවයි. ඒ අනුව එහි දෙවැනි වගන්තිය ද අහෝසි වී යයි. එසේ වුව ද 2020.11.04 දිනයේ නිකුත් කර ඇති ලිපියේ කාර්යාලයක නිලධාරින් 50% ක සීමාවට යටත් කරන ලෙස නැවත උපදෙස් දී නොමැති බැවින් හෙට (09) වැනි දින සිට දකුණු පළාතේ සියලුම රාජ්‍ය සේවකයන්ට සේවා ස්ථානයට වාර්තා කිරීමට සිදුව ඇති බවත් පසුගි දිනවල ද එසේ සිදුකළ බවත් ඔවුහු චෝදනා කරති.

බස්රථ වල සංචරණය සීමා කිරීම සඳහා සේවාමුර ලබා දුන්න ද මෙමගින් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය වන බව රාජ්‍ය සේවකයෝ චෝදනා කරති.

මේ පිළිබඳ දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්.සී. ද සොයිසාගෙන් විමසූ විට ඔහු මෙසේ කිවේය.

“ අපි සේවා මුර ක්‍රමය පිළිබඳ උපදෙස් නිකුත් කළේ එය දකුණු පළාත් සභාවට විශේෂිතව පටන්ගත් නිසා. එවැනි උපදෙසක් ලබා දී කලින් උපදෙස් නිකුත් කළ ලිපිය අවලංගු කළා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ උල්ලංඝනය වෙන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ සියලුම රාජ්‍ය ආයතනවල ක්‍රියාත්මක කරනවා. මා පොදුවේ උපදෙස් දුන්නේ සේවා මුර ක්‍රමය සඳහා පමණයි. රජය විසින් ලබා දී ඇති සෞඛ්‍ය නිර්දේශ අනුව තම තමන්ගේ ආයතනවල සාමාන්‍ය රාජකාරී පවත්වාගෙන යාමට අවශ්‍යකරනු ලබන අවම සේවකයන් සංඛ්‍යාව කාර්යාලයට ගෙන්වාගැනීමටත් අන් අය නිවසේ සිට වැඩකරන ආකාරයෙන් කටයුතු කිරීමත් ඒ ඒ ආයතන ප්‍රධානීන් විසින් සිදුකළ යුතු දෙයක්. මෙහි ගැටලුවක් නැහැ.”

දකුණු පළාතේ රාජ්‍ය නිලධාරීන් පවසන්නේ තම කාර්යාලවල සියලුම සේවකයන්ට හෙට (09) උදෑසන සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී තිබෙන බවයි.

ප්‍රධාන ලේකම් විසින් 2020-11-04 දින නිකුත් කළ ලිපිය
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රජයේ කාර්යාලවල අවම සේවකයන් කැඳවන ලෙස දැනුම් දී ඇති බවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කර ඇති ලිපිය
ප්‍රධාන ලේකම්වරයා විසින් 2020-10-21 නිකුත් කර තිබූ ලිපිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!