(සජීව විජේවීර)
කල්පිටිය අර්ධද්වීපයේ පිහිටි අල්ලිරාණී මාළිගාව ලෙස හඳුන්වන ඓතිහාසික භූමියක් ඩෝසර් කර ඇතැයි ප්‍රදේශවාසීහු කියති. වර්තමානයේ එය අල්ලිරාණී මාළිගාව ලෙස හැඳින්වුව ද හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයකු වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසා ඇත්තේ මේ භූමිය අතීතයේ මිහින්තලා පුද බිමට පූජා කරන ලද විහාරස්ථානයක් පිහිටි ස්ථානයක් බවයි.
අල්ලිරාණී යනු කුවේණියගේ නැගණියක් බවත් ඇයගේ මාළිගාව මේ ස්ථානයේ තිබෙන බවත් ඇතැමුන්ගේ විශ්වාසයයි. කෙසේ වෙතත් දැන් මේ භූමියේ කොටසක් ඩෝසර් කර දමා ඇත. ඒ පොල් වගා කිරීමට බව ප්‍රදේශවාසීහු කියති.
මෙම ස්ථානය පිහිටා ඇත්තේ කල්පිටිය අර්ධද්වීපයේ පල්ලිවාසල්තුරෙයි වේල්ලත්තර ප්‍රදේශයේය.
එම ස්ථානය පිළිබඳ පර්යේෂණ කළ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය එම්.ඩබ්ලිව්.විමල් විජේරත්න පවසන්නේ ඔහු මෙම භූමියේ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදුකරන විට කුහර සාදන ලද විශාල ගල්කුට්ටි 19ක් දක්නට ලැබුණු බවයි. ඒවා අද නටඹුන් වී ඇති ගොඩනැගිලිවල වහළ දරා සිටි ලී කණු හෝ ගොඩනැගිලිවන උළුඅහු පාදම් හෝ විය හැකි බව ඔහුගේ මතයයි.
එමෙන් ම මහාචාර්ය විජේරත්න පවසන්නේ එම ස්ථානයේ ගල් ඔරුවක් නෂ්ඨාවශේෂ අතර තිබූ බවයි. එම ස්ථානයේ තිබූ ආසන ඝරයක් වැනි ගල් ලෑල්ලක් 1970-1980 අතර කාලයේ දි කිසියම් පිරිසක් විසින් රැගෙන ගොස් ඇතැයි ද ඔහුට ප්‍රදේශවාසීන් විසින් තොරතුරු ලබා දී ඇත. එය ඇතැම්විට ශිලා ලේඛනයක් විය හැකි බව ද මහාචාර්ය වරයා කීවේය.
“මම මේ ස්ථානයට යනවිට එතැන සමචතුරශ්‍රාකාර ගොඩනැගිලි තුනක හා ආයත චතුරශ්‍රාකාර ගොඩනැගිලි තුනක නටඹුන් තිබුණා. එ් වගේ ම සෑම ස්ථානයක ම ගඩොල් කැට, උළුකැට, මැටි භාජනවල කොටස් සහ බදාම කොටස් දක්නට ලැබුණා. මේ ස්ථානයේ තඹ මුට්ටි හමුවූ බවත් අස්ථි කොටස් තිබූ මුට්ටි හමුවූ බවත් ප්‍රදේශවාසීන් කියනවා. විශාල වශයෙන් කාසි හමුවී තිබෙනවා. මටත් කාසි තුනක් ලැබුණා. ඉන් එකක් ක්‍රිස්තු වර්ෂ 1200-1202 කාලයට අයත් සාහසමල්ල රජුගේ කාසියක්. තවත් කාසියක් පළමුවෙනි බුවනෙකබාහු රජුගේ කාලයේ ක්‍රිස්තු වර්ෂ 1273-1284 කාලයට අයත් අඩ මස්සක්. අනෙක හඳුනාගත නොහැකි විදේශීය කාසියක්. මේ ස්ථානය විශාල අතීතයක් තියෙනවා.” මහාචාර්ය විජේරත්න කීවේය.
මහාදාඨික මහානාග රජුගේ ක්‍රි.ව. 09-21 මිහින්තලා ගිරි ලිපියේ සඳන් වන පරිදි “අතරහමුද” දිස්ත්‍රික්කයේ වූ පොල් වත්තක් මිහින්තලේට පූජා කර තිබේ. මේ අතරහමුද යන්න පාළි බසින් අන්තරසමුද්ද යන්න විය හැකි බව මහාචාර්ය පරණවිතාන කියයි.
සමන්තපාසාදික නම් විනයට්ඨකථාවේ සඳහන් පරිදි භාතික තිස්ස රජු කල ක්‍රිස්තු පූර්ව 19 – ක්‍රිස්තු වර්ෂ 09 කාලයේ දී අන්තරසමුද්ද විහාරවාසී භික්ෂූන් දෙනමක් මිහින්තලයට පැමිණි අයුරුත් පොල් ගෙඩියකින් කළ පැන් තලියක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් නිරාකරණය කළ අයුරුත් දක්වා ඇත.
එවකට අන්තරසමුද්ද ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පොල් වගා කර තිබිණි අන්තරසමුද්ද යන්නේ මුහුදු අතර යන්නයි. මුහුදු අතර පිහිටි අන්තරසමුද්ද යනු කල්පටිය අර්ධද්වීපය බව පරණවිතාන කියයි.
භාතික තිස්ස රජු ක්‍රි.පූ 19- 09 කාලයේ ද මෙම ප්‍රදේශයේ පොල් සරුවට වැවෙන්නට ඇත. ඔහුගේ කණිටු සොයූරු මාදාඨික මහානාග රජු ක්‍රිස්තු වර්ෂ 09-21 මිහින්තලා ගිරි ලිපියෙන් කියවන පරිදි මිහින්තලේ ට “අතරහමුද” දිස්ත්‍රික්කයේ පොල්වත්තක් පූජා කර ඇත්තේ මේ ප්‍රදේශයෙන් යැයි යන්න සෙනරත් පරණවිතානගේ මතයයි. එම ප්‍රදේශයේ කරවූ විහාරස්තානය අන්තරසමුද්ද විහාරස්ථානය බව ද මහාචාර්ය සෙනරත් පරණවිතානගේ මතය බව මහාචර්ය විමල් විජේරත්න පවසයි.
අන්තරසමුද්ද විහාරය හා මිහින්තලේ අතර කාලයක් පුරා සමීප සම්බන්ධතාවක් පැවැතිණි. ආරම්භයේ දී මිහින්තලය මහාවිහාරික භික්ෂූණගේ මධ්‍යස්ථානයක් වුව ද පසුකාලීනව එය මහාවානික භික්ෂූන්ගේ ආරමායක්ව පැවති බව පැහැදිලිය. සිව්වන මිහිඳු රජු ක්‍රි.ව. 956-972 මිහින්තලේ අවලෝකිතේශ්වර බෝධි සත්ත්වයන් උදෙසා ප්‍රතිමා ගෘහයක් ද එතුමාගේ බිස ව වූ තාරා දේවිය උදෙසා ප්‍රතිමා ගෘහයක් ද කරවූ බව සඳහන් වෙයි. අන්තරසමුද්ද විහාරය මිහින්තලය හා සම්බන්ධව පැවතුනේ නම් මේ වෙනස් කම් අන්තරසමුද්ද විහාරයට ද පිවිසනේනට ඇතැයි විශ්වාසයක් පවතී. එහි ද අවලෝකිතේශ්වර බෝධිසත්වන් හා තාරාදේවිය උදෙසා පිළිම ගෙවල් ඉඳිවන්නට ඇත.
කල්පිටියේ මේ නටබුන් ස්ථානය පසුකාලයක එනම් 1930 දශකයේ දී ඇඳි පිඹුරු පත්වල දැක්වෙන්නේ Ruins of the palace of queen Allia යනුවෙනි. තාරා දේවිය ගේ ප්‍රතිමා මන්දිය තිබූ බැවින් පසු කළෙක් ඇති වූ මුඛ පරම්මපාරගත කතාවකින් අවශේස වූ ව්‍යවහාරයක් පදනම් කරගෙන මේ ස්ථානයේ රැජිනකගේ මාළිගාවක් තිබෙන්නට ඇතැයි සැළකෙන්නට ඇත. තාරාදේවියට ‘මණිපද්ම’ (මණිනාල් දේවදූ) යන්නේ පද්ම යන වදනේ දෙමළ වචනය ‘අල්ලියා’ යන්නයි. පසුව මේ පද්ම යන්න අලිලරාණී ලෙස වහරට එන්න ඇත. අල්ලි රාණී යනු කුවේණියගේ නැගනිය බවත් ඇයගේ මාළිගාවක් මේ ස්ථානයේ තිබෙන්නට ඇති බවටත් විශ්වාස ගොඩනැගෙන්නට ඇත්තේ ඒ ආකාරයෙනි.
මේ ස්ථානයේ දින ගණනක් ගවේෂණ කටයුතු සිදුකළ මහාචාර්ය විමල් විජේරත්න, මහාචාර්ය සෙනරත් පරණවිතානගේ මතය සනාථ කරමින් පවසන්නේ කල්පිටියේ ගෙංගේ නමැති විල අසළ භූමියේ පිහිටා ඇත්තේ අල්ලිරාණී මාළිගාවක් නොව මිහින්තලා පුදබිමට පූජා කළ පොල්වත්තේ පිහිටි අන්තරසමුද්ද විහාරය බවයි.
අද මේ භූමිය ඩෝසර් කර ඇත. කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් ජනතා විශ්වාසයන් අනුව කුවේණිගේ නැගණියගේ මළිගාව යැයි ව්‍යවහාරයට එක්වූ බොදු පුදබිම කෙරෙහි කඩිනම් අවධානයක් යොමු නොවුනහොත් එය සදාකාලිකව ම වැනසී යනු ඇත.
ගෙංගේ විල අසළ මේ නටඹුන් සහිත භූමිය ඉංග්‍රීසි පාලන කාලයේ දි මැනුම් කටයුතු කර අක්කර 03 රූඩ් 03යි පර්චස් 39ක් පුරාවස්තු සහිත භූමියක් ලෙස වෙන්කර ඇතත් එම ප්‍රදේශයේ ලූනු වගාව බහුලව සිදුකෙරිණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පුරවිද්‍යා ස්මාරක සහිත භූමියක් ලෙස නම් කර තිබුණ ද ඔවුන් ද මෙය හඳුන්වන්නේ අල්ලිරාණී මාළිගාව යනුවෙනි. එතැන ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳ කිසිදු ගවේෂණයක් මෙතෙක් සිදුකර නැත. නටඹුන් පවතින ස්ථානය බැකෝ යන්ත්‍ර යොදා ඩෝසර් කර ඇති බව දැනගත් වහාම කල්පිටිය සහකාර ප්‍රාදේශීය ලේකම් මධුෂිකා ප්‍රනාන්දු එම ස්ථානයට ගොස් එම කාර්යය නවතා දැමීමට කටයුතු කර තිබේ. ඇය පවසන්නේ මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකරන බවයි.