ජනාධිපති කොමිසමට අපහාස කළැයි මන්ත්‍රීවරුන්ට නඩු ?

0
136

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සී.අලවතුවල, හරීන් ප්‍රනාන්දු, නලින් බණ්ඩාර හා මයන්ත දිසානයක යන සිව්දෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම පවසයි.

එහි සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ වීනසුරු උපාලි අබේරත්න පවසන්නේ ඔවුන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනුකර ඉන්පසු ජනාධිපති කොමිසමට අපහාස වන ආකාරයෙන් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කර ඇති බවයි. කොමිසමට අපහාස කිරීමේ සහ එහි ආධිපත්‍යයට බලපෑම් කිරීමේ චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සභාපතිවරයා පවසයි.

මේ පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා එම මන්ත්‍රීවරු හතර දෙනාට කොමිසමේ පොලිස් ඒකකයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර ඇති බව ද පැවසේ.

කොමිසන් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත මෙරට යුක්තිය පසදලීමේ ක්‍රියාවලියට හා මෙරට ස්වාධීන අධිකරණ පද්ධතියට අභියෝගයක් වන පරිදි කටයුතු කරන බව එම මන්ත්‍රීවරුන් ඊයේ (06) අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

මේ අතර දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ කාලය ලබන 23 වැනිදා දක්වා දීර්ඝකරන ලෙස කොමිසමේ සභාපතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බවද සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here