ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ අනුපාතය අඩු අගයක ඇතැයි ද තරුණයන්ට මෙයින් බලපෑමක් නැතැයි ද සිතා කටයුතු කිරිම මුලාවේ වැටීමක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීවවිද්‍යා හා අනුක විද්‍යා අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර මත ඇය ඇතුළු කණ්ඩායමක් මෙරට පැතිරෙන කොරෝනා වයිසරය හා එහි ජානමය සැකැස්ම පිළිබඳ පසුගිය මාර්තු මාසයේ සිට පර්යේෂණ සිදුකර තිබේ. මේ පර්යේෂණ පිළිබඳ පසුගිය දිනවල සමාජයේ දැඩි අවධානයක් යොමුවිය.
ඇය පවසන්නේ ලෝකයේ කිසිම රටක් ශ්‍රී ලංකාවේ මෙන් බුද්ධි අංශ යොදාගෙන වයිරස ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා නිරෝධායනයට යොමුකිරීමේ හා පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමේ ක්‍රියාවලියක් සිදු නොකළ බවයි. වෙනත් රටවල සිදුකරන ලද්දේ කොරෝනා රෝග ලක්ෂණ පෙන්වන පුද්ගලයන් පමණක් පීසීආර් පරීක්ෂණවලට ලක්කිරීමකි.
රෝග ලක්ෂණ නොපෙන්වන අය පවා ශ්‍රී ලංකාවේ දී පීසීආර් පරීක්ෂණ මගින් රෝගීන් බවට හඳුනාගෙන තිබෙන බැවින් ඔවුන් සමස්ථයක් ලෙස සැළකූ විට මිය යන සංඛ්‍යාව ඉතාමත් අඩු ප්‍රතිශතයක් ලෙස පෙනෙන්නට තිබේ. මහාචාර්ය මලවිගේ පවසන්නේ ශ්‍රී ලංකාවේ හමුවූ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව අතරින් කොරෝනා රෝග ලක්ෂණ පෙන්වූයේ 2000ක පමණ පිරිසක් බවයි. මේ අතරින් මියගිය සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස සැළකූ විට එය අනෙක් රවලට සමාන වන බව ද අය අවධාරණය කරයි.
ඒ අනුව අපේ රටෙහි කොරෝනා නිසා මිය යන රෝගීන් ප්‍රතිශතය අනෙක් රවටල සාපේක්ෂව අඩු අගයක පවතින්නේ යැයි යන්න මුළාවේ වැටීමක් බව ද මහාචාර්ය වරිය පවසන්නීය.
මේ අතර ඇය පවසන්නේ කොරෝනා රෝගයේ වැඩි අවදානමක් ඇත්තේ වැඩිමහළු අයටයැයි යන්නත් මිත්‍යාවක් බවයි.
“ අපි දැක්කා පසුගිය කාලයේ අපේ සමාජය බොහොම සැහැල්ලුවෙන් හිටියා වයිරසය තරුණ අයට ආසාදනය වුණාට ප්‍රශනයක් නෑ වැඩිහිටියන් තමයි බේරාගන්න ඔ්නෑ වගේ මතයක් දරමින්. නමුත් අපිට පෙනීගොස් තිබෙනවා කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වන තරුණ අයට පවා වයිරසය අසාදනය වී දිගුකාලීන ආසාත්මික තා ඇතිවෙනවා. දීර්ඝකාලීන කොරෝනා තත්ත්වයක් ඇතිවිය හැකි බවට පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. පෙනහළු හා හදවත් ආශ්‍රිතව දීර්ඝකාලීන සංකූලතා ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා මෙයින් ප්‍රවේශම්වීම අනිවාර්යයෙන් ම කළ යුතු දෙයක්. සෞඛ්‍ය නීති ගැන වැඩි සැළකිල්ලක් නැතිව සැහැල්ලුවෙන් ගමන් බිමින් යමින් තරුණ අය වගකීම් විරහිතව කටයුතු කරනවා. මේ නිසා ඔ්නෑම මොහොතක ඔවුන් කොරෝනා වයිරස ආසාදිතයෙක් විය හැකියි. ඇතැම්විට රෝග ලක්ෂණ නැතිවම දිගුකාලීන රෝගියෙක් බවට පත්විය හැකියි. මේ දේ අපි තේරුම් ගන්න අවශ්‍යයි. වයරසයේ ප්‍රබේදය ගැන හොයලා වැඩක් නැහැ. වයරසයෙන් බේරීමයි සමාජය කළ යුතු වෙන්නේ.”
ඇය පෙන්වාදෙන්නේ වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහජනතාවට විශාල වගකීමක් තිබෙනව බවයි.
මහාචාර්ය නීලිකා මලවිගේ ඉදිරියටත් කොරෝනා වයිරසය පිළිබඳ පරීක්ෂණ පවත්වන්නීය. අය පවසන්නේ කොරෝනා වයිරසයට එරෙහිව සිරුරේ ප්‍රතිදේහ සැකසෙන ආකාරය පිළිබඳ පර්යේෂණ කිරීමට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ආධාර කරන බවයි. වයිරසය පැතිර ගොස් ඇති ආකාරය අධ්‍යයනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ආධාර ලබා දී ඇත. එමෙන් ම නාවින්න ආයුර්වේද රෝහල සමඟ එක්වී මෙම වයිරසය සඳහා යොදාගත හැකි ඖෂධ පිළිබඳව ද පර්යේෂණ ආරම්භ කර තිබේ.
මෙම පර්යේෂණ සඳහා ආචාර්ය චන්දිම ජීවන්දර, ආචාර්ය දේශ්නි ජයතිලක, ආචාර්ය දිනුක ආරියරත්න, ලක්සිරි ගෝමස් සහ දියනාත් රණසිංහ යන පිරිස එක්ව සිටිති.
(මූලාශ්‍රය ඉරිදා ලංකාදීප – “අලුත් කොරෝනා වයිරසයේ පැතිරීම ඉතා ඉහළයි – කොරෝනා පිළිබඳ ලාංකීය විද්වතුන් කළ පර්යේෂණය” නමැති ලිපියෙනි. සාකච්ඡාව මාධ්‍යවේදී උපුල් වික්‍රමසිංහ විසිනි)
වෛරසය.
Difficult to maintain essential services like health , banks, food items