-2.5 C
New York

“දුප්පතුන්ට කන්න නෑ. සමෘද්ධි අවුරුදු උත්සවයට කෝටි 08ක්”

Published:

සමෘද්ධි සංවර්ධන බැංකු අලුත් අවුරුදු සැමරීම සඳහා රුපියල් කෝටි 08ක මුදලක් වැය කරන බවට සමෘද්ධි වෘත්තීය සමිති ඒකමුතුව චෝදනා කරයි.

ශ්‍රී ලංකාවේ සමෘද්ධි බැංකු 1089ක් ඇත. ඒ සෑම බැංකුවකට ම අලුත් අවුරුදු ක්‍රීඩා උත්සවයක් සංවිධානය කරන්න යැයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් උපදෙස් ලබා දී ඇති අතර එක් බැංකුවක් වෙනුවෙන් එම කාර්යයට රුපියල් 75,000.00 බැගින් වෙන්කර තිබේ.

සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුවේ ජාතික සංවිධායක චාමර මද්දුමකළුගේ පවසන්නේ රටේ ආර්ථිකය කඩා වැටී දුප්පත් ජනතාවට කන්න අඳින්න නැති තත්වයක් පවතිද්දී සමෘද්ධි බැංකුව මෙවැනි බාල් නැටීමකට රුපියල් කෝටි 08ක් වෙන් කිරීම තරයේ හෙලාදකින බවයි.

ඔහු මෙසේ ද පවසයි.

“අවුරුදු උත්සවය පවත්වන්න වෙන්කර තිබෙන රුපියල් ‍කෝටි 08ක මුදලින් සමෘද්ධි ලාභීන්ට යම් කිසි සහනයක් ලබාදිය හැකියි. සල්ලි  නෑ කියලා සමෘද්ධි නිලධාරීන්ට හිමි දීමනා ලබාදෙන්නේ නැහැ. ගමන් වියදම් ගෙවන්නේත් නැහැ. උසස්වීම් ප්‍රමාද කරනවා. නමුත් අවුරුදු උත්සව පවත්වන්න දෙපාර්තමේන්තුව නිස්කාර‍ණයේ මුදල් වියදම් කරනවා. මේ වැඩකට නැති වැඩ නිසා අපි සංගමයක් විදියට තීරණයක් අරගෙන තිබෙනවා, රටපුරා සමෘද්ධි බඅංකු අලුත් අවුරුදු නැකතට ගනුදෙනු කිරීම සඳහා 15 වැනි දා විවෘත නොකිරීමට, ඒ වගේම දෙපාර්තමේන්තුව පවසන විදියට ක්‍රීඩා උත්සව සංවිධානය නොකිරීමටත් අලුත් අවුරුද්දේ අනිවාර්ය ඉතුරුම් වැඩසටහන නොකිරීමටත් අපි තීරණය කළා.”

සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමය සහ සමෘද්ධි නිලධාරීන්ගේ වෘත්තීය සමිති 10ක් සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුවට සම්බන්ධ වී සිටින බවත්, මෙය සියලුම සංගම්වල තීරණයක් බවත් මද්දුමකළුගේ වැඩිදුරටත් කීවේය.

Related articles

Recent articles

spot_img