තර්ස්ටන් සිසුන් රැගත් බස් රථයක් වෑන් රථයක් සහ ත්‍රී රෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතර හේතුවෙන් පාසල් සිසුන් 03 දෙනකු ඇතුළු 07 දෙනකුගේ ජීවිත අහිමි වුණා.
අධ්‍යාපන ඇමති, හිටපු ජනාධිපති, වර්තමාන ජනාධිපති ඇතුළු රට කරවන ඇත්තන් සහ බොහෝ මාධ්‍ය ආයතනත් සුළු තුවාල ලැබූ තර්ස්ටන් සිසුන් ගැන දැඩි අවදානයක් යොමු කරද්දී ඊයේ මහ පොළොවේ මිහිදන් වූ එකම පවුලේ දරුවන් තුන්දෙනා ගැන අවදානයක් යොමු වුණේ ඉතාමත් අඩුවෙන්.
එක පාසලක, සිසුන් රැගත් බස් රථ 14කින් එකක් පෙරැළී ඇති බවත් මරණ 07ක් සිදුවී ඇති බවත් ප්‍රචාරය වනවිට රටක් ම සෝ සුසුම් හෙළන එක සාධාරණයි. එය අරුමයක් නොවෙයි. ඒ දරුවන්ගේ දෙමාපියන් දැඩි සේ කලබල වී තම දරුවන් ගැන සෙවීම වරදක් නැහැ.
නමුත්, තර්ස්ටන් සිසුන්ට කරදරයක් නැති බවත්, අනතුරට පත්ව මියගොස් ඇත්තේ නුවරඑළියේ පිරිසක් බවත්, මියගිය පාසල් සිසුන් තිදෙනාත් කොළඹ ජනප්‍රිය පාසලක සිසුන් නොවන බවත් ප්‍රචාරය වුණු ආකාරය පිළිබඳව වගේ ම ඉන් පසුව රට කරවන ඇත්තන්ගේ සිට කොළඹ ජන සමාජය හැසිරුණු ආකාරය පිළිබඳවනම් අපට නැවත සිතා බැලිය යුතු වෙනවා.
තර්ස්ටන් සිසුන් රැගත් බස් රථය පැදවූ රියදුරා බස් සහ බර වාහන ධාවනය තහනම් මාර්ගයක සිය බසය පැදවූයේ කෙසේ ද ? අනතුරුදායක වංගු සහිත ලිස්සන සුළු මාර්ගයක් බවත්, නියමිත මංතීරුවේ පමණක් ධාවනය කරන ලෙසත් සදහන්ව තිබිය දී ඔහු වැරදි පැත්තෙන් අධික වේගයකින් රිය ධාවනය කළේ කෙසේ ද ? සොයා බැලිය යුතුයි. අධ්‍යාපන චාරිකාවක් යාමට පෙර බසයේ ගුණාත්ක තත්වයි පරීක්ෂා කර බැලුවා ද යන්නත් විමසිය යුතුයි.
මාර්ග අනතුරු ඕනෑ තරම් සිදුවනවා. තව කාලයක් ජීවත් විය යුතු පුද්ගලයන් මහ මඟ මිය යනවා. මේ මාරාන්තික අනතුරුවලින් සැළකිය යුතු ප්‍රමාණයකට පෞද්ගලික බස් රථ වග කිව යුතු බව නොරහසක්.
පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවා ඊයේ (21) මාධ්‍ය සාකච්ඡාවක දී කියා සිටියේ තර්ස්ටන් සිසුන් සහිතව අනතුරට පත්වූ බස් රථය මාර්ගවල මගී ප්‍රවාහන බලපත්‍රයක් නොමැති විශේෂ චාරිකා සඳහා පමණක් යන බසයක් බවයි. එමෙන්ම ඒ බසයේ ඇතුළත රාත්‍රී සමාජශාලාවක් හා සමානයැයි ද ඔහු චෝදනා කළා. මෙවැනි බස් රථ තෝරාගැනීමට පෙර ඒ ගැන සොයා බැලිය යුතු බවත්, අධ්‍යාපන චාරිකා විනෝද චාරිකා කරන නොගෙන නිසි ප්‍රමිතියක් සහිත බස් රථ තෝරා ගැනීම කළ යුතු බවත් ඊයේ කියා සිටියේ පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා. අනතුරට ලක්වූ බසය තෝරාගත් ආකාරය සම්බන්ධයෙන් පාසල් බලධාරීන් ද වගකිව යුතුයැයි ඔහු කියා සිටියා.
ඇත්තටම, ශ්‍රී ලංකාවේ රිය අනතුරකින් මියයන හෝ ආබාධිතවන පුද්ගලයකුට සැබෑ සාධාරණයට ඉටු වෙනවා ද කියා විමසා බැලිය යුතුයි.
තර්ස්ටන් සිසුන් කිසිවකුට බරපතල තුවාල නෑ. මියගිහින් තියෙන්නේ නුවරඑළිය පැත්තේ ම කට්ටයික් යැය කියූ විට “ ඇති යාන්තම්”, “එහෙනම් කමක් නෑ” කියූ පිරිසක් ද අප අතරම සිටියා. මාධ්‍ය ආයන පවා හැසිරුණේ ඒ ආකාරයෙන්.
මේ මහා සමාජයේ එක් කුඩා නියැදියක් පමණයි. එයින් ප්‍රතිමූර්තිමත් කරන්නේ අපේ දැවැන්ත ජන සමාජයේ තත්වය.
පහළින් අපි උපුටා දක්වන්නේ වෛද්‍ය වරයකු වන නිශාන් සිල්වා (Nishan Silva) තමන්ගේ සහ තම සමීපතමනයන්ගේ ජීවිත වෙනස් කරපු හදිසි අනතුරක් ගැන සිය Facebook ගිණුමේ තැබූ සටහනක්. අදින් වසර 13කට පමණ පෙර ඔහු අනතුරට ලක්ව තිබෙනවා. නමුත් අපේ රටේ අනතුරු සම්බන්ධයෙන් තවමත් ක්‍රියාත්මක වෙන්නේ එදා දෙයම තමයි
= = = = = = = = = = = = =
2010 සැප්තැම්බර්.
අපේ ජිවිත සදහටම වෙනස් කරපු අනතුර. මාතර-කොළඹ බස් එකක් ඩබල් ලයින්ස් කපාගෙන තව බස් එකක් ඉස්සර කරගෙන ආවේ. මම එලවපු වෑන් එක කානුවකට දාලයි මෙහෙමවත් බේරගත්තේ. වෑන් එකේ අපි 8 දෙනාම ඉස්පිරිතාලේ. මම දවස් 59 ක්. සර්ජරීස් 8යි. මමත් අම්මත් සදාකාලික ආබාධ එක්ක. ආපහු ඉස්පිරිතාලේ වැඩට ගියේ මාස 21 කට පස්සේ කිහිලි කරු වලින්. මගේ career එකම වෙනස් වුනා. බස් ඩ්රයිවර් දවස් 5ක් රිමාන්ඩ් හිටිය. අයෙත් ඒ බස් එකම එලවනවා. බස් ඩ්රයිවර් 125,000 දඩයක් ගෙව්වා අවුරුදු 2ක් නඩු කියල. අවුරුදු 8 1/2 කට පස්සේ ඉන්ෂුවරන්ස් එකෙන් මිලියනයක් ගෙව්වා. නුවර එළියේ අනතුර දැකලයි මේක මම දාන්නේ. මොනවද වෙනස් වෙලා තියෙන්නේ?
= = = = = = = = = = =
අපි නැවතත් ප්‍රශ්න කරනවා. මොනවද වෙනස් වෙලා තියෙන්නේ ?