ගාල්ල මහින්ද විද්‍යාලයට, 2023 පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ දී විදුහල්පතිවරයා විසින් අත්තනෝමතික ලෙස චක්‍රලේඛ උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවට චෝදනා කරමින් ආදි සිසුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
සම්මුඛු පරීක්ෂණ සඳහා සහභාගී වූ ආදි ශිෂ්‍ය සංගම් නියෝජිතයා ද සිසුන් ඇතුළත් කරගැනීමේ නාම ලේඛනවලට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර තිබීම හේතුවෙන් මේ වනවිට ආදි ශිෂ්‍ය පදනම යටතේ පාසලට ඇතුළත් කරගන්නා සිසුන්ගේ නාම ලේඛනය හැර අනෙකුත් ලේඛන ප්‍රසිද්ධියට පත්කර තිබේ.
විද්‍යාලයීය ආදි සිසුන් සහ ගුරුභවතුන් චෝදනා කරන්නේ විදුහල්පතිවරයා නීති විරෝධී ලෙස කටයුතු කර තිබීම හේතුවෙන් 2023 වර්ෂය සඳහා මහින්ද විද්‍යාලයට සිසුන් ඇතුළත් කරගැනීම බරපතල ගැටලුවක් වනු ඇති බවයි.
ජාතික පාසල් සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සඳහා නිකුත්කර ඇති අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛයේ දැක්වෙන්නේ එහි සභාපතිවරයා ලෙස විදුහල්පතිවරයා කටයුතු කළ යුතු බවයි. එමෙන් ම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ප්‍රාථමික අංශය භාර නියෝජ්‍ය විදුහල්පතිවරයා ද සහභාගී විය යුතුය.
මහින්ද විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධන පසුගිය දා පැවැති ගුරුමණ්ඩල රැස්වීමක දී පවසා ඇත්තේ මහින්ද විද්‍යාලයේ පළමු වසර දරුවන් භාර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ තමන් නොව නියෝජ්‍ය විදුහල්පතිවරයකු වූ එල්.පී.වීරමන් නමැති අයකු බවයි. එය නීති විරෝධී කටයුත්තකි.
ඔහු එවැනි ප්‍රකාශයක් කිරීමට ද හේතුවක් තිබේ. ඒ පසුගිය නොවැම්බර් 10 වැනි දා පැවැති ස්ථිර පදිංිචි පදනම යටතේ ඉල්ලුම් කර සිටි CO 351 – 400 දක්වා පැවැති සම්මුඛ පරීක්ෂණය සඳහා ඔහු සහභාගී නොවූ බැවිනි. එදින විදුහල්පති අතුල විජේවර්ධන මහින්ද විද්‍යාලය තුළ සිටියේ නැත. පාසලේ ඇති වෑන් රථයකින් ඔහු වෙනත් ගමනක් ගොස් තිබිණි.
මෙම සම්මුඛ පරීක්ෂණය ආරම්භයේ සිට ම පාසලේ ප්‍රාථමික අංශය භාර නියෝජ්‍ය විදුහල්පති සරත් කුමාර ලොකුගේ සම්බන්ධකරගෙන නැත.
සම්මුඛ පරීක්ෂණය පවත්වා අත්තේ ද අධි ආරක්ෂිත කලාපයක පැවැත්වෙන පරික්ෂණයක ආකාරයකිනි. සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන සියලු දෙමාපියන්ට තම ජංගම දුරකථන පාසල් පරිශ්‍රයට හෝ ගෙන ඒම තහනම් කර තිබිණි. එසේ වුව ද සම්මුඛ පරීක්ෂණ ආරම්භවීමටත් පෙර දිනක පාසලේ සහකාර විදුහල්පතිවරයකු විසින් සහෝදර ඝනය යටතේ ඉල්ලුම් කරන ලද අය වෙත දුරකථන ඇමතුම් පවා ලබාදෙමින් මුදල් ඉල්ලා ඇති බව ද ආදි ශිෂ්‍යන් පිරිසක් විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත කර ඇති පැමිණිල්ලේ සටන් කර ඇත.
තව ද, පදිංචිය සම්බන්ධ ස්ථානීය පරීක්ෂණ සඳහා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් සහභාගී විය යුතු යැයි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයේ සඳහන්ව ඇතත් එම ස්ථානීය පරීක්ෂණ සඳහා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් සහභාගී කර නොගත් විදුහල්පති අතුල විජේවර්ධන තමන්ට හිතවත් කණ්ඩායක් සමඟ ස්ථානයී පරීක්ෂණ සඳහා ගොස් ඇති බවත් පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයකු නොවන සහකාර විදුහල්පතිවරයකු ද එම පරීක්ෂණ සඳහා සහභාගී වූ බවත් ආදි ශිෂ්‍යන් විසින් ලිඛිතව කර ඇති පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
මහින්ද විද්‍යාලයට 2023 වර්ෂය සඳහා පළමු වසර සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණවල සියලු කටයුතු අවසන් වූ පසු විදුහල්පතිවරයා නැවත ආදි ශිෂ්‍ය පදනම යටතේ ලබාදුන් ලකුණු ලේඛන සියල්ල ඔහුගේ පුද්ගලික අභිමතය පරිදි වෙනස්කර ඇතැයි චෝදනා කරමින් ආදි ශිෂ්‍ය කමිටුවේ නියෝජිතයා එම ලේඛනයට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර තිබේ. මේ හේතුවෙන් ආදි ශිෂ්‍ය පදනම යටතේ පාසලට ඇතුළත් කරගන්නා සිසුන්ගේ නාම ලේඛනය අද (02) දක්වා ම ප්‍රදර්ශනය කිරීමට නොහැකි වී ඇත.
මීට අමතරව ස්ථිර පදිංචිය අනුව තෝරාගත්නා ලේඛනවල ද ලකුණු සම්මුඛ පරීක්ෂණයෙන් පසු ඇතැම් දෙමාපියන්ට දුරකථන ඇමතුම් දෙමින් වෙනස් කර ඇති බවට ද චෝදනාවක් එල්ල වී ඇත. පෙබරවාරි 01 වැනි දා රැස්වූ මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ විධායක කමිටුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර සිදුව ඇති සියලු අක්‍රමිකතා පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා හමුවී සාකච්ඡා කිරීමට ද තීරණයක් ගෙන තිබේ.
ඊට අමරතව විදුහල්පති අතුල විජේවර්ධන විසින් 2023 සිසුන් ගැනීමේ සම්මුඛ පරීක්ෂණයේ දී සිදුකරන ලද අක්‍රමිකතා පිළිබඳ විද්‍යුත් තැපැල් මගින් සහ ලියාපදිංචි තැපැල් මගින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඇත.
මෙම චෝදනා පිළිබඳ විමසීමට විදුහල්පති අතුල විජේවරධන ඇමතීමට උත්සාහ ගත්ත ද ඔහු දුරකථන ඇමතුම් ඔස්සේ සම්බන්ධ කරගත නොහැකි බැවින් අපි මහින්ද විද්‍යාලයට ගොස් ඔහු සිටින්නේ දැයි විමසා බැලුවෙමු. එහි දී විද්‍යාලයේ ආරක්ෂක අංශය පවසා සිටියේ විදුහල්පතිවරයා පාසලට පැමිණියේ නැති බවයි. පාසලේ ස්ථාවර දුරකථනය ඔස්සේ ඇමතුමක් ගත් විට කාර්යාලයේ සිටි අයකු කියා සිටියේ පළමු වසර සිසුන් තෝරාගැනීමේ නාම ලේඛනවලින් කොටසක් ප්‍රදර්ශනය කළ පසු පාසලින් නික්මගිය විදුහල්පති අතුල විජේවර්ධන නැවත පාසලට පැමිණියේ නැති බවයි.
මේ පැමිණිල්ල සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු කියා සිටියේ මහින්ද විද්‍යාලයේ 2023 වර්ෂය සඳහා නව සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයේ අක්‍රමිකතා කිහිපයක් ගැන පැමිණිලි ලැබී තිබෙන බවයි. ඒ සම්බන්ධ ඉදිරියේ දී තීරණයක් ගන්නා බැවින් විස්තර කීමට නොහැකි බව ද ප්‍රකාශ කළේය.
(rata.lk වෙබ් අඩවිය මාධ්‍ය ආචාරධර්ම ආරක්ෂා කරයි. අපගේ වෙබ් අඩවියේ පළකරනු ලබන යම් පුවතක් හෝ ලිපියක් හේතුවෙන් කිසියම් පාර්ශවයක් අගතියට පත්වන්නේ යැයි හැඟෙන්නේ නම් ඔවුන්ට පිළිිතුරු දීමේ අවස්ථාව ලබාදීම අපගේ ප්‍රතිපත්තියයි. මෙම ලිපිය සම්බන්ධයෙන් කරුණු දැනගැනීමට විදුහල්පතිවරයා සම්බන්ධ කරගැනීමට අප උත්සාහ කළේ එබැවිනි. නමුත් ඔහු සම්බන්ධ කරගත නොහැක. මෙම පුවත සම්බන්ධයෙන් යම් පාර්ශවයක් අගතියට පත්වන්නේ නම්, එම පාර්ශවය හෝ පුද්ගලයන් විසින් කරනු ලබන කරුණු පැහැදිළි කිරීම් ද මේ හා සමාන ඉඩක් ලබා දෙමින් පළකිරීමට අපි බැඳී සිටින්නෙමු.)