spot_img
spot_imgspot_img

නව උඩවැඩියා විශේෂයක් “පුෂ්පරාග” නමින් විකසිත වෙයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවට ආවේණික නව භෞමික ඕකීඩ් (උඩවැඩියා) විශේෂයක් සොයාගත් බව උද්භිද විද්‍යා පාර්යේෂකයකු සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක භාතිය ගොපල්ලව පවසයි.

ඔහු ඇතුළු කණ්ඩායමක් විසින් සොයාගන්නා ලද මෙම නව  උඩවැඩියා විශේෂය උද්භිද විදයාත්මකව Gastrodia pushparaga නම්කර ඇති අතර මෙතෙක් සිංහල නමක් නැති එම විශේෂය පුෂ්පරාග ලෙස නම් කිරීම සුදුසුයැයි ද පර්යේෂකයෝ කියති.

මෙම නව සොයාගැනීම පිළිබඳ පර්යේෂණය ජාත්‍යන්තර උද්භිද විද්‍යා පර්යේෂක සඟරාවක් වන Phytotaxa 2023 මාර්තු කලාපයේ පළකර තිබේ.

මෙම නව ශාකයේ සොයාගැනීම හේතුවෙන් මෙරටින් වාර්තාවන දේශීය උඩවැඩියා විශේෂ සංඛ්‍යාව 194ක් ද්වා ඉහළ යයි. එමේන ම මෙරටට ආවේණික විශේෂ සංඛ්‍යාව 63ක් වෙයි.

බිම හටගන්නා හෙවත් භෞමික ශාකයක් වන මෙම නව විශේෂය පරපෝෂ විශේෂයකි. සාමාන්‍ය පරිසරයේ දී පොළොවෙන් ඉහළට එසෙවෙන ශාක පත්‍ර මෙහි දක්නට නැති අතර පොළව යට භූගත කඳක් හෙවත් රයිසෝමයක් පමණක් ඇත. ශාකය හඳුනාගැනීමට හැකියාව ලැබෙන්නේ කාලයක දී පොළොව මතුපිටට පැමිණෙන මල හෙතුවෙන් පමණි.

මෙම ශාකයේ ඉතාමත් අලංකා කහ පැහැති පුෂ්පයක් හටගන්නා බව භාතිය ගොපල්ලව පවසයි. මලේ මධ්‍යය රතු පැහැයට හුරුය.

මෙම මලක් ශ්‍රී ලංකාවෙන් මුලින් ම දැ ඇත්තේ අමිල පෙරේරා විසිනි. කිසිදා දැක නැති අලංකාර පුෂ්පයක් පොළොවෙන් මතු වී තිබෙනු දුටු අමිල එහි ඡායාරූපයක් ගෙන එවකට පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ශාකාගාරයේ නිලධාරියකු වූ භාතිය ගොපල්ලව වෙත යැවුවේය. මල බැලූ බැල්මට භෞමික උඩවැඩියා විශේෂයක් බව හඳුනාගත් භාතිය එය Gastrodia නැමැති ශාක ඝනයට අයත්වේ යැයි අනුමාන කළේය. එම ඝනයේ විශේෂ 94ක් ඒ වනවිට ලෝකයේ වාර්තා වී තිබූ අතර ශ්‍රී ලංකාවෙන් ද Gastrodia zeylanica සහ Gastrodia gunethilakeorum නම් විශේෂ දෙක හඳුනාගෙන තිබිණි. නමුත් අමිල එවූ ඡායාරූපයේ ඇත්තේ ඒ විශේෂ දෙකෙහිම මලක් නොවන බව තේරුම්ගත් භාතිය එය ලෝකයේ ඇති තවත් Gastrodia විශේෂ සමග සන්සන්දනය කරද්දී තේරුම්ගත්තේ තායිවානයෙන් වාර්තාවන Gastrodia sui නමැති විශේෂයට සමීප බවයි. නමුත් සියුමව පරීක්ෂා කිරීමේ දී මෙය එම විශේෂය නොවන බව ද මෙතෙක් ලෝකයෙන් සොයාගනෙ තිබූ අනෙකුත් Gastrodia විශේෂයකට අයත් මලක් නොවන බව ද තේරුම්ගත් භාතිය අමිල සමඟ එක්ව නව පර්යේෂණයක් ආරම්භ කළේය.

ඔවුන් ඒ සම්බන්ධ වෙහෙසෙද්දී හර්ෂ සම්පත් අබේවික්‍රම ද එවැනිම මලක ඡායාරූපයක් සිංහරාජයෙන් හමු වූ බව පවසමින් ‍භාතියට ඡායාරූපයක් එව්වේය. මෙ නව ඕකීඩ් විශේෂය ලෝකයට විද්‍යාත්මකව නාමකරණය කර හඳුන්වාදීම් පර්යේෂණ පත්‍රිකාව පවා පිළියෙල වී තිබිය දී ලසිත ප්‍රගීත් විසින් ද එම විශේෂයේ ම මල් කිහිපයක් සොයාගෙන තිබිණි.

නව උඩවැඩියා විශේෂය හමු වී ඇති ප්‍රදේශ

භාතිය ගොපල්ලව (පේරාදෙණිය විශ්වවිද්‍යාල‍යේ ආචාර්ය උපාධි අපේක්ෂක), අමිල පෙරේරා (රජරට විශ්වවිදයාලය), ඉන්ද්‍රඛීල මාදොළ (වයඹ විශ්වවිද්‍යාලය), දීප්ති යකන්දාවල (පේරාදෙණිය විශ්වවිද්‍යාලය), හර්ෂ සම්පත් අබේවික්‍රම (ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය) සිදුකළ මේ පර්යේෂණය සඳහා ලෝක‍යේ ප්‍රකට උද්භිද විද්‍යාඥයෙක් වන එංගලන්තයේ කිව් රාජකීය උද්‍යානයේ මහාචාර්ය මාර්ක් චේස් සහ ඕකීඩ් පිළිබඳ විශේෂඥයකු වන ආචාර්ය පංකජ් කුමාර් (Texas Tech University USA) ද විශාල සහයෝගයක් ලබා දුන්හ.

Gastrodia pushparaga ලෙස නම්කර ඇති මෙම නව ඕකීඩ් විශේෂය පිළිබඳ භාතිය ගොපල්ලව මෙසේ කීවේය.

“මෙම ශාකයේ දක්නට ලැබෙන්නේ ඉතාත් අලංකාර මලක්. එය කහ පැයැතියි. මධ්‍යයේ රතු පැහැයක් දක්නට ලැබෙනවා. මුලින්ම අපිට හමුවුණේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් නිසා රත්නපුරයෙන් හමුවන ඉතාමත් වටිනා මැණික් විශේෂයක් වන පුෂ්පරාග නම සම්බන්ධ කරගෙන මේ භෞමික ඕකීඩ් විශේෂයට පුෂ්පරාග කියා නම තියන්න අදහස් කළා. පුෂ්පරාග කියන මැණික් වර්ගයත් කහ පැහැතියි. ඒ වගේ ම හොඳම පුෂ්පාරග මැණික්වල රතුපාට ටින්ට් එකක් තියෙනවා. මේ මලේ මධ්‍යයත් රතු පැහැතියි. මේ ඕකීඩ් ශාකය පොළොව භෞමික ඕකීඩ් විශේෂයක් වීම නිසාත් මැණික් ලැබෙන්නේ පොළොවෙන් වීම නිසාත් අපි මේ නම තැබීමට තීරණය කළා.”

මෙම නව විශේෂය සොයාගැනිමත් සමඟ ශ්‍රී ලංකාවෙන් හමුවන Gastrodia ගනයේ භෞමික ඕකීඩ් විශේෂ සංඛ්‍යාව 03ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම විශේෂ තුනම ශ්‍රී ලංකාවට ආවේණිකය. පර්යේෂකයන් පවසන්නේ තවත් එවැනිම විශේෂ කිහිපයක් පිළිබඳ දැනට අධ්‍යයන කටයුතු සිදුකරගෙන යන බවයි. ඉදිරියේ දී එම පර්යේෂණ පිළිබඳ තොරතුරු විද්‍යාත්මකව එළිදැක්වීමට නියමිතය. එවිට මෙරට ජෛව විවිධත්වයේ වටිනාකම තවත් ඉහළ යනු ඇත.

පුෂ්පරාග උඩවැඩියා මලේ ප්‍රමාණය

මෙම පර්යේෂණය සිදුකරද්දී ඒ සඳහා උදව් උපකාර කළ ආචාර්ය සුරංජන් ප්‍රනාන්දුට, අවශ්‍ය නිදර්ශක ලබාගැනීමට අවසර ලබාදුන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, වනජීවී දෙපාර්තමේන්තුවේ පාලිතට, ලසිත ප්‍රගීත්, ඉසුරු මඩවල සහ රශාල් වීරසිංහ, නිශාන්ත එදිරිසිංහ යන පිරිසටත්, ජාතික ශාකාගාරයේ ආචාර්ය සුභානි වත්සලා රණසිංහට වගේම කපිල යකන්දාවලට,  සමන් දිසානයකට හිමේෂ් දිල්රුවන් ජයසිංහට, දිල්මා කන්සර්වේෂන් ආයතනයට සහ ආචාර්ය නාලක ගීකියනගේ, මහාචාර්ය සිසිර ජයකොඩි සහ මහාචාර්ය නිමල් ගුණතිලකට විශේෂ ස්තූතියක් හිමිවිය යුතු බව ද පර්යේෂකයෝ කියති.

නව විශේෂය හමු වූ ස්ථානය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!