spot_img
spot_imgspot_img

ජනපති රනිල්ට, රජයේ ලොක්කන්ට, නිවන් දකින්න පාසල් දරුවෝ යොදා ගනී

පුවත්

විදෙස්

ගාලු මුවදොර පිටියේ මැයි මස 05 වෙසක් පොහෝ දිනයේ පැවැත්වෙන “සාදු නාද ශීල සමාධි වැඩසටහන -2023” සඳහා පාසල් සිසුන් අනිවාර්යයෙන් ම සම්බන්ධ කරන්න යැයි කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී.ආර්.දේවබන්දු විසින් පාසල්වල විදුහල්පතිවරුන් වෙත ලිපියක් යොමුකර තිබේ.

ඒ අනුව මෙම ශීල වැඩසටනට පාසල් ළමුන් 2453ක් සහ ගුරුවරුන් 104ක් සහභාගී කරවීම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ ඉලක්කය වී තිබේ.

මෙම ලිපිය පාසල් 17ක් වෙත යොමුකර ඇති අතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ ලිපියට අනුව තර්ස්ටන් විද්‍යාලය වැඩිම සිසුන් පිරිසක් සහභාගී කරවිය යුතු අතර එම සංඛ්‍යාව 307 දෙනෙකි. එම සිසුන් 307 දෙනා සමඟ ගරුවරුන් 19 දෙනකු ද සහභාගී විය යුතු බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ දේශබන්දු තම ලිපියේ සඳහන් කර තිිබේ. අඩුම සිසුන් පිරිසක් සහභාගී කරවිය යුතුව ඇත්තේ ගෝතමී බාලිකා විද්‍යාලයෙනි. ඒ සිසුන් 89 දෙනකු සමඟ ගුරුවරුන් 03 දෙනකු ලෙසිනි.

සිසුන් කැඳවා ඇති පාසල් අතරින් පාසල් 10ක් බාලක පාසල් වන අතර අනෙක් පාසල් 07 බාලිකා පාසල් වෙයි.

මෙම ලිපියට අනුව එම සිසුන් කැඳවා ඇත්තේ වෙසක් පොහොය දින උදෑසන 6.30 සිට සවස 3.00 දක්වා පැවැත්වෙන වැඩසටහනක් වෙනුවෙනි. නමුත් ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සහ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ හෝ ඒ පිළිබඳ වගකීම දරන පුද්ගලයකු පිළිබඳ හෝ කිසිදු සඳහනක් නැත. පාසල් සිසු සිසුවියන් විසින් දැරිය යුතු වියදම් නැවත පියවන්නේ ද යන්න පිළිබඳ හෝ සඳහනක් නැත.

මේ සම්බන්ධයෙන් කොළම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී.ආර්.දේවබන්දු සමඟ දුරකථනයෙන් කතා කළ විට ඔහු කීවේ ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන බවයි. එහි වරදක් නොමැති බවත් සති දෙකක පමණ කාලයක් මහන්සි වී මේ ළමයින් ඒ සඳහා යොමුකර ඇති බවත් හෙතෙම කීවේය.

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් විවිධ සංස්කෘතික වැඩසටහන් සහ අවුරුදු උත්සව සඳහා කාලය වෙන් කිරීම, වෙසක් සතියක් පැවැත්වීම සහ ඉදිරියේ දී පොසොන් සඳහා පැවැත්වෙන උත්සව හේතුවෙන් පාසල්වල අධ්‍යාපනයට මුල් තැන නොදී ආගමික වැඩසටහන් සඳහා වැඩි කාලයක් වෙන් කරනවා නේදැයි ඇසූ විට ඔහු අප සමඟ යම් පමණකට එකඟ වූයේය.

ඉතාමත් නිහමානීව තම අදහස් දැක්වූ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තමන්ට ඒ ගැන පොඩි ගැටලුවක් ඇතැයි ද කීවේය.

මීට අමතරව, ක්‍රිස්තියානි හා කතෝලික ආගමික උත්සවවල දී, හින්දු ආගමික උත්සවවල දී සහ මුස්ලිම් ආගමික උත්සවවල දී පාසල් සිසුන් සහභාගී කරවාගෙන කලාප අධ්‍යාපන කාර්යාලයෙන් මෙවැනි වැඩසටහන් කොපමණ කළේ දැයි විමසූ විට ඔහු කියා සිටියේ අපි බෞද්ධයන් ලෙස බෞද්ධ ආගමික වැඩසටහන් කරන බවයි. ඒ ඒ ආගමික පාසල්වලට එම වැඩසටහන් කිරිමේ නිදහස ඇති බව ද හෙතෙම කීවේය.

ළමයින්ගේ ආගම පුද්ගලික දෙයක් බවත් එය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කළ යුතු දෙයක් නොවන්නේ යැයි පිළිගන්නවා දැයි ඇසූ විට හෙතෙම එය පිළිගැනීමට සූදානම් වූයේ නැත. ඔහු කීවේ මේ ගැන දිර්ඝව සාකච්ඡා කිරීමට කාර්යාලයට පැමිණෙන ලෙසයි.

කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ආගමික සහ සංස්කෘතික වැඩසටහන් හැර විද්‍යාව ප්‍රවර්ධනය කිරීම සිදුකරන ලද මෙවැනි මහා පරිමාන වැඩසටහන් කවරේදැයි විමසූ විට ඔහු කියා සිටියේ එවැනි දේවල්වල තොරතුරු තමන් සතුව නැති බවයි. තමන් කාර්යාලයට පැමිණ සති දෙකක් පමණ කාලයක් බවත් පැරණි දේවල් නොදන්නා බවත් කීවේය.

ඉදිරිියේ දී එවැනි විද්‍යාව හා තාක්ෂණික ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කර තිබේදැයි විමසූ විට එවැනි දෙයක් කරන්නට බලාපොරොත්තු වන බව ද හෙතෙම කීවේය.

“ඔබ මේ ගැන මීට ඉහළ තැනකට කතා කරලා බේරගන්න. අපි ක‍රන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දෙන උපදෙස් ක්‍රියාත්මක කිරීම”

මේ සම්බන්ධ වැඩිදුර කරුණු සොයා බැලීමට අපි දැනටමත් කටයුතු යොදා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!