1.4 C
New York

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් භූමිකම්පා මාලාවක්

Published:

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් ඉන්දියන් සාගරයේ අද (09) සවස එක දිගට භූමිකම්පා මාලාවක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය පවසයි.

ඊයේ (08) රාත්‍රී  භූමිකම්පා 06ක් සිදුව ඇති අතර සුමාත්‍රා දූපතේ ‍ගොඩබිම ද භූමිකම්පාවක් සිදුව ඇත. ඉන්දුනීසියාවේ උථුරු සුමාත්‍රාහි රිච්ටර් මාපකයේ ඒකක 4.4ක භූමිකම්පාවක් සිදුව ඇති අතර එහි අපිකේන්ද්‍රය පොළොව මතුපිට සිට කිලෝ මීටර 159ක් ගැඹුරින් පිහිටා තිබිණි. එම භූමිකම්පාව රාත්‍රී 9.10ට සිදුව තිබිණි.

එම භූමිකම්පාවෙන් පසු එම භූ තැටි මායිමේ ම නේපාලයේ ලොබුජ්යා ප්‍රදේශයට කිලෝ මීටර 87ක් උතුරින් රිච්ටර් මාපකයේ ඒකක 4.3ක භූමිකම්පාවක් සිදුවිය. එම භූමිකම්පාව සිදුවන විට ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ (08) රාත්‍රී 10.21ට සිදුව තිබේ. එහි අපි කේන්ද්‍රය පිහිටා ඇත්තේ පොළොව මට්ටමේ සිට කිලෝ මීටර 57.3ක් ගැඹුරිනි.

එම භූමිකම්පා දෙකෙන් පසු ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් ඉන්දියන් සාගරයේ නිකොබාර් දූපත් අසළ එක දිගට භූමිකම්පා 06ක් සිදුව තිබේ.

ශ්‍රී ලංකා වේලාවන් සවස 1.16ට රිච්ටර් මාපකයේ ඒකක 5.4ක භූමිකම්පාවක් සිදුව ඇති අතර එහි අපිකේන්ද්‍රය මුහුදු මට්ටමේ සිට කිලෝ මීටර 10ක් ගැඹුරින් පිහිටා ඇත

සවස 2.55ට දෙවැනි භූමිකම්පාව රිච්ටර් මාපකයේ 4.4ක් ලෙස සටහන් වූ අතර එහි අපි කේන්ද්‍රය මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 10ක් ගැඹුරින් පිහිටා ඇත.

සවස 2.59ට තුන්වැනි භූමිකම්පාව සිදුව ඇති අතර එහි විශාලත්වය සටහන්ව ඇත්තේ රිච්ටර් මාපකයේ ඒකක 4.6ක් ලෙසිනි. අපි කේන්ද්‍රය පිහිටා ඇත්තේ මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 10.5ක් ගැඹුරිනි.

සවස 4.01ට සිව්වැනි භූමිකම්පාව රිච්ටර් මාපකයේ ඒකක 5.5ක් ලෙස සටහන් වූ අතර එහි අපි කේන්ද්‍රය මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 10ක් ගැඹුරින් පිහිටා ඇත. සවස 5.47ට රිච්ටර් මාපකයේ 5.6ක භූමිකම්පාවක් සිදුව ඇති අතර එහි අපි කේන්ද්‍රය මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 10ක් ගැඹුරින් පිහිටා තිබිණි. සවස 6.17ට රිච්ටර් මාපකයේ 4.4ක භූමිකම්පාවක් සිදුව ඇති අතර එහි අපිකේන්ද්‍රය පිහිටියේ කිලෝ මීටර 10.3ක් ගැඹුරිනි.

මෙම භූමිකම්පා 06 ම සිදුව ඇත්තේ නිකොබාර් දූපත් අසළ එකිනෙකට ආසන්න දුරිකින් වීම ද විශේෂත්වයකි. එමෙන්ම ඒවායේ අපි කේන්ද්‍ර මුහුදු පත්ලේ සිට අඩු දුරකින් පිහිටා තිබේ.

ශ්‍රී ලංකාව ද පිහිටි ඉන්දු ඕස්ට්‍රේලියා භූතැටියේ නැගෙනහිර මායිමේ මේ භූමිකම්පා සිදුව ඇති බැවින් ඉදිරි දින කිහිපයේ දී ද එම ස්ථානයේ තවදුරටත් භූමිකම්පා සිදුවන්නේ ද යන්න පිළිබඳ අවධානයෙන් පසුවීම ශ්‍රී ලංකාවට අවශ්‍ය වනු ඇත.

මෙම ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ 7.0කට වැඩි අගයක් ගන්නා භූමිකම්පාවක් මුහුදු පත්ලේ සිට අඩු ගැඹුරකින් සිදු වුවහොත්, එහි කම්පන තරංග ඇතිවන්නේ සිරස් අතට නම් සුනාමි අවදානමක් ඇතිවීමට ඉඩ ඇත.

Related articles

Recent articles

spot_img