spot_img
spot_imgspot_img

දරුවන් රෝහලේ, විදුහල්පතිනිය නිදැල්ලේ. විනය හදන්න ගහපු බව කියයි. පොලිසිය නිහඬයි

පුවත්

විදෙස්

තම දරුවන්ට ශාරීරික තුවාල සිදුවන ආකාරයෙන් අමානුෂික ලෙස පහර දුන් ජර්මන් ජාතික කාන්තාව වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න යැයි ඉල්ලමින් දෙමාපියන් පිරිසක් අද (15) සවස ඌරගස්මංහන්දිය පොලිසිය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරතවූහ.

ඇල්පිටියේ මොරගොඩ ප්‍රදේශයේ KSF College නමින් පාසලක් ජර්මන් ජාතිකයන් පිරිසක් විසින් පවත්වාගෙන යයි. ජර්මන් යුවළක් මෙම පාසල ආරම්භ කර ඇති බවත්, ඔවුන්ගේ  දියණියක් විදුහල්පති ධූරය දරන බවත් දෙමාපියෝ කියති.

පසුගිය 11 වැනි දා මේ පාසලේ නේවාසිකාගාරයේ ජල කරාමයකින් වතුර අපතේ යැවූ බව පවසමින් එහි සිටි සිසුවියන් සියලු දෙනාට අමානුෂික ලෙස පහර දී ඇත. ඒ පිළිබඳ එක් ශිෂ්‍යාවක් තම දෙමාපියන්ට දැනුම් දීම හේතුවෙන් එම දැරිය අඳුරු කාමරයකට දමා දැඩි ලෙස පහර දී ඇති අතර මානසික වදහිංසා ද පමුණුවා තිබේ. පහරකෑමට ලක් වූ දැරියන් අතරින් 04 දෙනකුට තුවාල සිදුව තිබූ බැවින් ඔවුන් ‍රෝහල්ගතව ප්‍රතිකාර ලබා තිබේ.

දැරියන් පිරිසකට කැට්රිනා නමැති විදුහල්පතිනිය අමානුෂික ලෙස පහර දී ඇති අතර දෙමාපියන් කිහිප දෙනකු එම පහරදීම සම්බන්ධයෙන් විදුහල්පතිනියගෙන් විමසන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පවා අප සතුව ඇත.

එම වීඩියෝවේ දැක්වෙන්නේ දෙමාපිය්න ඒ ගැන විමසන අවස්ථාවේ දී ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන විදුහල්පතිනිය බව කියා ගන්නා තැනැත්තිය “මේ පාසල මගේ” යනුවෙන් පවසන ආකාරයයි. KSS යනු තම නම බවත්, පාසල පාලනය කරන්නේ තමන්ගේ තීරණ අනුව බවත් ඇය පවසයි. දරුවන්ගේ විනය හැදීමට පහරදුන් බවත් මෙම විදුහල්පතිනිය යැයි කියාගන්නා කාන්තාව පවසයි. ඒ අවස්ථාවේ දී පාසලේ ගුරුවරුන් යැයි කියා ගන්නා පිරිසක් ද කැට්රිනා නමැති එම කාන්තාවගේ ප්‍රකාශය අනුමත කරන ආකාරය දක්නට ලැබෙයි.

දරුවන්ට තුවාල සිදුව ඇති බැවින් ඒ පිළිබඳ දෙමාපියන් විසින් 11 වැනි දා ම ඌරගස්මංහන්දිය පොලිසියට පැමිණිලි කර ඇත. දරුවන් ඊයේ (14) වැනි දා සවස දක්වා රෝහල්ගතව ප්‍රතිකාර ලැබුව ද පොලිසිය මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර නැත.

දෙමාපියන් පවසන්නේ පොලිසිය ‍හෙට (16) වැනි දා සිද්ධිය සමථයකට පත්කිරීම සඳහා පැමිණෙන්න යැයි තමන්ට දැනුම් දුන් බවයි. දරුවන්ට අමානුෂික ලෙස පහර දී දරුවන් රෝහල්ගත කිරීමේ සිද්ධියක් දෙපාර්ශවය අතර පැවැත්වෙන සාකච්ඡාවකින් සමථයකට පත්කරන්නේ කෙසේ ද යන්න බරපතල ගැටලුවකි.

මේ සම්බන්ධයෙන් දෙමාපියන් විසින් ළමා ආරක්ෂණ අධිකාරියට ද පැමිණිලි කර ඇති අතර ළමා ආරක්ෂණ අධිකාරිය ද පොලිසියට නීතිය ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දී තිබේ. නමුත් සෙනසුරාදා සහ ඉරිදා දින දෙකෙහි කාර්යාල නිවාඩු බැවින් ඒ පිළිබඳ සඳුදා (16) සොයා බලන බව ද ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි.

මානව හිමිකම් සහ ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අජිත් කුමාර මේ සම්බන්ධයෙන් දරුවන් වෙනුවෙන් මැදහත් වී සිටින අතර ඔහු පවසන්නේ පොලිසිය වහාම පහරදුන් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීම කළ යුතු බවයි. නමුත් පොලිසිය රටේ නීතිය ක්‍රියාත්මක නොකර ඒ සඳහා වෙනත් හේතු දැක්වීම කිසිසේත්ම නිවැරදි නොවන බව ද හෙතෙම පවසයි.

දෙමාපියන් චෝදනා කරන්නේ මෙම පාසල වදකාගාරයක් බවට පත්ව ඇති බවයි. පසුගිය දා මෙම පාසලේ නේවාසිකාගාරයේ සිටි ප්‍රධාන ශිෂ්‍යනායිකාවට ද අමානුෂික ලෙස පහර දී පාසලින් නෙරපා දමා ඇතැයි ද දෙමාපියෝ චෝදනා කරති.

අධ්‍යාපන නිලධාරීන් පවසන්නේ මේ පාසල අධ්‍යාපන අමාත්‍යාංශයේ විදේශ ඒකකය යටතේ අර්ධ රාජ්‍ය විදේශ අරමුදල් ලබන පාසලක් ලෙස ලියාපදිංචි වී ඇති බවයි. මේ හේතුවෙන් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රතිඵල අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිඵල ලේඛනවලට ඇතුළලත් කරගන්නා බව ද පාසලට පෙළපොත් ලබාදෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙම ප්‍රවෘත්තිය වාර්තා කිරීමේ දී පාසල පාර්ශවයෙන් යම් අයකු සම්බන්ධ කරගැනීමට නොහැකි වුව ද ළමුන් පහරදීමේ සිද්ධියේ ඇති ගැටලු සහගත බව හේතුවෙන් අපි එය වාර්තා කිරීමට තීරණය කළෙමු. මෙම වාර්තාව හේතුවෙන් පාසලේ පාර්ශවයට යම් අගතියක් සිදුවන්නේ නම් ඔවුන් විසින් කරනු ලබන පැහැදිළිකිරීමක් ද මේ හා සමාන ඉඩක් ලබාදෙමින් පළ කිරීමට අපි බැඳී සිටින බව ද දන්වා සිටිමු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!