සජීව විජේවීර විසිනි
ගොඩබිම වෙසෙන විශාලතම සත්ව විශේෂය වන්නේ අලියාය. අලියාගේ විශාලත්වය හේතුවෙන් ම ඔවුන් දඩයම් කිරීම අතීතයේ ඉතා ජනප්‍රිය ක්‍රීඩාවක් ලෙස තිබිණි.
මිනිසුන් විසින් නිකරුණේ මරා දමන සත්ව විශේෂයක් ලෙස ඉතිහාසය පුරාම අලියා හැඳින්වේ. ඇත්දළ සහ ඇත් දළ ඇතුළත වැඩෙන ගජ මුතු නමින් හඳුන්වන ව්‍යුහයන් ලබාගැනීමේ අපේක්ෂාවෙන් බහුලව මරා දැමේ. ඇතැම් ප්‍රදේශවල මස් සඳහා ද අලි ඇතුන් ඝාතනය සිදුව ඇත.
දැනට තක්සේරුකර ඇති පරිදි ලෝකයේ සිටින සමස්ත අලි ඇතුන් සංඛ්‍යාව ආසන්න වශයෙන් 450,000කි. නමුත් මෙම සංඛ්‍යාව අදින් දශක කිහිපයකට පෙර සිටි සංඛ්‍යාවට වඩා ඉතාමත් සුළු ප්‍රමාණයකි.
මේ වනවිට අලි ගහණය
ලෝකයේ දක්නට ලැබෙන්නේ අලි ප්‍රධාන වශයෙන් ඝන නාමයන් දෙකක් යටතේ වර්ගීකරණය කර ඇත.
- අප්‍රිකානු අලියා Loxodonta
- ආසියානු අලියා Elephas
අප්‍රිකානු අලි සහ ආසියානු අලි ඉතාමත් පහසුවෙන් එකිනෙක වෙන්කර හඳුනාගැනීමට හැකියාව තිබේ. අප්‍රිකානු අලින්ට විශාල කන් දෙකක් ඇති අතර ආසියානු අලියාට ඇත්තේ, අප්‍රිකානු අලියාගේ කනට සාපේක්ෂව කුඩා වටකුරු කන් යුගලයකි. අප්‍රිකානු අලි විශේෂයේ පිරිමි සතුන්ට සහ ගැහැනු සතුන් දෙදෙනාට ම දළ පිහිටිය ද ආසියානු අලි විශේෂයේ පිරිමි සතුන් සීමිත පිරිසකට පමණක් දළ පිහිටයි. ඔවුන් ඇතුන් ලෙස හඳුනවන අතර ආසියාතික ගැහැනු සතුන්ට දළ පිහිටන්නේ නැත.
අප්‍රිකානු විශේෂ දෙකක් දක්නට ලැබෙයි
- Loxodonta africana අප්‍රිකානු සැවානා අලියා මීටර 3.96ක සාමාන්‍ය උසකින් යුක්තය. බර ටොන් 10-11.5 ත් අතර දක්වා වර්ධනය වෙයි. අප්‍රිකානු රටවල් 37ක දක්නට ලැබෙන සත්ව විශේෂයකි. වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති සතකු ලෙස හැඳින්වේ.
- Loxodonta cyclotis අප්‍රිකානු වන අලියා බටහිර අප්‍රිකාවේ සහ කොංගෝ ද්‍රෝණියේ වනාන්තරවලට සීමා වී සිටියි. ජීවමාන අලි විශේෂ තුනෙන් කුඩාම විශේෂයයි. උස මීටර 2.4කි. දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයට මුහුණ පා ඇති සත්ව වශේෂයක් ලෙස සැළකේ.
ආසියානු අලියා Elephas maximus
ආසියාවේ රටවල් කිහිපයක ම විසිරී සිටින Elephas maximus තනි විශේෂයක් වුව ද මේ වනවිට උප විශේෂ 04ක් ලෙස පරිනාමය වී තිබේ.
- Elephas maximus maximus ශ්‍රී ලංකාවේ අලියා
ශ්‍රී ලංකාවට ආවේණික උප විශේෂයකි. උසින් මීටර 2.0 ත් 3.5ත් අතර ප්‍රමාණයකට හා බර ටොන් 5.5ක් දක්වා විශාලත්වයට වැඩෙන විශේෂයකි. ආසියාතික අලියාගේ විශාලත ම උප විශේෂය වෙයි. ඇත්දළ ඇත්තේ පිරිමි සතුන්ගෙන් 7%ක් වැනි ඉතා සුළු පිරිසකට පමණි.
- Elephas maximus indicus ඉන්දියානු අලියා
ඉන්දියානු අලියා උසින් මීටර 2.0 සිට 3.2ක් දක්වා සහ බර ටොන් 5.0ක් දක්වා වර්ධනය වෙයි. ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, භූතානය, මියන්මාරය, තායිලන්තය, මැලේ අර්ධද්වීය, ලාඕසය, චීනය, කාම්බෝජය සහ වියට්නාමයේ දක්නට ලැබෙන උප විශේෂයකි. තෘණ බිම්, වියළි, පතනශීලී, තේ පතනශීලී, සදාහරිත සහ අර්ධ සදාහරිත වනාන්තරවල වාය කරයි.
- Elephas maximus sumatranus සුමාත්‍රා අලියා
ආසියානු අලියාගේ උප විශේෂයක් වන අතර සුමාත්‍රා දූපත්වලට ම ආවේණික විශේෂයකි. වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති ලෙස නම්කර තිබූ මෙම උප විශේෂය 2011 වර්ෂයේ සිට බරපතල ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇත යනුවෙන් වර්ගකර තිබේ. පසුගිය පරම්පරා තුනක කාලයේ දී මෙම විශේෂයේ ගහනය 80%කින් පමණ පහළ බැස ඇත. ඔවුන්ගේ වාසස්ථානවලින් 69%ට වඩා පසුගිය වසර 25 දී විනාශ වී ඇති අතර ඉතිරිව සිටින ප්‍රමාණය ජීළුත් වන්නේ වර්ග කිලෝ මීටර 250ට වඩා අඩු වන කුට්ටිවලය. එම ප්‍රමාණය අලි ගහණය වැඩිවීමට තරම් ප්‍රමාණවත් නැත.
- Elephas maximus borneensis බෝනියෝ කුරු අලියා
මෙම අලි විශේෂය බෝර්නියෝ පිග්මි අලි ලෙස හඳුන්වයි. ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේ ඊසානදිග බෝර්නියාවේ වාසය කරන උප විශේෂයකි.
ආසියානු අලි ඇතුන්ට වඩා අප්‍රිකානු අලි දස ගුණයක් පමණ සිටිති 2015 දී අප්‍රිකානු අලිි ඇතුන් 415,000ක් පමණ ඉතිරිව සිටි බව සංඛ්‍යාලේඛන දත්ත නේවයි. ආසියානු අලි ඇතුන් එවකට සිටිියේ 40,000 ත් 50,000ත් අතර ප්‍රමාණයකි.
ආසියානු අලියා මේ වනවිට IUCN රතු දත්ත පොතට අනුව වර්ගීකරණය කර ඇත්තේ “වඳවීමේ තර්ජනයට ලක්ව සිටින” යනුවෙනි. සත්ව විශේෂයක් ලෝකයෙන් තුරන්වීමට පෙරප “අතිශයින් වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටි” යන්නට වඩා එය එක් පියවරක් පහළින් ඇති තත්වයකි.
අලි ගහනය වැඩි වෙනවා ද ? අඩු වෙනවාද ?
සංඛ්‍යාලේඛන අනුව අලි ලක්ෂ ගණනක් ලෝකයේ සිටිති. ඔවුන්ගේ පැටවුන් ද බහුලව දක්නට ලැබේ. බැලූ බැල්මට පෙනෙන්නේ ලෝකයේ අලි ප්‍රමාණවත් තරම් සිටින බවයි. ශ්‍රී ලංකාව වැනි රටවල නිරන්තරව දක්නට ලැබෙන පාරිසරික සහ සමාජයීය ප්‍රශ්නයක් වන්නේ අලි මිනිස් ගැටුමයි. බොහෝ දෙනෙකු තර්ක කරන්නේ අලි ගහනය මේ වනවිට වැඩි වෙමින් පවතින නිසා මේ අලි මිනිස් ගැටුම නිර්මාණය වී ඇති බවයි.
සැබැවින් ම මෙය සත්‍යයක් ද ? ඒ බව තේරුම් ගැනීමට නම් අද ජීවතුන් අතර සිටින සතුන් සංඛ්‍යාව දැන ගැනීම පමණක් ප්‍රමාණවත් නැත. ඔවුන්ගේ ගහනය වෙනස්වන දිශාව, වෙනස්වන වේගය ද අප දැන සිටිය යුතුය. ගහනය සංඛ්‍යාත්මකව ඉක්මණින් අඩු වෙනවා නම් ඒ ගහනයේ ලක්ෂ ගණනක් සිටිය ද අප ඔවුන් ගැන වහාම අවධානය යොමුකළ යුතු ය.
අප්‍රිකානු අලි විශේෂයට සිදුවන දේ
ආසියානු අලියා මෙන් 10 ගුණයක් අප්‍රිකානු අලි විශේෂය වාර්තා වෙයි. ඒ නිසාම එම විශේෂය ලෝකයේ සුලබ සිටිතැයි පරිසර විද්‍යාත්මක, සත්ව විද්‍යාත්මක කරුණු නොදන්නා අයකු තර්ක කරනු ඇත. නමුත් සැබැවින්ම අදට දශක කිහිපයකට පෙර මිහිතලය මත අප්‍රිකානු අලි විශේෂ සිටිය ප්‍රමාණය සැළකූ විට දැන් ජීවත්ව සිටින්නේ ඉතාමත් සුළු කොටසකි.
ක්‍රිස්තු වර්ෂ 1,500 දී පමණ මිහිතලය මත සැරිසැරූ අප්‍රිකානු අලින්ගේ ගහනය විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව තක්සේරු කළ විට අප්‍රිකානු අලි සංඛ්‍යාත්මක ව මිලියන 25ක් ජීවත්ව සිට ඇත. අලියා මිහිතලය මත සිය අණසක පතුරා තිබේ.
නමුත් මේ වනවිට එම ප්‍රමාණයෙන් 98%ක් ම අඩු වී ඇත.
වර්ෂ 1900 වනවිට අප්‍රිකානු අලි මිලියන 10ක් දක්වා පහත වැටී වර්ෂ 1979 සංගණනයන් අනුව එම ප්‍රමාණය මිලියන 1.3ක් දක්වා අඩු වී ඇත. 1970 සිට 1980 දක්වා දශකයේ දී අප්‍රිකානු අලි ගහනය ඉතා වේගයෙන් අඩු වී 1990 මැද භාගය වනවිට එම සංඛ්‍යාව 300,000ක් දක්වා අඩු වී තිබිණි. නමුත්, එතැන් පටන් අලිසංරක්ෂණ ප්‍රයත්නයන් හේතුවෙන් 2008 වර්ෂයේ සිට අලි ගහනය 470,000ක් දක්වා වැඩි කරගැනීමට හැකිවූ නමුත් පසුගිය දශකයේ දී නැවත දඩයම් කිරීම වැඩිවීමෙන් අප්‍රිකානු අලි ගහනය නැවත අඩුවෙමින් පවතී.
http://africanelephantdatabase.org/
අලින්ගේ ගහනය අඩුවන බවට ඇති තවත් සාක්ෂියක් වන්නේ අලි මරණ අනුපාතය ඉහළ යාමයි.
සතුන් සම්බන්ධ ගහන පරීක්ෂණවල දී ජීවතුන් අතර සිටින සතුන් පමණක් නොව මියගිය සතුන්ගේ සිරුරු ද ගණනය කරයි. එය විද්‍යාත්මක ක්‍රමවේදයයි. මේ අනුව අප්‍රිකානු අලි සංගණනයේ දී ලැබී ඇති ප්‍රතිඵල අනුව අප්‍රිකාව පුරා තිබුණු මළ ඇතුන්ගේ සිරුරු සංඛ්‍යාව 11.9% ප්‍රමාණයකි. මෙයින් අදහස් කරන්නේ සෑම සජීවී අලි 100කට ම මියගිය අලි 12 දෙනකු සිටින බවයි.
සත්ව විද්‍යාත්මක පර්යේෂණ ක්‍රමවේදය අනුව යම් සත්ව විශේෂයක මළ සිරුරු 8% වැඩි ප්‍රමාණයක් හමු වී ඇත්නම් එම සත්ව ගහනය හැකිළෙමින් පවතින බව පිළිගනී. එය එලෙස සකසන්‍නේ නව උපත් ප්‍රමාණය හා සන්සන්දනයෙනි.
කෙසේ වෙතත් මෙය අප්‍රිකානු අලියාගේ සමස්ත තත්වයයි. නමුත් එය අප්‍රිකානු මහද්වීපයේ රටින් රටට වෙනස් වී ඇත. කැමරූන්හි මළ සිරුරු අනුපාතය 83%ක් වැනි අතිශය විශාල අගයකට පත්ව ඇත. මොසැම්බික්හි එය 32%කි, ඇන්ගෝලාවේ එම අනුපාතය 30%ක් වෙයි.
ආසියානු අලියා (Elephas maximus)
ආසියානු අලියා තනි විශේෂයකි. නමුත් ඉන්දියාව ඇතුළු අග්නිදිග ආසියානු රටවල සිටින අලියාට වඩා ශ්‍රී ලංකාවේ සිටින අලියාගේ යම් යම් පැහැදිළි වෙනස්කම් ඇති බැවින් සත්ව විද්‍යාත්මකව ශ්‍රී ලංකාවේ සිටින අලි විශේෂය ඉන්දියානු අලි විශේෂයේ ම උප විශේෂයක් ලෙස නම් කර ඇත. එම උප විශේෂය Elephas maximus maximus ලෙස හඳුන්වයි.
ආසියානු අලින්ගේ ගහනය පිළිබඳ ඇස්තමේන්තු සහ නිවැරදි සංගණන දත්ත නොමැතිවීම බරපතල ගැටලුවකි. ශ්‍රී ලංකාවේ දත්ත ජාත්‍යන්තර පර්යේෂණ ආයතන වෙත ලැබී නැත. නමුත් මෙම ආසියානු අලි විශේෂය පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් සමීපව නිරීක්ෂණය කළ යුතු වෙයි. ජාත්‍යන්තර වශයෙන් ඇත්තේ රටවල් කිහිපයක් සඳහා දත්ත කිහිපයක් සහ දිගුකාලීන ඇස්තමේන්තු කිහිපයක් පමණි.
IUCN ඇස්තමේන්තු කර ඇත්තේ පසුගිය ශතවර්ෂයේ දී ආසියානු අලි ඇතුන්ගේ මුළු ගහනය අඩකින් හෙවත් 50%කින් අඩු වී තිබෙන බවයි. 1900 ගණන්වල මුල් භාගයේ ආසියානු අලි 100,000කට මදක් වැඩි ප්‍රමාණයක් සිටින්නට ඇතැයි ඇස්තමේන්තු කර ඇත. අද එම ගහනය 40,000ත් 50,000ත් අතර ප්‍රමාණයකට අඩු වී ඇත.
ආසියාවේ ඇතැම් රටවල් සඳහා ඉදිරියේ දි අලි ගහන දත්ත නිවැරදිව ලබාගත හැකි වුවහොත් මේ පිළිබඳ නිශ්චිත නිගමනයකට එළඹීට හැකිවනු ඇත.
ඉන්දියාව 1970 සිට වරින් වර අලි ගහනය ඇස්තමේන්තු කර තිබේ. Asian IUCN SSC Asian Elephant Specialist Group (AsESG) මගින් මෙම ගහනය පිළිබඳ දත්ත ලබාගැනීමට හැකියාව ඇත. නමුත් එය 100%ක් ම නිවැරදි නොවන්නේ ශ්‍රී ලංකාව ද ඇතුළුව ඒ ඒ රටවල සිදුකරන ලද අලි ගහණ සමීක්ෂණ නිවැරදි යැයි විශ්වාසයක් නොමැතිවීම හේතුවෙනි.
ඉන්දියාවේ, 1980 සිට අලි ගහනය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින අතර, 1980 දී 16,000 ක් වූ ගහණය 2017 වනවිට සිට 27,000 දක්වා ඉහළ ගොස් ඇතැයි පැවසේ. මෙයින් පෙන්නුම් කරන්නේ මෙම විශේෂ ආරක්ෂා කිරීමට සහ ඔවුන්ගේ ගහනය නැවත ගොඩනැගීමට උපකාර කළ හැකි බවයි.
කෙසේ වෙතත්, බොහෝ රටවල කාලයාගේ ඇවෑමෙන් දත්ත නොමැතිකම නිසා ආසියානු අලි ගහනයේ සැබෑ තත්වය නිසි ලෙස තක්සේරු කිරීමට අපහසු වේ.
අපේ අලි ගහනය බේරගන්නේ කොහොමද?
අප්‍රිකානු සහ ආසියානු අලි ඇතුන්ට ඇති විශාලතම තර්ජනය දඩයම් කිරීමයි. අලි ඇතුන් මරා දමන්නේ ඔවුන්ගේ දළ සඳහා ය.
පීඩනය ඇත්තේ අලින්ට පමණක් නොවේ.
දඩයම් කිරීම සියලුම විශාල ක්ෂීරපායින්ට ඇති ප්‍රමුඛතම තර්ජනයයි. නමුත් බොහෝ රටවල අලියා ආරක්ෂා කළ හැකි සත්ව විශේෂයකි. අලි ගහනය ආරක්ෂා කිරීමට සහ යථා තත්ත්වයට පත් කිරීමට ඉන්දියාව සමත් වී ඇත. නැමීබියාව, සිම්බාබ්වේ සහ ඇන්ගෝලාව ද මෙම ප්‍රවණතාවය හැරවීමට සමත් වී තිබේ.