Google earth පරීක්ෂා කිරීමෙන් අදින් වසර 1900කට පෙර අරාබි කාන්තාරයේ සිදු වූ බිහිසුණු යුද්ධයක් පිළිබඳ කරුණු අනාවරණය වී තිබේ.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් මේ පිළිබඳ සාධක සොයාගෙන අධ්‍යයනය කර ඇත. ඔවුන් පවසන්නේ එම බිහිසුණු යුද්ධය සිදුව ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 106 දී පඹණ බවයි. එය මෙතෙක් ලෝක ඉතිහාසයේ සටහන් නොවූ යුද්ධයකි.
රෝම අධිරාජ්‍යය විසින් වර්තමාන ජෝර්දානයේ එවකට පැවති නබටේන් රාජධානිය අල්ලාගත් සටනේ තොරතුරු තමන්ට හමුව ඇති බව පුරාවිද්‍යාඥයෝ කියති. මෙතෙක් ලෝකයේ ඉතිහාසඥයන් විශ්වාස කළේ නබටේන් රාජධානිය රෝම අධිරාජ්‍යය විසින් අල්ලාගත්තේ සාමකාමී බල හුවමාරුවක් ලෙස බවයි. නමුත් එය එසේ නොවන බවත් ඒ සඳහා බිහිසුණු යුද්ධයක් ඇති වී තිබෙන බවත් Google earth පරීක්ෂා කිරීමේ දී හමු වූ අසාමාන්‍ය භූමි ලක්ෂණවලින් අනාරවණය වී ඇත.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ට හමු වී ඇත්තේ පැරණි යුද කඳවුරු කිහිපයකි. ඒවා සෞදි අරාබියේ ඩුමාට් අල් ජනදාල් දෙසට සරල රේඛාවකින් දිවෙන බව පෙනෙන්නට තිබේ. එය පැරණි නබටේන් රාජධානියේ නැගෙනහි ජනාවාසයකි. මේ අසාමාන්‍ය භූ ලක්ෂණය මුලින්ම හඳුනාගෙන ඇත්තේ සෘජු කෝණාස්‍රාකාර ලෙසිනි.
වර්තමාන ජෝර්දානයේ පෙට්‍රා නගරය කේන්ද්‍රකරගත් නබටේන් රාජධානිය අත්පත් කරගනු ලැබුවේ ට්‍රේජන් අධිරාජ්‍යයා විසින් බව ඉතිාසයේ සඳහන් විය. නබටේන් රාජධානිය හරහා වැටී තිබූ වෙළෙඳ මාර්ගය, කුළුබඩු, සුවඳ දුම් සහ තඹ වැනි සම්පත් අත්පත් කරගැනීම ට්‍රේජන් අධිරාජ්‍යයාගේ අරමුණ විය.
Google earth මගින් සොයාගත් අසාමාන්‍ය ලෙස සෘජු කෝණාස්‍රාකාර හැඩයක් ගත් භූ ලක්ෂණ සහිත ස්ථාන තුන කිලෝ මීටර 37ත් 44ත් අතර දුරකින් පිහිටා තිබිණි.
පර්යේෂණයට නායකත්වය දුන් ආචාර්ය මයිකල් ෆ්‍රැඩ්ලි පවසන්නේ මේ කඳවුරු මීට වසර 1,900කට පෙර සිදුවූ ඉතාමත් බිහිසුණු යුද්ධයක් වෙනුවෙන් රෝම හමුදාව විසින් ඉදිකර ඇති තාවකාලික කඳවුරු බවයි.
ඔහු වැඩිදුරටත් මෙසේ පවසයි.
“මේ කඳවුරු සෘජුකෝණාස්‍රාකාරයි. ඒවා රෝම හමුදා විසින් ගොඩනගා ඇති බව අපට බොහෝ දුරට විශ්වාස කරන්න පුළුවන්. ඇත්තටම මේ කඳවුරුවල ව්‍යුහය පුදුම සහගත ලෙස ආරක්ෂා වී තිබෙනවා. සියුම්ව පරීක්ෂාකරන විට පෙනී යනවා මේ කඳවුරු භාවිතා කර තිබෙන්නේ දින කිහිපයක් හෝ සති කිහිපයක් පමණක් බව. එයින් තහවරු වෙන්නේ මේවා තාවකාලික කඳවුරු බව. මේ කඳවුරු අතර තියෙන කැපී පෙනෙන වෙනස බටහිරින් පිහිටි කඳවුර නැගෙනහිරින් පිහිටි කඳවුරු දෙකට වඩා සැළකිය යුතු තරම් විශාලයි.“
එම වෙනසට හේතුව කුමක්ද යන්න පර්යේෂකයන්ට තවමත් විශ්වාස නැත. ඔවුන් පවසන්නේ විශාල කඳවුරේ සිටි හමුදාව කඳවුරු දෙකකට බෙදෙන්නට ඇති බවයි. ඒ නිසා පසුව තරමක් කුඩා කඳවුරු දෙකක් නිර්මාණය වන්නට ඇතැයි දැනට ඇති විශ්වාසයයි.
ඇතැම් විට ප්‍රධාන එනම් විශාල කඳවුරේ කොටසක් ඉතිරි වී සිටිමින් ඔවුන්ට ජලය, ආහාර සහ අවි ආයුධ සපයමින් කොටසක් ඉදිරයට ගමන් කරමින් තරමක් කුඩා කඳවුරු ගොඩනගන්නට ඇතැයි යන්න ද තවත් එක් මතයකි.
රෝමානු අධිරාජ්‍යය ගොඩනැගීම සහ ඔවුන්ගේ හමුදා ගැන දීර්ඝ කාලයක් අධ්‍යයනය කළ විශේෂඥයකු වන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මයික් බිෂොප් පවසන්නේ මෙම කඳවුරු ඉතාමත් ආකර්ශනීය සොයාගැනීමක් බවයි. එමෙන්ම එය වර්තමාන අරාබියේ රෝම ව්‍යාප්තිය පිළිබඳ වැදගත් සාක්ෂියක් බව ද හෙතෙම පෙන්වා දෙයි.
“මේ තාවකාලික කඳවුරුවලින් ඔවුන් යුද්ධ කළ ආකාරයත් රාජ්‍යයක් මුළුමනින් ම අල්ලාගත් ආකාරයත් හෙළි කරනවා. කඳවුරු අතර එක් දිනක දී පයින් යා නොැකි තරම් දුරක් තිබෙනවා. ඒ නිසා මේ කඳවුරු අතර ගමන් කිරීමට පාබළ හමුදාවකට වඩා අශ්වාරෝහක හමුදාවක් හෝ ඔටුවන් භාවිතා කරන හමුදාවක් සිටින්නට ඇතැයි කියා විශ්වාස කළ හැකියි.“ ඔහු පවසයි.
කෙසේ වෙතත් මෙම කඳවුරු අතර ඇති දුර ප්‍රමාණය අනුව බටහිර දෙසින් තවතත් කඳවුරක් පිහිටා ඇතැයි ද පර්යේෂකයන්ට සැකයක් පවතී.
නබටේන් රාජධානියේ අවසන් රජු දෙවන රබෙල් සෝටර්ගේ පාලනය අවසන් වූ ක්‍රිස්තු වර්ෂ 106 දී රාජධානිය රෝමයට සාමකාමී ලෙස ඈදාගත් බව මෙතෙක් තිබූ ඓතිහාසික මතය විය. නමුත් මේ කඳවුරුවලින් පෙනී යන්නේ එය එසේ නොවන බවයි. නබටේන් රාජධානිය ඈඳාගැනීම සඳහා රෝමය බිහිසුණු යුද්ධයක් කළ බවට මෙය ඉතාමත් හොඳ සාක්ෂියකි.
පර්යේෂණ කණ්ඩායමේ මහාචාර්ය ඇන්ඩෘෘ විල්සන් පවසන්නේ “එය සම්පූර්ණයෙන් ම සරල කටයුත්තක් විය නොහැකියි. මෙය රෝම රාජධානිය පුළුල් කිරීමට කළ ඉක්මන් ගමණක් විය හැකියි“ යනුවෙනි
ආචාර්ය ෆ්‍රැඩ්ලිගේ අදහස වන්නේ රෝම හමුදා නබටේන් දෙසට එතරම් ප්‍රසිද්ධ නැති මාර්ගයක් ඔස්සේ රහසිගතව ප්‍රවේශ වී ඇතැයි සිතිය හැකි බවයි.
“ඔවුන් ගමන් කළේ බයිර් සහ ඩුමට් අල්-ජන්ඩාල් සම්බන්ධ කරන පර්යන්ත තවලම් මාර්ගයක් දිගේ. මෙය ප්‍රහාරයට විස්මිත අංගයක් එක් කරමින් වාඩි සිරාන් හරහා වැඩිපුර භාවිත කරන මාර්ගය මඟ හැරීමේ උපාය මාර්ගයක් බව පෙනෙනවා. මේ භූ දර්ශන අපිව පුදුමයට පත්කළා.“ යැයි ද ඔහු වැඩිදුරටත් කියා තිබේ.
නබටේන් රාජධානිය ඈදා ගැනීමෙන් පසු රෝමය එය තම අධිරාජ්‍යෙය් එක් පළාතක් බවට පත්කරන ලදී. මෙලෙස ඒකාබද්ධ වීම එම කලාපය හරහා ගෙන ගිය වටිනා වෙළෙඳ භාණ්ඩ වඩාත් හොඳන් පාලනය කිරීමට සහ මැදපෙරදිග ඔවුන්ගේ බලපෑම තව තවත් ව්‍යාප්ත කිරීමට සහ තහවරු කරගැනීම රෝමවරුන්ට හැකියාව ලැබිණි.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් සිදුකර ඇති මෙම අධ්‍යනය Antiquity නම් ජාත්‍යන්තර සඟරාවේ පළකර තිබේ.