spot_img
spot_imgspot_img

අවුරුදු බබාලා නැති අලුත් අවුරුද්ද

පුවත්

විදෙස්

සජීව විජේවීර විසිනි

බක් මාසය සැණකෙළි මාසයයි. සූර්යයා ඇදහූ ආර්යයෝ සූර්ය දෙවියන් පුද දෙන්නට අවුරුදු උත්සවය මහ ඉහළින් සැමරූහ. බතින් බුලතින් සරු සාරවත් බක්මාසයේ අස්වනු කපා ගෙට ගන්නා ගොවියෝ අවුරුද්ද මහ ඉහළින් සමරති.

සිංහල බෞද්ධයන් මෙන්ම දෙමළ හින්දූන් ද එකට එක්ව සිරිලක අවුරුදු සමරන්නේ අපූරු සංහිදියාවකිනි. මිනිසුන් තම දිවි පෙවත පමණක් නොව ගෙදර දොර පවා අලුත් කරද්දී සොබාදම් දිනිතිය ද අවුරුදු අසිරියෙන් ඇලලී යන්නේ මිනිසුන්ගේ සිත්හි පවතින අවුරුදු අසිරියට සහය පලකරන්නට මෙනි.

කොහා

අවුරුදු ළඟ එන බව එදා ගැමියෝ පරිසරයේ වෙනස්කම් තුළින් දැන ගත්හ. මේ පණිවිඩය  මුලින් ම ගෙන එන්නේ කොහා නැමැති පක්ෂියාය. අවුරුදු ළඟ එන විට කොහාගේ නාදයෙන් මුළු ගමම ඇළලී යයි. එය සෞභාග්‍යයේ පණිවිඩයකැයි අතීත ගැමියෝ විශ්වාස කළහ.

පරපුටුවකු හෙවත් අනුන්ගේ කැදැල්ලක බිත්තර දමන පක්ෂියකු ලෙස ප‍්‍රකට කොහා හෙවත් කොවුලා මුළු වසර පුරාම ශ්‍රී ලංකාවේ වාසය කළ ද වෙනස් වූ කුංජනය නගන්නේ බක්මාසයේ දී පමණි. ඒ ඔවුන්ගේ ප‍්‍රජනන කාලයයි. තම සහකරු හෝ සහකාරිය කැඳවන මේ ශබ්දය මිනිසුන්ට අලුත් අවුරුදු පණිවිඩයකි.

ශ්‍රී ලංකාවේ කොවුලන් පිළිබඳ පර්යේෂණ කළ පාරිසරික නීතීඥ ආචාර්ය ජගත් ගුණවර්ධන පවසන්නේ සාමාන්‍යයෙන් ජෝඩු වශයෙන් ජීවත් වෙමින් ගස් අතු ඉති අතර සැරිසරන මේ ලජ්ජාශීලී පක්ෂියාගේ එම හඩ නිසාම මිනිසුන්ගේ ආදරයට පාත‍්‍රවූවකු බවයි.

කළු පැහැති පිරිමි සතාත් ශරීරය පුරා සුදු පැහැති පුල්ලි සහිත ගැහැණු සතාත් හේතුවෙන් ඇතැම් පිරිස් මේ සතුන් විශේෂ දෙකක් වශයෙන් හඳුන්වන අතර ගැහැණු සතාට මල්කොහා ලෙස වැරදියට හඳුන්වන අවස්ථාද ඇත. 

ඔවුන්ගේ චර්යා රටාව අනුව ප‍්‍රජනන කාලයේ දී ලාක්ෂණික කොවුල් නාදය නැගීම සාමාන්‍ය දෙයකි. වසරේ මුල් මාසයේ එනම් ජනවාරි මාසයේ ප‍්‍රජනන කාලය ආරම්භයත් සමග ඇසෙන්නට ගන්නා කොවුල් නාදය ක‍්‍රම ක‍්‍රමයෙන් තීව‍්‍ර වී කපුටාගේ ප‍්‍රජනන කාලයට සමපාතව වැඩිවෙමින් යයි. මාර්තු මස අවසානයේ සහ අප්‍රේල් මාසයේ වැඩිපුර ඇසෙන්නට ගන්නා කොවුල් නාදයේ උච්ඡතම අවස්ථාව එළඹෙන්නේ පුර සඳ පවතින දිනවල දී බව පර්යේෂණ වලින් අනාවරණය වී තිබේ.

අවුරුදු දින ආසන්නයේ අමාවක පොහොය යෙදී තිබුණහොත් එම අවුරුද්දේදී කොහාගේ කෑ ගැසීම අඩුවන බවද සොයාගෙන ඇත. අවුරුදු සමයේ සඳ ඇති පැහැදිලි අහසක් තිබුණහොත් එවැනි රාත්‍රියන්හි දී ද කොවුලා හඬ නගන අයුරු අසන්නට ලැබේ.

අතීතයේ කොවුලන් බහුලව සිටියේ ගම්මානයේ පමණි. නමුත් දැන් කොවුලෝ ගමෙන් ඈත්ව නගරයට සේන්දු වී ඇත. අදින් සියවස්  එකහමාරකට පමණ පෙරාතුව කොළඹ කාක්කාගේ කැදැල්ලේ බිත්තර නොදැමූ කොවුලෝ දැන් කොළඹ කාක්කාගේ කැදැල්ලේ ද බිත්තර දැමීමට පුරුදුව සිටිති.

ගම නාගරීකරණය වෙද්දී ගමේ කපුටන් කැදලි තැනූ උස් තුරු මුදුන් ක‍්‍රමයෙන් නැතිව ගොස් ඇත. ඒ හේතුවෙන්ම ගමේ කපුටන්ගේ කැදලි හැදෙන ස්ථාන අඩුවී තිබේ. මේ නිසා කොවුලෝ ද ගමෙන් ටික ටික ඈත්ව යමින් සිටිති.

ගමෙන් කොවුලා ඈත්ව ගිය ද නගරබදව සිටින කොළඹ කාක්කාගේ කැදැල්ලේ බිත්තර දැමීමට පුරුදුව සිටින බැවින් දැන් කොවුලෝ නගර බදව පවා දැකිය හැකි බව පර්යේෂකයන්ගේ මතයයි. මෙහි ප‍්‍රතිඵලය වී ඇත්තේ කොහාගේ ගහණ ඝනත්වය ද සීඝ‍්‍රයෙන් වැඩිවීමයි. වර්තමානයේ කොහා ශ්‍රී ලංකාවේ සුලබ පක්ෂියකු බවට පත්ව තිබේ.

කෝඳුරුවෝ

(ඡායාරූපය – https://www.facebook.com/profile.php?id=100067062198357 වෙතිනි.)

කොහා සේම අවුරුදු සමයේ ගැමි නිවෙස් වලට පැමිණෙන තවත් සත්ත්ව විශේෂයක් දක්නට ලැබුණි. ඒ ඉතා කුඩා කෝදුරුවෝය. නිවසේ එල්ලෙන නූලක, මකුණු දැලක හෝ දුමේ ඇති දුම්රොටු මත බුරුතු පිටින් එල්ලී සිටින කෝඳුරුවෝ අවුරුදු ළඟ එන බව මිනිසාට කියූ තවත් සත්ත්වයෙකි. ඒ මේ අත පියඹා යමින් විටෙක මිනිසුන්ට කරදරකාරී ලෙස හැසිරෙන මේ කුඩා කෘමි විශේෂය වෙනුවෙන් කැවුමක් වෙන් කර තැබීමට අපේ ගැමියෝ පුරුදුව සිටියහ.

එය අපේ පැරණි ගම්මානයන්හි සිරිතක් සේ සිදුකැරුණේ සොබා දහම සමග මිනිසාගේ තිබූ අපූරු සංහිදියාව පෙන්වමිනි.

මාර්තු මස අවසාන භාගයේ තෙත් සහිත දිරායන කොළරොඩු අතර බිත්තර දමන කෝඳුරුවන්ගේ පැටවු  බක් මාසයේ ලක්ෂ ගණන් බිහිවෙති. පැණි රසැති ආහාරයට ඇලූම් කරන නිසාම අවුරුදු සමයේ නිවෙස්හි ඇති කැවිලි වර්ග වලට ආකර්ශනය වන කෝඳුරුවා අද අතීතයේ තරම් දක්නට ලැබෙන සත්ත්ව විශේෂයක් නොවේ.

එරබදු

අවුරුදු ළඟ එද්දී මුළු මහත් පරිසරයම අලංකාරවත් කරන මල් විශේෂයයි එරබදු. ඇතැම් ප‍්‍රදේශවල එරමුදු ලෙස ද හඳුන්වන මේ ශාකය අලංකාර රතු පැහැති මල් පොකුරක් හටගන්නා බැවින් දිව්‍යලෝකයේ ඇති පරසතු ගස මේ එරබදුයැයි අතීත ගැමියෝ විශ්වාස කළහ. අළු පැහැති පොත්තත් තියුණු කටුවක් පිහිටීමත් හේතුවෙන් පහසුවෙන් හඳුනාගත හැකි එරබදු ශාකයේ පත‍්‍ර කොටස් තුනකට වෙන්ව තිබේ.

ශ්‍රී ලංකාවේ පහතරට වියළි කලාපයේත්, අතරමැදි කලාපයේත්, තෙත් කලාපයේත් දක්නට ලැබුණු එරබදු ගැමි නිවෙස්හි වැටට ඉන්දන ශාකයක් ලෙස පැවතින. නමුත් අදවනවිට එරබදු ගස බොහෝ ප‍්‍රදේශවලින් සමුගනිමින් තිබේ. නිවෙස් වටා වැටක් වෙනුවට තාප්පයක් ඉදිවීම එරබදු ශාකය සමුගැනීමට ප‍්‍රබල හෙතුවක් වී ඇත.

එරබදු ශාකය ඖෂධීය වටිනාකමක් සහිතය. ළමුන්ගේ පණු රෝග සඳහා මෙහි පත‍්‍රවලින් සාදාගන්නා මැල්ලූම දිව ඔසුවක් බව දේශීය වෛද්‍ය ක්‍රමයේ පිළිගැනීමයි. මේ මැල්ලූම කිරිදෙන මව්වරුන්ට දීමෙන් හොදින් කිරි එරෙන බවට ද විශ්වාසයක් පැවතිණි. . ස්ත්‍රීන්ගේ ඔසප් කාලයේදී උදරයේ ඇතිවන වේදනාව සමනයට ද එරබදු මැල්ලූම ගුණදායකය.

දනිස් අමාරුවට බඳින බෙහෙත් සඳහා එරබදු පොතු යොදාගන්නා බව ද පතපොතේ සඳහන්වේ. එරබදු මල් පිපෙන්නේ බක් මාසයේ බැවින් රත් පැහැති එරබදුමල අවුරුදු සමයේ තවත් එක් සංකේතයකි.

අවුරුදු බබා

අවුරුදු සමයේ නිවෙසට පැමිණෙන තවත් අපූරු සත්ත්වයකු දකුණේ ගැමියෝ හැදින්වූයේ අවුරුදු බබා යනුවෙනි. අවුරුදු බබා කුරුමිණි විශේෂයකි. දැන් අවුරුදු බබාලා අවුරුදු සමයේ නිවසකට එන්නේ ඉතා පිටිසර ප‍්‍රදේශවල පමණි. නගරයේ නිවෙස් වල පදිංචි කරුවෝ මේ අවුරුදු බබාලා කවදාවත් දැක නැතුවාට සැකයක් නැත.

නිවසේ ලාම්පුව වටා අවුරුදු බබාලා දෙතුන් දෙනකු රොක්වන විට දකුණේ ගැමියෝ අවුරුදු සමය ලග එන බව දැනගත්හ. අවුරුදු බබා යනු ගොම කුරුමිණි විශේෂයකි. ගොම කුරුමිණියා සතුන්ගේ අසූචි වලට ප්‍රියකරති. ගොම ගොඩක බිත්තරයක් දමන ගොම කුරුමිණියා ඒ බිත්තරය මැදි කොට ගොම බෝලයක් සාදා ආරක්ෂිත ස්ථානයකට පෙරලාගෙන ගොස් තැන්පත් කරන්නේ තම පැටවා බිහිවන්නට සුදුසු පරිසරයක් ලබාදෙමිනි. ගොම කුරුමිණියාගේ කීටයාට ආරක්ෂාවත් ආහාරයත් ඒ ගොම බෝලයෙන් ලැබේ.

අතීත ගැමි නිවස අවුරුදු සමයට අළුත් කරන්නේ ගොම මැටි ගැමෙනි. එදා එළිපත්තේ පටන් මුළුතැන්ගේ දක්වා ගොම මැටි ගෑ නිවසේ අද ගොම මැටි ගාන්නේ නැත. අවුරුද්දට සති කිහිපයකට පෙර නිවසේ ගොම මැටි ගෑ විට ගොම වලට ආකර්ශනයක් දක්වන ගොම කුරුමිණියෝ නිවසට ඒම අරුමයක් නොවේ. ගොමවලට ආකර්ශනය වී පැමිණිය ද ඉන් අනතුරුව ඔවුහු නිවසේ ලාම්පුවේ ආලෝකය සොයා යයි.

කුරුමිණියා නිවසට එන්නේ අවුරුද්දට තම නිවසේ ගොම මැටි ගෑම හේතුවෙන් බව නොදත් ගැමියෝ සිතුවේ අවුරුදු පණිවිඩය අරගෙන මේ කුරුමිණියා පැමිණෙන බවයි. ඒ නිසාම ඒ සත්ත්වයා අවුරුදු බබා ලෙස හඳුන්වන්නට ඔවුහු පුරුදු වූහ. අද නිවෙස්හි ගොම මැටි නොගාන  බැවින් අවුරුදු බබලා එන්නේ නැත.

සතුන් මෙන්ම ශාක පවා සිංහල හින්දු අළුත් අවුරුද්දේ අපූරු සංකේතයක් වූයේ ඒ ආකාරයෙනි. එහෙත් අද මේ සංකේත අප අතරින් ඈත්ව යමින් තිබේ. සොබාදහම හා බැඳි බක් මහේ මහා මංගල්‍යය පරිසර හිතකාමී කර ගැනීම මිනිස් පරපුරට භාර කාර්යයකි.

කරුණු සපයාදීමේදී සහ වූ : පාරිසරික නීතීඥ ආචාර්ය ජගත් ගුණවර්ධනට සහ ජාතික කෞතුකාගාරයේ විශ‍්‍රාමලත් කීට විද්‍යාඥ සහ සත්ත්ව විද්‍යා උපදේශක ලක්ෂ්මන් වීරතුංගට අපගේ විශේෂ ස්තූතිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!