නාලක ගුණවර්ධන [email protected]
COVID-19 වසංගතයේ දෙවන රැල්ල ප්‍රබල ලෙසින් රට පුරා පැතිර ගොස් ඇති මේ අවස්ථාවේ වසංගත කළමනාකරණය මීට වඩා ප්‍රශස්ත කරන්නේ කෙසේද යන්න යළිත් සාකච්ඡා වනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලතල හොබවන වෛද්‍යවරුන් බොහෝ විට සරසවි වෛද්‍ය පර්යේෂකයන් හෝ ස්වාධීන වෛද්‍ය පර්යේෂකයන් නොමිලයේම ලබා දෙන විද්වත් උපදෙස් නොතකා හරින බවක් ද පෙනෙනවා.
මහජන සෞඛ්‍යය ගැන දෙස් විදෙස් අත්දැකීම් බහුල ලාංකික විද්වතකු කොරෝනාවේ අලුත් අභියෝග ගැන කරන විග්‍රහයක් අද මා බෙදා ගන්නවා.
සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (Institute of Health Policy, http://www.ihp.lk) නමැති ස්වාධීන පර්යේෂණ ආයතනයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය රවී රන්නන් එලිය, සෞඛ්‍ය සේවා සැලසුම්කරණය, ඒවායේ සාධාරණත්වය සහ මහජන මුදල් නිසි ලෙස සෞඛ්‍ය සේවා සඳහා යෙදවීම ආදී විෂයයන් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ආයතනවලට විද්වත් උපදෙස් දෙන ලොව පිළිගත් විශේෂඥයෙක්.
අමෙරිකාවේ හාවර්ඩ් සරසවියෙන් ආචාර්ය උපාධිය ලබා ඇති ඔහු, දත්ත මත පදනම් වී සහ තුලනාත්මකව විද්වත් මතය ප්‍රකාශ කරමින් පොදු උන්නතිය වෙනුවෙන් හඬ නගන (එහෙත් ජනමාධ්‍ය හරහා ප්‍රතිරූප ගොඩ නංවා ගන්නට තැත් නොකරන) අයෙක්.
COVID-19 අර්බුදය මුල සිටම ඔහු සිය දැනුම සහ අත්දැකීම මත පදනම් වී කරන විග්‍රහයන් අඩංගු විද්වත් ලිපි ඉංග්‍රීසි පුවත්පත්වලට ලියමින් සිටිනවා. එසේම එයින් සමහරක සිංහල පරිවර්තන තමන්ගේම බ්ලොග් අඩවියක් හරහා බෙදා ගන්නවා. http://www.ihp.lk/blogs/ravi/
එහෙත් ඔහුගේ ස්වාධීන විග්‍රහ හා උපදෙස් ඇති තරම් මෙරට ජනමාධ්‍ය හෝ රාජ්‍ය අවධානයට යොමු වී නැහැ. මෙය කණගාටුදායක කරුණක්.
2020 ඔක්තෝබර් 29 වනදා Daily Mirror පත්‍රයේ ලිපියක් ලියමින් කොරෝනා දෙවන රැල්ල පිළිබඳව වෛද්‍ය රවී රන්නන් එලිය ස්වාධීන විග්‍රහයක් කළා. මෙතැන් සිට ඉදිරිපත් කරන්නේ එහි අනුවාදයක්. [ඔහු මුල් ලිපිය ලියූ උත්තම පුරුෂ ඒක වචනයෙන්ම එය අනුවාදිතයි.]
කොරෝනා ආසාදන නැවත වරක් සීග්‍රයෙන් වැඩි වීම සමඟ ශ්‍රී ලංකාව පැමිණ සිටින්නේ ප්‍රපාතයක අභිමුඛයට බව පෙනෙනවා. අප දැන්වත් වසංගත ප්‍රතිචාර ක්‍රමවේදය වෙනස් නොකළොත් තත්ත්වය බෙහෙවින් දුෂ්කර විය හැකියි. එය හුදෙක් පාලනය කළ නොහැකි වසංගතයක් පමණක් නොව ආර්ථික වශයෙන් විශාල ගරා වැටීමකට ද තුඩු දෙනු ඇති.
අප මෙතැනට ආවේ කෙලෙසකින් ද යන්නට වඩා වැදගත් වන්නේ අප මෙතැන් සිට කරන්නේ කුමක්ද යන්නයි. මිනුවන්ගොඩ ආසාදන පොකුර ඇරඹුනේ කොතනින්ද, එයට වගකිව යුත්තේ කවරහුද, මේ වන විට කොරෝනා වෛරසය ප්‍රජා ව්‍යාප්ති (community spread) මට්ටමක පැතිර තිබේ ද ආදිය ගැන දිගටම තර්ක කරමින් සිටියොත් අප හමුවේ තිබෙන දැවැන්ත අභියෝගයට මුහුණ දිය නොහැකි වනවා.
මිනුවන්ගොඩ ආසාදන පොකුර පමණක් නොවෙයි, කන්දකාඩු පොකුර ද ඇරඹුනේ කොතැනින්ද යන්න සොයා ගත නොහැකිව තිබෙනවා. කොරෝනා වෛරසය සාර්ථක ලෙස පාලනය කළ චීනය, වියට්නාමය සහ නවසීලන්තය වැනි රටවල ද ආරම්භය නොපැහැදිලි ආසාදන පොකුරු පැවතියා. එය අසාර්ථකත්වය පිළිබඳ සාධකයක් නොවෙයි.
වඩා තීරණාත්මක වන්නේ තැනින් තැන මතු වන ආසාදන පොකුරුවලට රටක් දක්වන ප්‍රතිචාරය කුමක් යන්නයි. අප අසමත්ව තිබෙන්නේ එතැනයි!
අපේ රටේ අලුත් ආසාදන පොකුරක් සොයා ගත් සෑම අවස්ථාවකදීම එය ඇති තරම් කල් තබා හඳුනා ගන්නට නොහැකි වුණා. එයට හේතුව කොරෝනා සඳහා නිතිපතා PCR පරීක්ෂාවන් ඇති තරම් සිදු නොවීමයි. [දින ගණනක් යන තුරු බොහෝ ආසාදිතයන් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන නිසා, ආසාදන හඳුනා ගැනීමට ඇති එකම නිශ්චිත ක්‍රමය PCR පරීක්ෂාවන් සිදු කිරීමයි.]
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනයට අනුව කොරෝනා වෛරසයේ ප්‍රජා ව්‍යාප්තිය මෙරට සිදුව ඇත්ද යන්න ගැන විවාද කරනවාට වඩා හදිසි අවශ්‍යතාවය වන්නේ රටේ බොහෝ ප්‍රදේශවල වෛරසය පැතිර තිබෙන බව තේරුම්ගෙන එය මර්දනයට අවශ්‍ය නිසි පියවර ඉක්මනින් ගැනීමයි.
උදාහරණයකට මිනුවන්ගොඩ/බ්‍රැන්ඩික්ස් ආසාදන පොකුර සලකා බලමු. ශ්වසන රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් ගැන දින ගණනාවක් තිස්සේ දැන සිටියත් ඔවුන් කිසිවකු PCR පරීක්ෂාවකට ලක් වූයේ නැහැ.
දැනට හඳුනාගෙන තිබෙන මුල්ම රෝගී කාන්තාව රෝහල් ගත වූ විට පවා ඇයට එම පරීක්ෂාව සිදු කෙරුණේ නැහැ. ඇය COVID-19 ආසාදිත බව සොයා ගත්තේ රෝහලෙන් පිටව යන මොහොතේදීයි. එය අපි පළමුවන ‘රතු එළිය’ ලෙස සලකමු.
ඒ තීරණාත්මක දින කිහිපය තුළ ඇයගෙන් නොදැනුවත්ව වෛරසය තව බොහෝ දෙනෙකුට පැතිරෙන්න ඇති. PCR පරීක්ෂාවන් වැඩි කරන්නැයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රසිද්ධියේම උපදෙස් දී තිබියදීත්, සෞඛ්‍ය බලධාරීන් එයට නිසි ප්‍රමුඛතාවය නොදුන්නේ ඇයි?
ඊළඟ රතු එළිය දැල්වුනේ මිනුවන්ගොඩ කර්මාන්තශාලා සේවිකාවන් රාශියක් ආසාදිතයන් බව පරීක්ෂාවන් හරහා හෙළි වීමෙන්. එයින් පෙනී යන්නේ දින හෝ සති ගණනක් තිස්සේ මෙම වෛරසය ඒ ආශ්‍රිතයන් අතර බෝ වෙමින් තිබූ බවයි.
මේ දත්ත මතු වූ පසු සෞඛ්‍ය බලධාරීන් ඉක්මනින් තේරුම්ගත යුතුව තිබුණේ මේ වසර මුල අප මුහුණ දුන් කොරෝනා පළමුවන රැල්ලට වඩා මෙය ඉතා බරපතළ තත්ත්වයක් බවයි.
මිනුවන්ගොඩ ආසාදන පොකුර, ඊට පෙර මතු වූ ආසාදන පොකුරුවලට වඩා විසිර පැතිර ගිය එකක්. මෙම ආසාදිතයන්, වැලිසර හෝ කන්දකාඩු ආසාදන පොකුරුවලදී මෙන් තනි පරිශ්‍රයක පදිංචි වූවන් නොවෙයි. විවිධ නිවෙස්වල පදිංචි මිනුවන්ගොඩ ආසාදිතයන්ට විවිධාකාර ආශ්‍රිතයන් සිටියා.
මේ අතර වසර මැද සිට මාධ්‍ය හරහා වැඩිපුරම අපට අසන්නට ලැබුනේ ‘ශ්‍රී ලංකාව කොරෝනා ආසාදනය ජය ගෙන ඇති’ බවයි. එම නිසා, මිනුවන්ගොඩ ආසාදිතයන් (තමන් ආසාදිත බව නොදැනම) පවුලේ උදවිය සහ හිතමිතුරන් ඇසුරු කරමින් සාමාන්‍ය පරිද්දෙන් ගමන් බිමන් යාමට පටන්ගෙන තිබුනා. එබැවින් මිනුවන්ගොඩින් මතු වූ ආසාදන රටේ පැතිර යන්නට ගත වුණේ කෙටි කාලයක්.
මිනුවන්ගොඩින් මතුවූ වෛරසය ඉක්මනින් සහ පුළුල්ව පැතිර යාමට හේතුව නම් අප ඇති තරම් PCR පරීක්ෂාවන් අහඹු ලෙස නොකිරීමයි. නිතිපතා පරීක්ෂාවන් නොකරන විට අප කිසිවකුත් නොදැනම සමාජයේ වෛරසය පැතිරිය හැකියි.
ආසාදන පොකුරක් මතු වූ පසුව ලහිලහියේ PCR පරීක්ෂාවන් වැඩි කළ විට COVID-19 ආසාදිතයන් වැඩියෙන් හමුවීම ස්වාභාවිකයි. එවිට බැලූ බැල්මට පෙනෙන්නේ වෛරසය ඉතා වේගයෙන් පැතිරෙන බව වුවත්, ඇත්තටම ආසාදන සංඛ්‍යාව වැඩි වීමට ආසාදන ඉහළ යාම මෙන්ම ඒවා වැඩිපුර සොයා ගැනීමත් යන සාධක දෙක ම දායක වනවා.
2020 මාර්තුවේ ඉතාලියේ සහ ස්පාඤ්ඤයේ ආසාදන ඉතා සීග්‍රයෙන් පැතිර යන විටද මෙබන්දක්ම සිදු වුණා. මුලදී ඔවුන් සිතුවේ රටටම ආසාදන පැතිර වූ super-spreader ලෙස නම් කරන සිදුවීම් මෙයට හේතු වූ බවයි.
එහෙත් පසුව සොයා ගත්තේ සති ගණනක් තිස්සේ කිසිවකුත් නොදැන කොරෝනා වෛරසය ටිකෙන් ටික ඒ රටවල පැතිරී තිබුණු බව සහ පසුව පරික්ෂා කරන්නට ගත් විට ඒවා මහා පරිමාණයෙන් සොයා ගැනුණු බවයි.
මෙයින් ගත යුතු පාඩම ආසාදන සංඛ්‍යා විග්‍රහ කරද්දී ඉතා ප්‍රවේශම් විය යුතු බවයි.
මිනුවන්ගොඩින් පැතිර ගිය ආසාදනය පුළුල් වයස් පරාසයක පුද්ගලයන්ට වැළඳී ඇති බව දත්තවලින් පෙනෙනවා. වයස වැඩිවත්ම ආසාදනයට ඇති ඉඩකඩ ද ඉහළ යනවා. වයසින් වැඩි අයට වෛරසය ආසාදනය වූ විට ඔවුන් රෝග ලක්ෂණ පහළ කිරීමට ද වැඩි ඉඩක් තිබෙනවා. රෝග ලක්ෂණ පහළ වූ විට ඔවුන් අතින් රෝගය අන් අයට පැතිරීමට වැඩි හැකියාවක් තිබෙන බව ද පර්යේෂණවලින් පෙනෙනවා.
මේ සාධක නිසා මෙවර ආසාදනවලින් මිය යන සංඛ්‍යාව මෙන්ම රෝහල්ගත වන සංඛ්‍යාව ද කලින්ට වඩා වැඩි වීමක් පෙනෙනවා. මුල් වටයේ දී ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව සීමිත වූයේ ආසාදනයට ලක් බොහෝ දෙනා වයසින් අඩු පුද්ගලයන් වූ නිසයි.
වෛරසය ශරීරගත වී දින හා සති ගණනාවක් තිස්සේ රෝගී තත්ත්වය උග්‍ර වූ පසුවයි ටික දෙනකුට මරණය අත් වන්නේ. මෙවර වාර්තා වන COVID-19 මරණවලින් සමහරක් රෝගීන් රෝහල්ගත විගසම මිය ගියා යයි මාධ්‍ය වාර්තා කළා. සමහරුන්ගේ ආසාදිත තත්ත්වය තහවුරු වූයේ මියගිය පසු කළ පරීක්ෂාවලින්. මෙසේ වන්නේ සති ගණනක් තිස්සේ කිසිවකුත් නොදැන වෛරසය සමාජයේ පැතිරෙමින් තිබූ නිසා විය යුතුයි.
අවසාන රතු එළිය ලෙස මා දකින්නේ මෙරට සෞඛ්‍ය සේවාවට මෙම වසංගතය කළමනාකරණය කරන්නට හැකි ධාරිතාවේ සීමා ළඟා වෙමින් තිබෙන බව පෙනීමයි. නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ නොමැති වීම නිසා විදෙස්ගත ශ්‍රීලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම යළිත් සීමා කරන්නට සිදුව තිබෙනවා. ආසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයන් (first contacts) පෙර මෙන් නිරෝධායන මධ්‍යස්ථානවලට නොයවා නිවසේම ස්වයං නිරෝධායනය වීමට සලස්වන්නේ ද මධ්‍යස්ථානවල ඉඩ මදි වීම නිසයි.
PCR පරීක්ෂාවන් දවසකට 10,000 පමණ සිදු කළත් මේ වන විට එයද සෑහෙන්නේ නැහැ. පරීක්ෂාවන් ප්‍රමාණය තවත් වැඩි කිරීම සඳහා මහජන සෞඛ්‍ය පද්ධතියට ධාරිතාවක් නැති බව සෞඛ්‍ය බලධාරීන් දැන් පිළිගෙන තිබෙනවා. ධාරිතාව වැඩිකර ගැනීමට ගෙවී ගිය මාස කීපය තිස්සේ ඇති තරම් පියවර නොගැනීමෙහි විපාක දැන් අත්විඳිනවා.
මේ දුෂ්කර අභියෝග හමුවෙහි කුමක් කළ හැකිද?
මහජනයාට පැය 48ක දැනුම්දීමකින් පසුව මුළු රටටම බලපාන පරිදි දින 14ක නිවාස අඩස්සිය හෙවත් lock-down එකක් කළ යුතුයි. බස්නාහිර පළාතට පමණක් එවැනි සීමාවක් පැනවීම සෑහෙන්නේ නැහැ. අප COVID-19 සඳහා රෝග ආවේක්ෂණය ඇති තරමට හා දිගටම නොකළ නිසා මේ වන විට වෛරසය කෙතරම් දීප ව්‍යාප්ත වී ඇතිද යන්න කීමට නොහැකියි. දැන්වත් ප්‍රවේශම්කාරී පියවර හැකි තරම් ගැනීම අවශ්‍යයි.
එවන් ලොක්ඩවුන් එකක් දීප ව්‍යාප්තව සිදු කළත් එයද නොසෑහෙන්නට පුළුවනි. වෙනත් දියුණු වන රටවල කොරෝනා පැතිරීම ලොක්ඩවුන් හරහා මුළුමනින් පාලනය නොවූ බවට සාක්ෂි තිබෙනවා. එසේ වුවද අලුත් ආසාදන පොකුරු මතුවීම නම් ලොක්ඩවුන් මගින් සමනය කර ගත හැකියි.
ජනාධිපතිවරයා සිය ධුර කාලයේ කිරීමට අපේක්ෂා කරන සංවර්ධන සැලසුම් සියල්ල කොරෝනා වසංගතය නිසා අඩාලවීමේ අවදානමක් තිබෙනවා.
මේ අර්බුදය උග්‍ර වීමට හේතු ලෙස මා දකින්නේ වසංගතය හරිහැටි කළමනාකරණයට සෞඛ්‍ය නිලධාරීන් අසමත් වීම සහ රජයට උපදෙස් දෙන වෛද්‍ය විශේෂඥයන්ගේ ගතානුගතික චින්තනයයි.
මේ මොහොතේ සියලු ප්‍රයත්නයන් ගත යුත්තේ දිනපතා PCR පරීක්ෂාවන් 50,000 පමණ සිදු කිරීමට කෙසේ හෝ ධාරිතාව වැඩි කර ගැනීමටයි. සමහර සෞඛ්‍ය බලධාරීන් මෙයට නෑ-බෑ කියනු ඇති. එහෙත් ‘කිසිදා පරාජය කරන්නට බැරි’ යයි සලකන ලද කොටි සංවිධානය හමාර කිරීමේ වගකීමට උර දුන් වත්මන් ජනාධිපතිවරයාට, මේ වසංගතය මෙල්ල කිරීමට අවශ්‍ය නායකත්වය දිය හැකියි.
වත්මන් කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගත් විට ද, නව යථාර්ථය තුළ ‘කොරෝනා සමග වාසය’ කිරීමට අපට අනුගත වන්නට සිදුවෙයි. [ආසාදනයෙන් බේරීමට සාර්ථක සහ ආරක්ෂාකාරී එන්නතක් ලැබෙන්නට තව මාස කිහිපයක් ගත වනු ඇති.]
උගුරේ කැසිල්ලක්, හොටු ගැලීමක් වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ මතු වූ හැම විටෙකම ලෙහෙසියෙන් සහ නොබියව COVID-19 සඳහා PCR පරීක්ෂාවක් කර ගැනීමේ පහසුකම මෙරට සියළු පුරවැසියන්ට ලබා දීම අවශ්‍යයි.
එසේ පරික්ෂා කිරීමේදී COVID-19 ආසාදිත යයි තහවුරුවන පුද්ගලයන් කිසිදු පීඩාවකට ලක් නොවන පරිදි සියුම් ලෙස ප්‍රතිචාර දැක්විය යුතුයි. රෝගියා හුදකලා කොට හැකි තාක් නිවසේ සිටම ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය සූදානම ඇති කළ යුතුයි.
මහා පරිමාණයෙන් නිතිපතා PCR පරික්ෂා කිරීමේ උපායමාර්ගය අනුගමනය කරන රටවල හිටි අඩියේ විශාල ආසාදන පොකුරු මතුවීම වළක්වා ගන්නට හැකිව තිබෙනවා. නිරන්තර මුහුණු වැස්ම හෝ lockdownවලින් තොරව ටිකෙන් ටික සාමාන්‍ය ජන ජීවිතයකට යළි පිවිසීමට ඒ හරහා කෙමෙන් ඉඩ පාදා ගත හැකියි.
අවසන් වශයෙන් මා අවධාරණය කරන්නේ මෙයයි. COVID-19 සාර්ථකව මැඩ පැවැත්වීම කළ රටවල් ඒ සඳහා ගත් ක්‍රමෝපායන් අප අධ්‍යයනය කොට ඒවායෙන් පාඩම් උගත යුතුයි. ඒ රටවල සාර්ථකත්වයට හේතුව ඇත්තේ ගතානුගතික විශේෂඥ උපදෙස් වෙනුවට මේ දැවැන්ත නව අභියෝගයට ගැලපෙන පරිදි අලුතෙන් සිතීමයි. ගතානුගතිකත්වයට මුල් තැන දුන් බ්‍රිතාන්‍යයේ COVID-19 මර්දනය ලොකු අර්බුදයකට ගොස් තිබෙන හැටි මෙනෙහි කිරීමත් වැදගත්.
COVID-19 යනු අපට හුරුපුරුදු සාම්ප්‍රදායික බෝවන රෝගයක් නොවෙයි. ඒ නිසා සාම්ප්‍රදායික වසංගතවේදය මුල්කර ගෙන මේ වසංගතය කළමනාකරණය කරමින් යා හැකි දුර සීමිතයි.
අපේ මහජන සෞඛ්‍ය සේවාවේ වැඩිකොට ම සිටින්නේ දක්ෂ සහ කැප වූ නිලධාරී පිරිසක්. එහෙත් ඔවුන්ගේ දැක්මේ සීමාවන් ඇති බව පැහැදිලියි. සමස්ත වසංගත නිවාරණ උපාය මාර්ග (overall pandemic strategy) සඳහා රාජ්‍ය සෞඛ්‍ය තන්ත්‍රයෙන් පරිබාහිර ස්වාධීන විශේෂඥ උපදෙස් ලබා ගැනීම අවශ්‍ය යයි මා විශ්වාස කරනවා. ඩේලිමිරර් පත්‍රයේ මුල් ලිපිය මෙතැනින් කියවන්න: https://bit.ly/2I3mO1q
(මෙය රාවය පුවත්පතේ 2020-11-09 දින කලාපයේ “සිව්මංසල කොලුගැටයා” විශේෂාංගය සඳහා ලියන ලද්දකි)