spot_img
spot_imgspot_img

ධර්මාශෝක විද්‍යාලයේ සල්ලි දැමුවේ හෝටල් හිමියකුගේ පුද්ගලික ගිණුමකට. විදුහල්පතිනිය කිසිත් දන්නේ නැතිලු

පුවත්

විදෙස්

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සංවර්ධන කටයුතුවලට යැයි කියමින් මුදල් තැන්පත් කරන ලෙස දැනුම් දුන්නේ තමන්ගේ පුද්ගලික ගිණුමකට බව අම්බලන්ගොඩ හෝටල් හිමියකු පවසයි.

ඔහු මේ බව කියා මුදල් ගෙවීමෙන් අනතුරුව එම රිසිට්පත් යොමු කරන ලෙස සඳහන් කර තිබූ වට්ස්ඇප් අංකයට මාධ්‍යවේදියකු ඇමතුමක් ගත් අවස්ථාවේ දී එම අංකය භාවිතා කරන තැනැත්තා ඒ බව ප්‍රකාශ කළේය.

ඔහු පවසන්නේ මෙවැනි කතාවකි.

“ මගේ දුව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. උසස් පෙළ ගණිත හා ජීව විද්‍යා අංශයට සුදුසුකම් ලැබූ සිසු සිසුවියන්ගේ දෙමාපිය රැස්වීමක් තිබුණා. ඒකට 59 දෙනකු සහභාගී වුණා. ධර්මාශෝක විද්‍යාලයේ තියෙන අඩුපාඩු ගැන කියලා පුළුවන්නම් ඒ දේවල් හදල දෙන්න කියලා එක් මහත්තයෙක් කිව්වා. මේක ඉස්කෝලේ යෝජනාවක් තමයි. නමුත් බල කළේ නෑ. තමන් ළඟ සල්ලි තියාගත්තොත් වියදම් වෙයි කියලා බයට මේ වගේ ගාණක් එකතු කරන්න කිසිම කෙනෙක් කැමති වුණේ නෑ. ඒ නිසා මම මගේ ගිණුම් අංකය දීලා ඒ මුදල් තැන්පත් කරන්න කියලා වට්ස්ඇප් ගෲප් එකට දැම්මා. මේක මගේ පුද්ගලික ගිණුම් අංකයක් තමයි. සල්ලි එකතු කළේ ඉස්කෝලේ අඩුපාඩු හදන්න. හැම ඉස්කෝලෙ කම මේක වෙනවා. දෙන්නෙක් මට සල්ලි දුන්නා. ඒ දෙන්නගේ සල්ලිවල රිසිට් තිබෙනවා.”

ඔහු පවසන 59 දෙනකු සහභාගී වූ රැස්වීමේ දී දෙමාපියන් අතරින් භාණ්ඩාගාරික වරියක් පත්ව සිටියාය. ඇය පවසන්නේ එම අවස්ථාවේ ගත් තීරණයක් අනුව සමිතියක් පිහිටුවාගත් බවයි. එහි තමන් භාණ්ඩාගාරික බවත්. මුදල් එකතු කිරිම නවත්වන්න යැයි ධර්මාශෝක විදුහල්පතිනිය තමාට දැනුම් දුන් බවත් ඇය කියන්නීය.

විදුහල්පතිනි සනුජා ජයවික්‍රම පවසන්නේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ අඩුපාඩු කිහිපයක් සම්පූර්ණ කරගැනීමට යැයි කියමින් උසස් පෙළ පන්ති සඳහා ඇතුළත්වන සිසුන් පිරිසකගෙන් මුදල් එකතු කිරීමක් සිදුව ඇති බවයි. නමුත් ඊට තමන්ගේ කිසිම සම්බන්ධයක් නැතැයි ද ඇය මාධ්‍යයට කීවේ ය.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ අම්බන්ගොඩ ප්‍රදේශයේ ඇති කිසිම ජාතික පාසලක උසස් පෙළ පන්තියට ඇතුළු වන සිසු සිසුවියන්ගෙන් නීති විරෝධී මුදල් අය කිරීමක් වාර්තා නොවුණු බවයි. මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් කළ බව ද අමාත්‍යවරයා කීවේ ය.

සෑම පාසලකම පාසල් සංවර්ධන අරමුදලක් තිබේ. පාසලකට අව්‍ය සංවර්ධන කටයුතු සඳහා නීත්‍යානුකූල ලෙස ඕනෑම අයකුට එම අරමුදලට මුදල් පරිත්‍යාග කිරිමේ හැකියාවක් පවතී. නමුත් ඒ සඳහා රිසිට් පතක් නිකුත් කළ යුතුය. වර්ෂය අවසානයේ විගණනයට ද ලක්විය යුතුය. සැබැවින් ම විද්‍යාලයේ මෙවැනි භෞතික සම්පත් සංවර්ධන අවශ්‍යතාවක් තිබෙන්නේ නම් මුදල් පරිත්‍යාග කළ යුත්තේ පාසල් සංවර්ධන අරමුදලටය. නැතිනම් ආදි ශිෂ්‍ය සංගමයෙ අරමුදලට ද ඕනෑම අයකුට මුදල් පරිත්‍යාග කිරිමේ හැකියාව පවතී. නමුත් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ මුදල් එකතුකර ඇත්තේ හෝටල් හිමියකු විසින් ඔහුගේ පුද්ගලික ගිණුමකටය. එය වරදකි.

විදුහල්පතිනිය කලින් කීවේ මෙවැනි මුදල් එකතුකිරීමක් කිසිසේත්ම සිදුව නැති බවයි. එවැන්නක් සිදුව ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් විසින්ම පැමිණිලි කරන බව අපගේ මාධ්‍යවේදියකු විමසීමේ දී කියා තිබිණි. දැන් ඇය කියන්නේ කිසියම් පුද්ගලයකු විසින් මුදල් එකතුකර ඇති බවයි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලින් පවසන්නේ මේ මුදල් එකතුකිරීම පැහැදිළිව ම තහවුරු වී තිබෙන බැවින් දැන් විදුහල්පතිනිය ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කිරීම අවශ්‍ය බවයි.

“පාසල්වලට දරුවන් ඇතුළත් කරගැනීමේ දී පරිත්‍යාග කියමින් මුදල් එකතු කිරීම දැන් සෑම පාසලක ම පුරුද්දක් වෙලා.  මේ නිසා දුප්පත් දෙමාපියන් ලක්ෂ ගණනක් අසරණ වෙනවා.” යනුවෙන් ස්ටාර්ලින් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!