-0.7 C
New York

අම්බලන්ගොඩ ධර්මාශෝකයේ සල්ලි ගරන හැටි මෙන්න

Published:

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ උසස් පෙළ අධ්‍යාපන කටයුතු සඳහා ඇතුළත්වන සිසු දරු දැරියන්ගෙන් නීති විරෝධී ලෙස රුපියල් 27,020.00ක මුදලක් අයකරගන්නා බව දෙමාපියෝ චෝදනා කරති.

එම මුදලින් රුපියල් 7,920.00ක් පාසල් සංවර්ධන සමිතියේ ගිණුමට බැර කළ යුතු බව ද ඉතිරි 19,100.00ක මුදල අම්බලන්ගොඩ නගරයේ පෞද්ගිලක බැංකුවක ඇති ගිණුමකට බැරකළ යුතු බවත් අනාවරණය වෙයි. එලෙස පුද්ගලික බැංකුවක ඇති ගිණුමකට මුදල් බැර කර එම රිසිට් පතේ ඡායාරූපයක් පාසලෙන් ලබාදී ඇති දුරකථන අංකයකට බැර කිරීමට සිදුව ඇති බව ද දෙමාපියෝ කීහ.

මේ ආකාරයෙන් මුදල් එකතුකිරීම අධ්‍යාපන චක්‍රලේඛවලට පටහැණිය. අම්බලන්ගොඩ, බලපිටිය, ඇල්පිටිය ආදී ප්‍රදේශවල ග්‍රාමීය පාසල්වලින් සාමාන්‍ය පෙළ සමත්වන සිසු සිසුවියෝ මෙම විද්‍යාලයේ උසස් පෙළ හැදෑරීම සඳහා පැමිණෙති.

අම්බලන්ගොඩ ධර්ම‍ාහෝක විද්‍යාලයට උසස් පෙළ හැදෑරීම සඳහා විද්‍යා, ගණිත, වාණිජ, කලා සහ තාක්ෂණවේදී අංශ සඳහා 2023 වර්ෂයේ දී සිසු දරු දැරියන් 100කට වැඩි පිරිසක් බඳවා ගන්නා බව  ද වාර්තා වෙයි.

මෙම මුදල් අයකරනු ලබන්නේ ඩෙස් සහ පුටු සඳහා රුපියල් 11,000.00ක්, ශ්‍රවණාගායේ විදුලි පංකා අලුත්වැඩියාවට රුපියල් 4,000.00ක්, රසායනාගාර පහසුකම් සඳහා රුපියල් 2,100.00ක්, පන්ති අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් 2,000.00ක් පාසල් සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් 7,920.00 වශයෙනි.

මේ සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිනි සනෝජා ජයවික්‍රමගෙන් විමසූ විට ඇය කියා සිටියේ එවැනි මුදලක් අය නොකරන බවයි. සේවා සහ පහසුකම් ගාස්තු වෙනුවෙන් වසර දෙකක කාලයක් සඳහා රුපියල් 7,920.00ක මුදලක් අයකර ඒ සඳහා ලදු පතක් ලබාදෙන බව ද ඇය කීවාය. නමුත් කිසිම පුද්ගලික ගිණුමක් සඳහා මුදල් බැර කිරීමක් කරන්න යැයි විදුහලෙන් උපදෙස් ලබා දී නැතැයි ද එවැනි මුදල් එකතුකිරීමක් සිදුවන්නේ නම් එය ‍පාසලේ නමත්, තමන්ගේ නම සහ තනතුර භාවිතා කරමින් සිදුකරන ජාවාරමක් බව ද ඇය පවසයි. ඒ ගැන සොයා බලා අපරාධ විමර්ශන ඒකකයට දැනුම් දෙන බව ද විදුහල්පතිනිය කීවාය.

Related articles

Recent articles

spot_img