spot_img
spot_imgspot_img

දිවි ගමනින් සමුගත් සනත් නන්දසිරි

පුවත්

විදෙස්

ප්‍රවීණ ගායන ශිල්පී සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි අද (28) අභාවප්‍රාප්ත වූයේය. ඔහුගේ දේහය නුගේගොඩ ඇඹුල්දෙණියේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා සවස 5.00ට බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය.

සනත් නන්දසිරි මියයන විට 81 වැනි වියෙහි පසුවූයේය.

1942 පෙබරවාරි 15 වැනි දා කොළඹ ගොතටුව දී උපත ලබා ඇති ඔහු ගොතටුව මහා විද්‍යාලය, ශාන්ත මැතිව්ස් විද්‍යාලය සහ මහබෝධි මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත. ස්ටැෆර්ඩ් විද්‍යාලයෙන් ඔහු ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා ඇත.  ඉතාමත් ජනප්‍රිය ගීත රැසක් ගායනා කළ සනත් නන්දසිරි සගීත ක්ෂේත්‍රයට අනූපමේය සේවාවක් කළ කලාකරුවෙකි. ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස ද කටයුතු කළේය.

1955 වර්ෂයේ දී එනම් ඔහුට වයස අවුරුදු 13 දී ජාතික ගුවන්විදුලියට සම්බන්ධ වූයේ ය.

අනතුරුව ඔහු වයස අවුරුදු 17 දී හැදෑරීය. ඉන්දියාවේ භාත්ඛාණ්ඩේ විශ්ව විද්‍යාලයට 1960 වසරේ දී එනම් 19 හැවිරිදි වියේ දී සම්බන්ධ වූ සනත් නන්දසිරි එම විශ්වවිද්‍යාලයෙන් සංගීත විශාරද උපාධිය හිමිකරගත්තේය.

ඉන් අනතුරුව මෙරටට පැමිණ සංගීත ගුරුවරයකු ලෙස අම්පාර, උහන මහා විද්‍යාලයට 1965 වසරේදී පත්වීම ලබාගත් ඔහු 1988 සිට 1992 දක්වා කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළේය.

ප්‍රවීණ ගායන ශිල්පිනියක වන මල්කාන්ති නන්දසිරි සමඟ 1971 වසරේ දී විවාහ වූ ඔහුගේ එකම දියණිය වන අනුරාධා නන්දසිරි ද ගායන ශිල්පිනියකි.

‘ස්වර්ණ කුණ්ඩල’ නමින් 1974 වසරේ දී ඔහු සිය පළමු ගී ප්‍රසංගය පැවැත්වූ අතර, ඔහුගේ පළමු ගී තැටිය ද එම නමින්ම ජෙම්ටෝන් ලේබලය යටතේ 1979 වසරේ දී නිකුත් විය. ඉන්පසු ඔහු සින්ග් ලංකා ලේබලය යටතේ ද ගී තැටි ගණනාවක් නිකුත් කළේය.

සනත් නන්දසිරි 1992 වසරේ දී සංගිත් නිපුන් උපාධිය ලබාගත් අතර, එම උපාධිය ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද සනත් නන්දසිරි මහතාය.

“මගේ ර‍ටට දළදා හිමි සෙවණයි” , “මම නම් ආසයි අහන්න නයනා”, “වරදක් කළත් සිතකින් නොවෙයි”, “දඟකාර ඔය දෑස දුටුවා එදා”, “විකසිත වත කමලේ”, “එදා මෙදා තුර”, “ඇවිලුනු ගිනිදැල්”, “මුලු ලොව මගෙන් අසාවි”, “යශෝදරා”, “එක යායට මල් පීදුණු බිම් තීරේ”, “සොවින් පිරි මගේ හදවත.”, “දූ අනුරාධා”, “ලස්සන නම් නෑ පෙනෙන්නේ”, “ඈත එපිට ගම්මානෙන්”, “බෝ මලුවේ මල් සුවඳක පැටලී”, “ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නේ”, “ආදර සැමරුම් කැටිවූ”, “පෙමාතුර හැඟුම්”, “වාසනා වේවා”, “මම නම් ආසයි අහන්න නයනා”, “නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්”, මේ ප්‍රථම වසන්තයයි” ආදී අතිශය ජනප්‍රිය ගීත රැසක් ඔහු සිය රසිකයන් වෙත තිළිණ කළේය.
ඔහු ගායනා කළ බොහෝ ගීතයන් හි තනු නිර්මාණය කරනු ලැබුවේ ද ඔහු විසිනි.

‘සැඩොල් කඳුළු’, ‘හරි මග’, ‘හන්තානේ කතාව’, ‘සමනල කුමරියෝ’, ‘හතරවටේ’, ‘අහස් ගව්ව’, ‘දුලීකා’, ‘වසන්තේ දවසක්’, ‘සැනසුම’, ‘මංගල තෑග්ග’, ‘සළඹක් හඬයි’, ‘විරාගය’, ‘හංස විලාපය’, ‘ඉන්ද්‍රඛීලය’ වැනි චිත්‍රපට රැසක් සඳහා ද ඔහු ගීත ගායනා කළේය.

ඔහු එම ගායනාවන් වෙනුවෙන් ජනාධිපති, සරසවි ආදී සම්මාන රැසකින් ද ලබා තිබේ.

‘ගාන්ධාරී’ නමින් සංගීත ආශ්‍රමයක් ද 1982 වසරේ දී ආරම්භ කළ ඔහු එහි දී භාත්කණ්ඩේ විශ්ව විද්‍යාලය සඳහා අවශ්‍ය පාසල් විෂය නිර්දේශය ඉගැන්වීමට කටයුතු කළේය.

පණ්ඩිත් ඩබ්ලිව්. ඩී අමරදේවයන්ගේ අභාවයෙන් පසු 2016 වසරේ දී සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සඳහා මහාචාර්ය සනත් නන්දසිර පත්කෙරිණි.

කාලයක් අසනීපයෙන් පසු වූ සනත් නන්දසිරි අද උදෑසන සිය නිවෙසේ දී ම අවසන් හුස්ම හෙලන ලද බව පවුලේ ඥාතීන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!