විදේශ රැකියා සොයා ගොස් ජාවාරම්කරුවන්ට ගොදුරු වූ කාන්තාවන් 170ක් 2023 වර්ෂයේ පළමු මාස තුනේ දී හමු වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
එම කාන්තාවන් අමාරුවේ දැමූ ජාවාරම්කරුවන් රැසකට එරෙහිව දැනටමත් නීතිය ක්‍රියාත්මක කර ඇති බවත් එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මහජනතාවගේ ආරක්ෂාව උදෙසා අවශ්‍ය පුහුණුව, තාක්ෂණික දැනුම සහ සම්පූර්ණ කළ යුතු ලියවිලි සම්පූර්ණ නොකොට ඒ සඳහා සුදුසුකම් නොලබන පිරිස් විවිධ වංචනික ක්‍රම භාවිත කරමින් විදේශ රැකියා සඳහා පිටත් කර හැරීම පිළිබඳ සිදුවීම් පසුගිය කාලයේ දිගින් දිගටම වාර්තා වී තිබේ. එමෙන්ම විදේශ රැකියා ලබාදෙන බව පවසමින් සංවිධානාත්මකව පුද්ගලයන් රවටා මුදල් ජාවාරමේ යෙදෙන පුද්ගලයන්ට ද එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙයි.
අසත්‍ය තොරතුරු ලබා දී මුදල් වංචාකිරීම්, සාවද්‍ය ලේඛන සකසා රැකියා සඳහා නුසුදුසු අය විදේශ ගත කිරීමට තැත්කිරීම්, ගමන් බලපත්‍ර වීසා පත් වංචනික ආකාරයෙන් වෙනස් කිරීම් සිදුකරමින් ජාවාරම්කරුවන් එම නීතිවිරෝධි කටයුතුවල නිරත වී ඇති බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් නිත්‍යානුකූල නොවන විදේශ රැකියා පිටත්ව යන ශ්‍රමිකයින් සහ එම මිනිස් ජාවාරම්වලට සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයින් රැසකට එරෙහිව මේ වන විට ඉදිරි නීතිමය පියවර ගෙන ඇති බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.