(සිරී හීන්පැල්ල – ඇමෙරිකාවේ සිට)
ඇමරිකාවේ 46 වෙනි ජනාධිපතිවරයා තේරී පත්වී අවසන්ය.
ඒ නොවැම්බර් 3වැනිදා ඡන්දය පවත්වා දින පහකට පසුවය .
මේ අලියා පරදා බූරුවා ජයගත් මොහොතකි.
රතු පරදා නිල් ජයගත් අවස්ථාවකි.
(ට්‍රම්ප්ගේ ඡන්ද ලකුණ අලියා වූ අතර බයිඩන්ගේ ඡන්ද ලකුණ බූරුවාය. ට්රම්ගේ වර්ණය රතු වර්ණයයි. බයිඩන් මැතිවරණයට ඉදිරිපත් වූයේ නිල් වර්ණයෙනි)
හැත්තෑ හත්(77) හැවිරිදි 47 වෙනි හිටපු උප ජනාධිපති ජෝශප් රොබිනෙට් බයිඩන් ඇමරිකාවේ 46 වෙනි ජනාධිපති තනතුරට පත්වූ අවස්ථාවයි මේ.
අලුත්ම ලොව මහ බලවතා වූ ජෝ බයිඩන්ට අපගේ උණුසුම් සුබ පැතුම් පිරිනමමු .
ලෝක පොලිස්කාරයා බවට පත්වූ මහලුම පුද්ගලයා ඔහුය.
රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ වසර 47 ක පළපුරුද්දක් ඇති බයිඩන්ට ඇමරිකාවේ මුල් පුටුවේ වාඩි වීමට සහ වයිට් හවුස්හි (white house) යතුර භාරගැනීමට අද සිට තවත් දින 75 ක කාලසීමාවක් ඇති බව මෙහිදී සඳහන් කළ යුතුමය.
එනම් ඔහුට ජනපති පදවියේ දිවුරුම් දීමට හැකි වන්නේ 2021 ජනවාරි 20 දා වන නිසාය.
උප ජනාධිපති තනතුරට පත්වූයේ කමලා හැරිස් ය.
කාන්තාවක් ඇමරිකානු රාජ්‍ය තාන්ත්රයෙහි ඉහළම තනතුරකට පත් වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
ඇමරිකාවේ කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබාදී වසර සීයක් ගතවූ අවස්ථාවක මෙය සිදුවීම විශේෂත්වයකි.
ට්‍රම්ප් එළවා ගැනීමට ඇමරිකාව මෙන්ම චීනය ඉරානය ප්රමුඛ මුලු ලෝකයම අවි අමෝරා ගත්හ.
බහුතර මතය වූයේ ස්ථිර ප්රතිපත්තියක එල්බගෙන සිටිමින් කෙලින් කතා කරන නිසා ඔහුගේ කට හොඳ නැති බවය .
කට නිසා ට්‍රම්ප් වැඩ වරද්දා ගත් බව සමහරුන්ගේ මතයයි .
වසර හතරක් තුළදී කිසිදු රටක් ආක්‍රමණය නොකිරීම, ඇමරිකා ආර්ථිකය ඉතා ශක්තිමත් අඩියකට ගෙන ඒම, විරැකියාව තුරන් කිරීමට අවශ්‍ය පියවර ගැනීම, චීනයට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට යාම ආදිය ට්‍රම්ප් පරාද වීමට හේතු වන්නේද?
ලොව වනසන කොරෝනා වෛරසය ලොවට දායාද කළ චීනයට එරෙහිව කොන්ද කෙළින් තබාගෙන කතා කළ ලොව එකම රාජ්‍ය නායකයා වශයෙන් ට්‍රම්ප් ජනපතිගේ නාමය ලෝක ඉතිහාසයට එක්වන බව ධවල මන්දිරය අසල සිටින මා සඳහන් කරන්නේ ඉමහත් අභිමානයකිනි.
ඇත්තෙන්ම ට්‍රම්ප් පරාද වුනාද ? ට්‍රම්ප් මේ වන විට බයිඩන් ගේ ජයග්‍රහණය සහ ජනාධිපති ඡන්දයේ ඡන්ද ගණන් කිරීම අධිකරණය හමුවේ අභියෝගයට ලක් කොට අවසානය.
අද වන විටත් ඔහු බයිඩන්ගේ ජයග්‍රහණය පිළිගෙන නැත.
බයිඩන් තවමත්(පෙරමුණේ සිටින ) ජයග්‍රාහකයා විය හැකි (Projected) අපේක්ෂකයා ද නැතහොත් තේරී පත්වූ (Elected ) ජනපතිද ?
1814 සැප්තැම්බර් 14 දා ෆ්‍රන්සිස් ස්කොට් කී(Francis Scott Key ) ලිව් වදන් පෙළක් අනුසාරයෙන් නිර්මාණය කල ඇමරිකා ජාතික ගීතයේ නිදහසේ දේශය (Land of the free), නිර්භීත මිනිසුන්ගේ නිවාසය (The home of the brave) යනුවෙන් සඳහන් වී ඇත.
මේ දේශය හැඳින්වීමට තවත් වචන කුමකටද ?
ලෝකයේ ප්රජාතන්ත්රවාදය සුරක්ෂිතව පවතින පැරණිම රාජ්‍යයේ පැවැත්වූ 59වෙනි ජනාධිපතිවරණය හේතුකොටගෙන දැන් ඇමරිකාව කොයිබටද යන ප්රශ්නය අසන්නට සිදු වී තිබේ.
ඇමරිකාවේ ජනාධිපති ධූරය වූ කලී බිහිසුණු කොටියෙකුගේ පිට මත යන ගමනකට සමාන බව පැවසුවේ හිටපු ජනාධිපතිවරයකු වූ හැරී එස් ටෲමන් ය.
ට්‍රම්ප්ගේ නීති හරඹය තුළින් ඇමරිකාව උඩුයටිකුරු කරනු ඇත්ද ?
ඒ සියලු විස්තර එක්සත් ජනපදයේ සිට ඔබ වෙත ගෙන ඒම අපේ අපේක්ෂාවයි.