ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව කටයුතු කරන පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර අවස්ථා ගණනාවක් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලැබී ඇතත් මෙරට ආර්ථිකය දිගින් දිගටම කඩා වැටීමට ලක්ව ඇති බව Factseeker විසින් සිදුකරන ලද සොයා බැලීමක දී අනාවරණය වී තිබේ.
1965-1966 දී ශ්‍රී ලංකාව ප්‍රථම වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත එළඹෙන විට රටේ උද්ධමනය සාමාන්‍යයෙන් 0.11 %ක් වූ අතර 1979-1981 දී එය 18.28% ක් විය. 1983-1984 දී 15.31%, 1988-1991 දී 14.81%, 1991-1995 දී 10.28% සහ 2003-2006 දී 8.88%. යුද්ධය අවසන් වූ 2009 සිට 2012 දක්වා කාලය තුළ රටේ උද්ධමන අනුපාතය 5.98% කි. කෙසේ වෙතත්, 2019 වසර තුළ රටේ උද්ධමනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. එය 7.29%ක් ලෙස සටහන්ව තිබිණි. මහ බැංකුවේ අවසන් නිවේදනයට අනුව 2023 වසරේ පෙබරවාරි මාසයේ දී රටේ උද්ධමනය 50.10% ලෙස සටහන් වී තිබේ.
මෙලෙස රටේ උද්ධමනය 1965-1966 දී 0.11%% සිට 2023 පෙබරවාරි වනවිට 50.10% දක්වා වර්ධනය වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලැබී තිබිය දී වීම නැවත විමසා බැලිය යුතු කරුණකි. 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලැබෙන විට ගත වූ වසර 54ක කාලයෙන් වසර 28ක් ම මෙරට දේශපාලකයන් විසින් ශ්‍රී ලංකාව පාලනය කර තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් ගත වී සිටිය දී ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටක ආර්ථිකය ගොඩනැගීම සඳහා උදව් කරන ආකාර හතක් තිබේ.
- Standby Arrangements (SBA) සමීපස්ථ ණය පහසුකම්
රටේ මූල්‍ය කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය සහ ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීම හරහා ආර්ථික කටයුතු නැවත විධිමත් කරන බවට ණය ලබාගන්නා රට විසින් පොරොන්දු ඉදිරිපත් කර එම කටයුතුවලට දක්වන කැපවීම මත පදනම් ව ණය මුදල් ලබාදෙන වැඩසටහනකි.
2. Extended Fund Facility (EFF) විස්තීර්ණ ණය පහසුකම
රට ඇතුළට එන මුදල් සහ රටින් පිටතට යන මුදල් මධ්‍යකාලීනව සමතුලිත කරගන්නට යම් රටකට නොහැකි අවස්ථාවක අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය ලබාගත හැකි වැඩසටහන මේ නමින් හැඳින්වේ. මෙම වැඩසටහන මගින් ලබාදෙන ණය මුදල නැවත ගෙවීමට දීර්ඝ කාලයක් (වසර 10ක් පමණ) හිමිවීම ණය ලබාගන්නා රටට ලැබෙන විශාල වරප්‍රසාදයක් ලෙස සැළකේ.
3. Structural Adjustment Facility Commitment (SAFC) ව්‍යුහාත්මක ගැලපුම් පහසුකම
රටක ආර්ථිකය අර්බුදයකට ලක්වී ඇති අවස්ථාවක ඉතුරුම් පොලී ඉහළ නැංවීම, මූල්‍ය සුරක්ෂිතතාව තහවරු කිරීම, වෙළෙඳ පොළ නිදහස් කිරීම, රාජ්‍ය මැදිහත්වීම අවම කර වෙළෙඳපොළ වඩාත් කාර්යක්ෂම කිරීම, රජයේ වියදම් කපාහැර ආදායම් එකතුකර ගැනීමේ ක්‍රියාවලිය සංවර්ධනය කිරීම, රටෙන් බැහැරව පවතින සම්පත් භාවිතයට යොදා ගැනීම යන ප්‍රධාන කරුණු සැළකිල්ලට ගනිමින් ණය මුදල් ලබා දෙන වැඩසටහනකි.
4. Extended Credit Facility (ECF) විස්තීර්ණ වගකීම් පහසුකම
රට තුළට එන මුදල් සහ රටින් පිටතට යන මුදල් සමතුලිත කරගැනීමට නොහැකිව යම් රටක් දීර්ඝකාලීන ව දැඩි අර්බුදයකට මුහුණ පා සිටින්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත හැකි වැඩසටහන විස්තීරණ වගකීම් පහසුකම ලෙස හැඳින්වේ. මෙම ක්‍රමයට ලබාගන්නා ණය පහසුකම් වසර 05ක් ඇතුළත ගෙවිය යුතුය.
ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදලෙන් පළමු ණය ලබාගත් 1965 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා ගත වූ වසර 54ක කාලයේ දී මේ සියලු ම ආකාරයේ ණය ශ්‍රී ලංකාවට ලැබී තිබේ. ඒ 16 වතාවක දී ය. 2023 වර්ෂයේ පසුගිය දා ලැබුණු ණය පහසුකම 17 වැනි වතාවට ලැබුණු පහසුකමකි.
Standby Arrangements (SBA) සමීපස්ථ ණය පහසුකම් ශ්‍රී ලංකාවට අවස්ථා 10ක දී ලැබී ඇත. නමුත් එම ක්‍රියාවලිය ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කර ඇත්තේ 07 වතාවක් පමණි. අවස්ථා 03ක දී එම ක්‍රියාවලිය සම්පූර්ණ කර නැත. සාර්ථකත්වය 70%කි.
Extended Fund Facility (EFF) විස්තීර්ණ ණය පහසුකම ශ්‍රී ලංකාව වෙත මීට පෙර අවස්ථා තුනක දී ලැබී ඇත. එම අවස්ථා තුනෙන් එක් අවස්ථාවක දී පමණක් වැඩසටහන සම්පූර්ණ කර ඇති අතර අවස්ථා දෙකක්ම එය සම්පූර්ණ කර නැත.විස්තීරණ ණය පහසුකම සම්පූර්ණ කිරීමේ සාර්ථකත්වය 33%ක් වැනි ඉතා පහළ මට්ටමක පසුවෙයි. මෙවර 2023 වර්ෂයේ දී ද ශ්‍රී ලංකාවවට ලැබී ඇත්තේ විස්තීරණ ණය පහසුකමක් වන අතර ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවට ලැබී ඇති විස්තීරණ ණය පහසුකම් සංඛ්‍යාව 04ක් දක්වා ඉහළ යයි. මෙවර ලැබී ඇති විස්තීරණ ණය පහසුකම සාර්ථකව අවසන් කරනු ඇත්ද යන්න පිළිබඳ පූර්ව නිගමනවලට එළැඹීමට හැකියාවක් නැත.
Structural Adjustment Facility Commitment (SAFC) ව්‍යුහාත්මක ගැලපුම් පහසුකම ශ්‍රී ලංකාවට එක් අවස්ථාවක දී ලැබී ඇති අතර එය සම්පූර්ණ කර ඇත. සාර්ථකත්වය 100%කි.
Extended Credit Facility (ECF) විස්තීර්ණ වගකීම් පහසුකම ශ්‍රී ලංකාව විසින් අවස්ථා දෙකක දී ලබාගෙන තිබේ. එම අවස්ථා දෙකේ දී ම එම පහසුකම සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාව සමත්ව නැත. සාර්ථකත්වය 00%කි.
මෙයින් පෙනී යන්නේ ශ්‍රී ලංකාව මීට ඉහත අවස්ථා 16ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලබාගෙන ඇතත් ඉන් සම්පූර්ණ කර ඇත්තේ 09ක් පමණක් බවයි. ණය පහසුකම් 07ක් සම්පූර්ණ කර නැත. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමේ දී ශ්‍රී ලංකාවේ සාර්ථත්වය 56% කි.
1980 වර්ෂයේ සිට 2015 දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ණය ගිවිසුම් 763කට එළැඹ තිබේ. ඉන් ණය ගිවිසුම් 512ක් ම අතහැර දමා ඇත. එලෙස අතහැර දමන ලද ගිවිසුම්වලින් 291ක් ම නැවත සාකච්ඡාවකට හෝ ලක්කර නැත. එයින් පෙනී යන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළැඹ ඇති ණය ගිවිසුම් අතරින් 38%ක්ම අතහැර දැමීමට කටයුතු කර ඇති බවයි. publicfinance.lk
මේ කරුණු විශ්ලේෂණයෙන් පෙනී යන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම් ලබාගන්නා ශ්‍රී ලංකාව එයින් සාධනීය ප්‍රතිඵල අත්කර ගැනීම ඉතාමත් අවම මට්ටමක පවතින බවයි. ජාත්‍යන්තර අරමුදලේ ණය පහසුකම් ලැබුණු විට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කරගත හැකිනම් පසුගිය වසර 54 කාලයක් 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම් ලබා ගැනීමෙන් ශ්‍රී ලංකාවට එම තත්වය ළඟා කරගත හැකිව තිබිය යුතුය.
ඇතැම් දේශපාලකයන් පවසන්නේ ජාත්‍යන්තර අරමුදලේ පහසුකම් ලබා නොගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වූ බවයි. නමුත් 2019 වර්ෂයේ දී ද ශ්‍රී ලංකාවට එම පහසුකම් ලැබී තිබිණි.
ඒ පිළිබඳව Factseeker සමග අදහස් දැක්වා ඇති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මෙසේ පවසා තිබිණි.
“2020දී මම මුලින්ම බල කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණයක් ඉල්ලන්න කියලා. ඒ කාලේ ඩොලරයක අගය රුපියල් 200.00යි, පොලී අනුපාතය 6%යි, උද්ධමනය 5-6% අතර ගාණක්. එදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගියා නම් දැන් තිබෙන තත්ත්වය මඟහරවා ගන්න තිබුණා. නමුත් අද තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. අද ඩොලරයක අගය රුපියල් 324.00ක්, පොළී අනුපාතය 35%ක්, උද්ධමනය 50-60% අතර. රටක් ලෙස අපි කඩාවැටෙන තත්ත්වයකට පැමිණ තිබෙනවා. ලංකාව ගැන විශ්වාසය නැතිවෙලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිටෙන් තොරව අපට ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කළ නොහැකි අතර ඒ හා සමානව අපට ජාත්‍යන්තරය සොයා යා හැක්කේ ඔවුන්ගේ පොරොන්දුවලින් පමණයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම රට සංවර්ධන මාවතට ගෙන යාමේ යාන්ත්‍රණයක් නොවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වත්මන් සහයෝගීතාවය ලංකාවේ දියේ ගිලෙන මිනිසෙකු බේරා ගැනීමට දුන් බටයක් වගේ. අපි මේක අල්ලාගෙන ජීවිත බේරගන්න උත්සාහ කළ යුතුයි. 2020 දී බලයට පත් වූ ආණ්ඩුවේ වැරදි තීරණ සහ ප්‍රතිපත්ති නිසා රටේ මේ තත්ත්වය ඇති වෙලා තියෙනවා. 2020 දී එවකට පැවති රජයේ බදු ප්‍රතිපත්තියේ දැවැන්ත වැරදි සිදු වුනා. ඔවුන්ට බදු සහන ද ලබා දුන්නා. පොහොර ආනයනයේදී ගත් වැරදි තීරණ රටේ ආර්ථිකයට දැඩි පහරක් එල්ල කර තිබෙනවා. ජාතික ආදායමත් සම්පූර්ණයෙන්ම විනාශ කළා. රුපියලට සාපේක්ෂව පොලී අනුපාතය සහ ඩොලරයේ අගය නිසි ලෙස හසුරුවා ගත්තේ නැහැ.”
‘වෙරිටේ රිසර්ච්’ හි විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් පවසන්නේ, දීර්ඝ කාලයක සිට සිදුවෙමින් පවතින සැලසුම් සහගත දූෂණ හා අපරාධ, ශ්‍රී ලංකාවේ වත්මන් ණය සහ ආර්ථික අර්බුදයට දායක වී ඇති බවයි.
“මේ ආර්ථික අර්බුදයට ප්‍රධානම හේතුව තමයි දූෂිත පාලනය. කෙසේ වෙතත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කර ගන්නා කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම හරහා මෙම අර්බුදය විසඳේවිද යන්න සැක සහිතයි,” ඔහු කියයි.
“වැදගත්ම දේ 2019 න් පසුව එවකට පැවති රජය විසින් බදු අඩු කළා. මේ නිසා රජයේ ආදායම විශාල ලෙස පහත වැටුණා. ආදායම 25% කින් අඩු වුණා. මේ නිසා ආර්ථිකය කඩා වැටී ණය ගැනීමට නොහැකි තත්ත්වයකට පත් වුණා,” යනුවෙන් සඳහන් කළ ආචාර්ය නිශාන් ද මේල්, රටේ වත්මන් අර්බුදකාරී තත්ත්වයට ආසන්නතම හේතුව එය බව ද කීවේය.
“වසර 75ක් රට පාලනය කළ පාලකයන්ගේ දූෂණය හා අයථා පාලනය නිසා තමයි අද රටේ ජනතාවට දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න සිදුවුණේ. රටේ විදේශ සංචිත නොමැතිකම, අප ලබාගත් ණය ආපසු ගෙවීමට නොහැකිවීම, අපනයනයට වඩා ආනයනයට වැඩි වැදගත්කමක් ලබා දීම, ණය ගැනීම, පරිභෝජනයට වැඩි වශයෙන් වියදම් කිරීම වැනි කරුණු ආර්ථික පරිහානියට සෘජුවම හේතු වුණා.”
පසුගිය කාලයේ බලයේ සිටි සියලුම රජයන් විසින් සිදු කරන ලද දූෂණ, වංචා, නාස්තිය නිසා මෙම තත්ත්වය ඇති වූවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සොයා නොයෑම සහ ඔවුන්ගේ ණය ආරම්භයේදී ම ලබා නොගැනීම තාර්කිකව පිළිගත නොහැකි සාධක බව ද ආචාර්ය මෙල් කියයි.
“ඒ විතරක් නෙවෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා කියලා ආර්ථික අර්බුදය විසඳෙයි කියලා හිතන්න හොඳ නැහැ. රාජ්‍ය ව්‍යූහය තුළ පවතින දූෂණ, වංචා, වැරදි තීරණ නවතා ජාතික ආර්ථිකය නඟා සිටුවීමට තීන්දු තීරණ ගතහොත් පමණක් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හැකිවේවී.”
මේ සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ.විජයවර්ධන දක්වන්නේ මෙවැනි මතයකි.
“ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගොස් ඔවුන්ගේ සහයෝගය ලබාගෙන රට ගොඩගැනීම වත්මන් තත්ත්වය තුළ හොඳ දෙයක්. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද පවසා ඇත්තේ විවිධ නීති සංශෝධන ගෙනවිත් දූෂණ වංචා වැළැක්විය යුතු බවයි. නමුත් අපේ අතීතය දිහා බැලුවම පැහැදිලිව කියන්න පුළුවන් දූෂණය වළක්වන්න කොච්චර නීති ගෙනාවත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඒ නිසා අඩුම තරමින් මීට පසුවවත් නීති නිසි ලෙස ක්‍රියාත්මක විය යුතුයි. ඕනෑම රටක ආර්ථික සංවර්ධනයට දූෂණය ප්‍රධාන බාධාවක්. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වයට ප්‍රධානතම හේතුව දූෂණය.”
එබැවින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන් ක්‍රියාත්මක කළ වකවානුවල රටේ උද්ධමනය යහපත් වූ බවට හෝ ඔවුන්ගේ සහයෝගීතාව රටේ ආර්ථික සංවර්ධනයට හිතකර බවට පළ වන මතවාද ප්‍රශ්න කළ යුතු කරුණක් බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.