spot_img
spot_imgspot_img

“යුද්ධය මතක් කරන්නවත් එපා. අපි විඳින දුක දන්නේ අපි විතරයි”

පුවත්

විදෙස්

ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

“යුද්ධය කියන එක මතක්වෙන කොටත් අපිට අපේ ජීවති ගැන දුක හිතෙනවා. කාටවත් මේ වගේ දුක් ගින්දරක් ඇති වෙන්න එපා කියලා තමයි හැමදාම ප්‍රාර්ථනා කරන්නේ. නැවත ‍යුද්ධයක් ඇති නොවෙන්න අපි හැමොම වගබලාගන්න ඕනෑ. මේ යුද්ධයේ වේදනාව දන්නේ අපි විතරයි”.

උතුරේ යුද්ධය අවසන් වී මේ වනවිට වසර 15කට ආසන්නව ඇතත් යුද්ධය නිසා තම ආදරණීයයන් අහිමි වූ පවුල්වල ඇත්තෝ තවමත් එසේ කියති. නමුත් ඇතැම් පිරිස් යුද ජයග්‍රහණයේ සතුට සමරන අයුරු ඔවුන් අදටත් බලා සිටින්නේ ඉච්ඡා භංගත්වයෙනි.

ඔවුන් කිසිදා යුද්ධයක් පැතුවේ නැත. යුද්ධයක් ඔවුන්ට අව්‍ශ්‍ය වූයේ ද නැත. එහෙත් වෙනත් පිරිසක් ‍විසින් නිර්මාණ්‍ය කළ යුද්ධයේ ඔවුහු ඉබේම කොටස්කරුවෝ වූහ.

යුද ගැටුම් පැවති උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල මිනිසුන් මෙන්ම දකුණේ ඇතැම් අය ද තවමත් යුද්ධයේ අතුරු ප්‍රතිඵල මෙන්ම අනෙකුත් ආර්ථික හා සමාජීය ගැටළු නිසා ද බොහෝ අපහසුතා මැද එදිනෙදා ජීවිත ඉතාමත් අසීරුවෙන් සරිකර ගැනීමට උත්සාහ කරන බව දැකිය හැක.

යුද ජයග්‍රහණය එක් පාර්ශවයක සතුටට හේතු වන අතරේ උතුරු, නැගෙණහිර වගේම දකුණේත් පවුල්වලට එයින් බොහෝ දේ අහිමි වීම පිළිබඳව ශෝඛනීය පුවත් තිබේ.

යුද්ධය හේතුවෙන් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වූ අතර,  තවත් පිරිසකට තම දූ දරුවන් මෙන්ම සියළු නිශ්චල චංචල දේපළ ද  සඳහට ම අහිමි වී ගොසිනි. බොහෝ පිරිසක් ශරීරයේ විවිධ අවයව අහිමිවීමෙන් සදාකාලික හා අර්ධ අබාධිත තත්වයට පත්ව සිටිති.

යුද්ධය, පුනරුත්ථාපනය, අතුරුදහන් වූවන්ගේ ඥාතීන්, යුද සැමරුම් මේ ආදි කාරණා යුද්ධය හා සම්බන්ධ ශබ්ද කෝෂයේ නිතර කියැවෙන අසන්නට ලැබෙන වදන්ය. කුරිරු යුද්ධයෙන්  ආබාධිත තත්වයට පත්වූ සිවිල් ජනතාව හා ආරක්ෂක අංශයේ  දහස් ගණනක් රටේ විවිධ ප්‍රදේශවල  ජීවත් වන්නේ තවමත් නොවිසඳුනු සමාජ, ආර්ථික ගැටළු රාශියක් කරපින්නාගෙනය. එම නොවිසඳුනු ගැටළු ඔවුන්ට උරුම වූ දේවල් ලෙස එම ජනතාව නොදකින අතර තමන්ට බලහත්කාරයෙන් ඒවා උරුම කළ බවත් ඔව්හූ  කියති.

අපගේ සංචාරයේ අරමුණ වූයේ, කුරිරු යුද්යෙන් ආබාධිතව සිටින උතුරු නැගෙණහිර හා දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ජනතාව හා ආරක්ෂක අංශයේ සේවය කළ අය මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්  හමුවී වත්මනයේ පවතින  සජීවී ප්‍රශ්න ගැන සොයා බලා ඒවාට හැකි අයුරින් විසඳුම් ලබා දීමේ අරමුණින් එම තොරතුරු  මාධ්‍ය හමුවේ  අනාවරණය කිරීමයි.

උතුරු -නැගෙණහිර යුද්ධයේ දී  ආරක්ෂක හමුදාවන්වල හා ත්‍රස්තවාදීන්ගේ  දරුණු ප්‍රහාරයන්ට ගොදුරු වූයේ, මුලතීව් දිස්ත්‍රික්කයේ සිවිල් ජනතාවය. එමෙන්ම  යුද්ධයට සම්බන්ධ දෙපාර්ශවයේම වැඩිම පිරිසක් මියගිය හා ආබාධිත වූවන් සිටින්නේ මුලතිව් දිස්ත්‍රික්කයේය.

ආරක්ෂක හමුදාවන්වල හා පොලීසියේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටිය දී  මියගිය හා ආබාධිත තත්වයට පත් වූවන් බහුතරයක් රාජකාරි කර ඇත්තේ යාපනය හා මුලතීව් දිස්ත්‍රික්ක වලය. එමෙන්ම නැගෙනහිර පළාතේ, මඩකළපුව දිස්ත්‍රික්කයේ ඒරාවූර් ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව බොහෝ පිරිසකට L.T.T.E. ප්‍රහාර හමුවේ විශාල ජීවිත ප්‍රමාණයක් අහිමිව ගොස් තිබේ. ආබාධිත පිරිස් ද විශාල ප්‍රමාණයක් සිටිති.

මුලතිව් දිස්ත්‍රික්කයේ සිටින යුද්ධයේ දී  ආබාධිත වූ සිවිල් හා ආරක්ෂක අංශයේ පිරිස සම්බන්ධව නිවැරදි  සංඛ්‍යා ලේඛන ලබා ගැනීම සඳහා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාධ්‍ය හා තොරතුරු නිලධාරි තිරුචෙල්වම් දිවාකරන් හමුවූයෙමු.

යුද්ධය නිමා වීමෙන්  අනතුරුව මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 300 ක් සඳහා රුපියල් මිලියන 350 ක පමණ සහන සලසා දී ඇති බවත්, එක් පවුලකට හාල් කිලෝ 20 බැගින් ලබා දීම සඳහා රුපියල් මිලියන 119 ක් වෙන් කර ඇති බවත් දිවාකරන් කීවේය.  භෞතික වශයෙන් සංවර්ධන කටයුතු සිදු කර ඇති බවත්, එහෙත් සමාජ අපේක්ෂාවන් සංවර්ධනය වී නොමැති බවත්  හෙතෙම කියයි..  ආබාධිත වූ පිරිසට විශේෂ වන්දියක් ලබා දී නොමැති බව පවසන දිවාකරන් රජය මගින් සහනාධාර ලබා දීමේ වැඩසටහන් වලදී  එම පිරිසට මූලිකත්වයක් ලබා දෙන බවද කීය.

මෙයට අදාල සංඛ්‍යාලේඛන දත්ත අපවෙත ලබාදීමට ඉහළින් මෙතෙක් අනුමැතිය ලැබී නැතැයි ද ඔහු කීවේය.

මුලතීව් දිස්ත්‍රික්කයේ වල්ලිපුරම්, ඉනියවාල් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සිවපාලන් නරේන්ද්‍රන් (51) පවසන්නේ යුද්ධයෙන් පසු තමන් සොයා පැමිණි රාජ්‍ය නොවන සංවිධාන තම තොරතුරු රැගෙන ගිය ද ලැබුණු දෙයක් නැති බවයි. ඇතැම්විට ඔවුන් තම ඡායාරූප පෙන්වමින් මුදල් ලබාගන්නට ඇතැයි ද ඔහුගේ අදහස වී තිබේ. ඒ නිසාම ඔහු තම ඡායාරූප මාධ්‍යයට පවා දීමට කැමැත්තක් නැත.

“මෝටාර් ප්‍රහාරයකින් මගේ දකුණු කකුල නැති  වුණා. මට අවුරුදු 16 ක ගැහැණු දරුවෙක් ඉන්නවා. එ දරුවා තවම ඉගෙන ගන්නවා. මගේ නෝනා මානසික ලෙලෙඩක්. අපිට කිසිම ස්ථිර ආදායමක් නෑ. ආබාධිත නිසා කුලී වැඩක්වත් කරගන්න බෑ. ගෙදර ඉන්න හරක් තුන් දෙනෙකුගෙන් ලැබෙන ආදායම විතරයි. රජයෙන් රුපියල් 5,000.00ක සමෘද්ධි දීමනාවක් දෙනවා. දැන් ඉතින් මේ සල්ලිවලින් අපේප පවුලෙ අයට ජීවත් වෙන්නත් බෑ. නෝනා ඉඳහිට කුලී වැඩක් කරලා කීයක් හරි හොයාගන්නවා. සමහර දවස්වලට ඉන්නේ බඩගින්නේ. මැරෙන්න බැරි නිසා ජීවත් වෙනවා.”

රත්නම් ජීවාකරන් (55) පරන්තන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු මෙසේ කියයි.

මගේ කකුලක් නැති වුණේ යුද්ධයෙන්. දැන් ඉතින් පුළුවන් විදියට හැමදේම කරලා ජීවත් වෙන්න උත්සාහ ගන්නවා. මෝටර්සයිකල් ටයර්වලින් මල්පෝච්චි හදලා විකුණනවා. විදුලි උපකරණ අලුත්වැඩියා කරනවා. ශබ්ද විකාශන යන්ත්‍ර කුළියට දෙනවා. බෝම්බ කෑල්ලක් වැදිලා මගේ දණහිස නැති වුණනා. යුද්ධෙ නිසා මට ඉතිරිවුණේ පණ නැති කකුලක්. ජීවත් වෙන්න ඕන නිසා පුළුවන් හැම දෙයක්ම කරනවා. බර වැඩක් කරන්න බැහැ.  මේක අපේ කරුමේ. ඉස්සර මම හොඳට කුඹුරු වැඩ කළා. දැන් ඒවා කරන්න බැහැ. සංවිධානවලින් ඇවිත් ෆොටෝ ගහගෙන යනවා. ඒත් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ.”

ඔහු පවසන්නේ මාධ්‍යවේදීන් පවා විශ්වාස කළ නොහැකි බවයි. ඔහු පවසන්නේ යුද්ධයෙන් පසු තමන් පුනරුත්ථාපනය වී නිවසට පැමිණි අයකු බවයි.  

වල්ලිපුරම්, තිරුණමලේ පදිංචිව සිටින නම්කුලම් පුෂ්පාවතී (59) මෙසේ කීවාය.

“මගේ ගෙට මෝටාර් වැදිලා මහත්තයයි, පුතයි දුවයි තුන්දෙනාම මියගියා.  මම ඒ වෙලාවේ මිදුලේ හිටි නිසා මම විතරක් බේරුණා. ඒත් වම් කකුළ තුවාල වෙලා ඇවිදින්න බැරුව අවුරුදු ගණනක් දුක් වින්දා. එදා මැරුණේ නැත්තේ මගේ කරුමෙට. අසරණකම නිසා කොන් වෙලා ඉන්නේ. සහනාධාර විදියට රජයෙන්  කිසි දෙයක් ලැබිලා නෑ. මේ දුක්ඛිත ජීවිතය විඳවලා දැන් එපා වෙලා ඉන්නේ. අපි වගේ අසරණ අය වෙනුවෙන් තව ජීවත් වෙන්න තියන කෙටි කාලයට හරි උදව් කරන්න කියල ඉල්ලා සිටිනවා.”

මඩකලපුවේ එරාවුර් පදිංචි එච්.එම්.කලීසා කුට්ටි (57) මෙසේ පැවසුවාය.

“1989 දී අපි ගියපු බස් එකට රූගම හරියෙදී කොටි ත්‍රස්තවාදීන් වෙඩි තිබ්බා. මටත්, මහත්තයාටත්, දරුවන් තුන්දෙනාටත් වෙඩි වැදුණා. මට අදටත් කිහිළිකරු නැතිව ඇවිදින්න බෑ. මමයි මහත්තයයි දෙන්නම අවුරුද්දකට වැඩිය මඩකළපුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත්තා. අපි ජීවත්වුණේ හරක්, කුකළෝ ඇතිකරලා ලැබුණ ආදායමෙන්. ඒ සියල්ල නැති වුණා. අපි අදටත් ජීවත් වෙන්නේ ඉතා අමාරුවෙන්. යුද්දෙට ඉස්සෙල්ලා හොඳට ජීවත් වුණා.”

කලීසා කුට්ටි

ඒරාවූර් මුස්ලිම් ගම්මානයට 1990 අගෝස්තු මස 12 වැනි දින කොටි ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් 121 දෙනෙක් මියගිහය. මේ සිද්ධියට දිවි ගලවාගත් ෆාතිමා තවමත් සිටින්නේ හැඬූ කඳුලිනි.   

“අපිට එදා ගම දාලා යන්න වුණා. අපේ පවුල්වල අයගේ ජීවිත නැතිවුණා විතරක් නෙවෙයි. යුද්ධය නිසා උන්හිටිතැන් අහිමිවෙච්ච අපිට අදටත් අපේ ඉඩම් ලැබුණේ නැහැ.”

එරාවුර් පදිංචි ෂාවුල් අබ්දුල් හමීඩ් ජබාර් මෙසේ කීවේය.

“ත්‍රස්තවාදීන් වෙඩි තියලා 1991 දී මගේ කකුල දණහිස ළඟින් වෙන් කරන්න සිදුවුණා. මම ඒ වෙනක‍ොට වෙළඳාම් කරගෙන ජීවත් වුණේ. පස්සේ මම කිසිම දෙයක් කරන්න බැරි අබ්බගාතයෙක් වුණා. ආබාධිත නිසා බිරිඳ පවා මා හැරගියා.”

ෂාවුල් අබ්දුල් හමීඩ් ජබාර්

 ස්වේච්ඡා සංවිධානයකින් ලැබුණු කෘතිම පාදයක් සහ අනතුර සිදුවූ කාලයේ ලැබුණු සමාජ සේවා ආධාරයක් හැර වෙනත් සරණක් නැතැයි ඔහු කියයි.

මුලතිව් වනාන්තරය ආසන්නයේ ඇති යකාවැව ගම්මානය ද ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකට ගොදුරු වූ ගමකි. දැන් ත්‍රස්තවාදීන් නැතත් ඔවුන් වන අලින්ගේ තර්ජනවලින් දැඩිව පීඩා විඳියි.

යකාවැව ගම්මානයට එන එකම ලංගම බසය 2006 ජුනි මස 15 වැනි දා ක්ලේමෝ බෝම්බයකට හසුවීමෙන් එහි ගමන් කරමින් සිටි 69 දෙනෙක් මියගියහ.

එදා ‍බරපතල තුවාල සහිතව ජීවිතය බේරාගත් නයිඳුරාළලාගේ රත්නායක (68) මෙ‍සේ කීවේය.

“මගේ නෝනයි, පුතයි දෙන්නත් එදා මැරුණා. මම සදාකාලික ආබාධිතයෙක්. අපි ගොවිතැනින් ජීවත් වෙච්ච මිනිස්සු. දැන් ගොවිතැන් කරන්න බෑ. එ් අනතුර නිසා මට වන්දි ලැබුණා. ඒත් මැරෙණතුරු ජීවත් වෙන්නේ කොහොමද දැන් සමෘද්ධි දීමනාව රුපියල් 5,000.00 විතරයි ලැබෙන්නේ. එදා මැරුණනම් හොඳයි කියලා හිතෙනවා.”

නයිඳුරාළලාගේ රත්නායක

ලීඩ්ස් නැමති රාජ්‍ය නොවන සංවිධානයේ සම්බන්ධීකරණ නිලධාරිනියක් ලෙස යාපනයේ  සේවය කරන ජේකුමාර් අෂිකා එම සංවිධනය මගින් සිදු කරන සමාජ සුබ සාධන ක්‍රියාවන් සම්බන්ධව අප සමග මෙසේ පැවසුවාය.

“යුද්ධයේ අවසන් කාලයේ පැවති ප්‍රහාරවලදී පූර්ණ හා අර්ධ ආබාධිත වූ බොහෝ ගෘහ මූලික පුද්ගලයින්ගේ පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා උදව් කරනවා. පාසල් හැරගිය දරුවන්  ස්වයං රැකියා වෙත යොමු කිරීම, සත්ව පාලනය, කෘෂි කර්මාන්ත කටයුතු සඳහා ආධාර ලබා දීම, මිරිදිය කර්මාන්තය සඳහා දැල් ආම්පන්න ලබා දීම සිදු කර තිබෙනවා. ස්වයං රැකියාවලට යොමු කළ පවුල් 350 ක් පමණ පමණ සිටිනවා.  ධීවර කටයුතු සඳහා යොමු කළ චාවාකච්‍චේරි ප්‍රදේශයේ පවුල් 150 ක් පමණ සිටිනවා. ඒ වගේ ම ආබාධිතවූවන්ගේ පවුල්වල තරුණ ළමයින්  විවිධ අපචාර ක්‍රියාවන්වලට හා මත් ද්‍රව්‍ය පාවිච්චිය සඳහා  යොමුවීම වැළැක්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. වයස අවුරුදු 18 ට වැඩි තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබා දීමට කටයුතු කරනවා.”

ජේකුමාර් අෂිකා

යුද්ධය නිසා ආබාධිත වූ  75% ක්  පවුල්වල සාමාජිකයින්ට ලීඩ්ස් සංවිධානය මගින් මේ වන විට උදව් උපකාර කර ඇති බවත්, ඉදිරියටත් අඛණ්ඩව උපකාර කිරීමට සැලසුම් කර ඇති බවත් ඇය පවසයි.

වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ පැවති මෙම කුරිරු යුද්ධය හේතුවෙන් පොලිස්,  ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා සිවිල් ජනතාව 274,711 ක් පමණ ආබාධිත තත්වයට පත්ව ඇති බව 2001 වසරේදී සමාජ සුබ සාධන අමාත්‍යාංශය මගින් කරන ලද සංඝණයේ දී අනාවරණය වී තිබේ. ඉන් පසුව කරන ලද සංගණනයක් පිළිබඳව තොරතුරු වාර්තා වී නැත.

කුඩා මස්කෙළිය ප්‍රදේශයේ පදංචිව කේ.පී.විරාජ් ජීවන්තද සිල්වා (38) පොලිස් විශේෂ කාර්ය බලකායට බැඳී ඇත්තේ 2008 වසරේදීය. යුද්ධය අවසන් වී වසර කිහිපයකට පසු 2012 දෙසැම්බර් 04 වැනි දා කොටි සංවිධානයේ පැරණි පීඩන බෝම්බයක් පිපිරී යාමෙන් ඔහුගේ දෑත් වළලු කර ප්‍රදේශයෙන් වෙන්ව ගොස් ඇති අතර එක් ඇසක් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට සිදුව තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුවෙන් තමන්ට මාසික වැටුප පමණක් ලබා දෙන බවත්, අවුරුදු 55 න්  පසුව විශ්‍රාම වැටුප නොලැබෙන බවත් ඔහු පවසයි. යුද හමුදාවේ ආබාධිත සෙබළුන් රැකීමට “අභිමන්සල” වැනි ආයතන පිහිටුවා ඇතත් පොලිස් දෙපාර්තමේන්තුවේ එවැනි ආයතන පිහිටුවා නොමැතිකමින් තමන් වැනි ආබාධිත වූවන්  දැඩි ලෙස අසරණව සිටින බව ඔහු කීවේය

බෝම්බයට හසු වූ ඔහු දැන් ස්නායු රෝගියෙකි. එමෙන්ම, දියවැඩියාව හා තවත් නිදන්ගත රෝගවලට ද ‍ගොදුරුව සිටියි.  ආබාධිත තමන්ට සමාජයෙන් අසාධාරණකම් රැසක් සිදුව ඇති බවත් ඔහු පවසයි.

රණවිරුවන්ට රජයෙන් ලබාදෙන බව පවසන ඉඩම් පවා තමන්ට නොලැබුණු බව ඔහු අප සමඟ කීවේය.  යෞවන වියේ දී ම ආබාධිතයකු වූ ඔහු මේ වනවිට දැඩි මානසික පීඩාවකට ගොදුරුව සිටියි. ඔහුට වෙනත් අයකුගේ උදව් නැතිව තම ආහාර වේල පවා ලබාගත නොහැකිය. ඔහුට උපකාර කරන මව ද දැන් රෝගී තත්වයෙන් පසුවෙයි.

ජීවන්ත ද සිල්වා

ජීවන්තලා පමණක් නොව කොටි ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන ගොස් ළමා සොල්දාදුවන් ලෙස ‍යුද්ධයට තල්ලුකර දැමූ කුඩා දරුවන් දැන් පුනරුත්ථාපනය වී සිිය ගම්බිම් බලා පැමිණ සිටියි. ඔවුන්ගෙන් වැඩි දෙනකු ආබාධිතයන්ය. ඒ නිසාම එදා ළමා සොල්දාදුවන් ලෙස කටයුතු කළ වත්මන් තරුණයන් වැඩි දෙනකු දැඩි සමාජ සහ ආර්ථික ගැටලුවලට මුහුණ දෙමින් සිටියි.

ආබාධ සහිත පුද්ගලයින්ගේ සුභ සාධනය හා ඔවුන්ට හිමිවිය යුතු වන්දි මුදල් ලබා ගැනීම සම්බන්ධව ආබාධ සහිත පුද්ගලයින්ගේ මහ ලේකම් කාර්යාලයෙන් අප කළ විමසුමකදී එහි නිලධාරියෙක් කියා සිටියේ, ආබාධිත වූ පුද්ගලයින් සුබසාධන කටයුතු හා වන්දි මුදල් ලබා ගැනීමට අදාලව ඉල්ලුම් කරන ඕනෑම පුද්ගලයෙකුට  අදාල චක්‍රලේඛවලට යටත්ව  සුදුසුකම් මත කටයුතු කරන බවයි.

යුද්ධය යන වචනය පවා ඇසීම අමිහිරිය. යුද්ධයේ අත්දැකීම් ලැබූ කිසිවෙකුත් යුද්ධය මතක් කිරීමටවත් කැමති නැත. නමුත් ආයුධ වෙළෙන්දෝත්, දේශපාලක බලකාමීහුත් මේ යුද්ධයට තවමත් ආශිර්වාද කරති. ඔවුන් එය උත්කර්ෂයට නගති.

යුද්ධයෙන් කවර පාර්ශවයක් ජය ලැබුව ද ඉතිරිවන්නේ දුක, වේදනාව පමණි. මේ‍ සෝචනීය ඉරණම අදටත් ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් අත්විදිමින් සිටිති.  

එදා යුද්ධයෙන් ආබාධිත වූ ඊට සෘජුව සම්බන්ධ වූ සහ නොවූ ජනතාවගේ තවමත් නොවිසඳුණු ගැටලුවලට කවදා විසඳුම් ලැබෙනු ඇත්ද ?

කැබතිගොල්ලෑව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!