9.9 C
New York

බදු සල්ලි බිලියන ගණන් පිල්ලි ගහලා ? විගණකාධිපතිටත් විස්තර දෙන්න බෑ කියයි

Published:

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරිමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමට යැයි පවසමින් ඒ සඳහා මෘදුකාංගයක් සෑදීමට  යැයි කියමින්, රුපියල් කෝටි 1,000ක් හෙවත් රුපියල් බිලියනයක් අපතේ යවා ඇතැයි වාර්තා වේ.

සෑදුවා යැයි කියන මෘදුකාංග පද්ධතිය කිසිම ප්‍රයෝජනයකට ගෙන නැති අතර එම පද්ධතිය වැඩිදියුණු කිරීමට යැයි පවසමින් වරින් වර තවත් කෝටි ගණනක් වැයකර තිබේ.

මෙම කරුණු අනාවරණය වන්නේ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) රැස්වූ අවස්ථාවේ දී ය. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ ප්‍රධානත්වයෙන් 24 වැනි දා පැවැති රැස්වීමේ දී මේ බව අනාවරණය විය.

විගණකාධිපතිවරයා පවසන්නේ එම පද්ධතිය සම්බන්ධයෙන් සේවා ගිවිසුම සහ ඊට අදාළ මුදල් ගෙවීම් පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් තමන්ට පවා ලබා නොදෙන බවයි.

ගිවිසුමට අනුව එම තොරතුරු විගණකාධිපතිවරයාට දිය නොහැකියැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන බව විගණකාධිපතිවරයා කෝපා කමිටුවේ දී කීවේය.

ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය හෙවත් රැමිස් (RAMIS) පද්ධතිය කාර්යක්ෂම කිරීමට අනු කමිටු දෙකක් පත්කිරීමට කෝපා කමිටුව කටයුතු කළේය.

මෙම තොරතුරු පද්ධතිය නිර්මාණය කර ඇත්තේ 2014 වර්ෂයේ දී ය. මේ දක්වාම එය ප්‍රයෝජනයට නොගැනීම සම්බන්ධයෙන් විමසූ විට පවසන්නේ 2017 වර්ෂයේ දේශීය ආදායම් පනත සමඟ යාවත්කාලීන කිරීමේම අවශ්‍යතාවක් ඇති බවයි.

මෙම ගිවිසුම රජයන් දෙකක් අතර ඇතිකරගත් ගිවිසුමක් නිසා එහි ඉදිරි කටයුතු වෙනුවෙන් රජයේ මැදිහත්වීම යෝග්‍ය බවත් සිංගප්පූරු සමාගම සමඟ ඇති ගිවිසුම අනුව එම ගිවිසුමේ පිටපත් කිසිම පුද්ගලයකුට ලබාදිය නොහැකි බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසයි.

Related articles

Recent articles

spot_img