රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෛද්‍ය සැපයුම් අංශය සඳහා එන්නත් මිල දී ගැනීමේ දී විශාල අක්‍රමිකතා සිදුව ඇතැයි ජාතික විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වේ.
හෘද රෝගීන් සඳහා ලබාදෙන මිලිලීට 5 බැගින් වූ ඩොපමින් (Dopamine) එන්නත් 120,000ක් මිල දී ගැනීමම සඳහා වෛද්‍ය සැපයුම් අංශය විසින් ජාත්‍යන්තර තරඟකාරී මිල ගණන් ක්‍රමයට ලංසු කැඳවා තිබූ අතර තෝරාගත් සැපයුම්කරුවකුගෙන් එක් එන්නතක් රුපියල් 33.43 බැගින් මිල දී ගැනීමට නියමිතව තිබී ඇත. ඒ සඳහා වෙන්කර තිබූ මුදල රුපියල් 4,011,600.00කි.
නමුත් ඇණවුම ලබාදීම ප්‍රමාද වීම හේතුවෙන් වාර්තාවල සඳහන්ව ඇත්තේ මිල ලීටර 5 බැගින් වූ ඩොපමින් එන්නත් 12,994ක් එම සැපයුම්කරුගේ දේශීය නියෝජිතයානේ රුපියල් 940.00 ක් වැනි විශාල මුදලකට මිල දී ගත් බවයි. එමෙන් ම තවත් එන්නත් 14,995ක් වෙනත් සැපයුම්කරුවකුගෙන් මිල දී ගෙන ඇති අතර මෙම සමස්ත මිල දී ගැනීම් සඳහා රුපියල් 26,309,660.00ක මුදලක් වැය කර ඇත. එලෙස, දේශීය වෙළෙඳපොලෙන් මිලදී ගත් එන්නත් වෛද්‍ය සැපයීම් අංශය වෙත සපයන විට අවම වශයෙන් මාස 12 කල් ඉකුත්වීමේ කාලයක් ඉදිරියට තිබිය යුතු වුව ද එම එන්නත් 1,200ක කල් ඉකුතවීමේ කාලය ලෙස සඳහන්ව ඇත්තේ මාස 10ක් පමණ බවද විගණන වාර්තාවේ දැක්වෙයි.
ජාත්‍යන්තර තරඟකාරී මිල ගණන් කැඳවීමේ ක්‍රමයට රුපියල් 33.43 ට මිල දී ගැනීමට හැකියාව තිබූ එන්නතක් මිලදී ගැනීම සඳහා එම මුදල මෙන් 2,712%ක් වැඩිපුර ගෙවා ඇති බව විගණකාධිපති වාර්තාවේ සඳහන් කර ඇත. කෙසේ වෙතත් මෙම ගෙවීම් මේ ආකාරයෙන් සිදුවීම පිළිබඳ තාක්ෂණික ඇගයීම් කමිටුවේ හෝ ප්‍රසම්පාදන කමිටුවේ හෝ අවධානය යොමුකර නොමැති බව ද වාර්තා වේ.
සැපයුම්කරුගේ වරදකින් සැපයුම ප්‍රමාදවීමෙන් දැරීමට සිදු වූ අතිරේක පිරිවැය වන රුපියල් 23,231,048.00ක මුදල ප්‍රධාන සැපයුම්කරුගෙන් අයකරගෙන නැත. එන්නත් සාම්පල නැව්ගත කිරීමට පෙර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් අනුමත කරන සාම්පල රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පර්යේෂණාගාරය වෙතින් සාම්පල පරීක්ෂාකළ යුතුය යන කොන්දේසියට සැපයුම් කරු අකමැති බව දැනුම් දී තිබිය දී එය නොසළකා ඇණවුම ප්රදානය කර තිබී ම ද ගැටලුවක් බව විගණන වාර්තාවේ දක්වා ඇත.
මේ අතර වකුගඩු රෝගීන් වෙත ලබාදෙන Epoetin 1000IU එන්නත් 7,000ක් කඩිනමින් වෛද්‍ය සැපයුම් අංශයට සැපයිය යුතු බවට දන්වමින් එම එන්නත් මිලදී ගැනීමට රුපියල් 44,640,750.00ක් වැයකර ඇති බවද අනාවරණය වෙයි. එම මිල දී ගැනීම සති 08ක කාලක දී සිදුවිය යුතු බව ද සඳහන් කර තිබුණත් එම ප්‍රසම්පාදන කාර්යය නිමකිරීම සඳහා ගත කර ඇති කාලය වසර 02කි.
මේ අතරතුර ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් එම එන්නත් 7,000.00 මිල දී ගැනීම සඳහා රුපියල් 1,179,757.00ක අමතර මුදලක් ගෙවීමට සිදුව ඇති බව ද විගණන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
2018 වසරේ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහල විසින් මෙම එන්නත් තොගයෙන් ඒකක 3,000ක් සඳහා ඇස්තමේන්තු ඉදිරිපත් කර තිබුණත් 2020 ජූලි 6 වනදා වනවිටත් එම රෝහල් විසින් එකඳු එන්නතක් වෛද්‍ය සැපයීම් අංශයෙන් ලබාගෙන නොමැතිවීම ද පුදුම සහගතය.
ඒ අනුව එම එන්නත් ඇස්තමේන්තු කර නොතිබු රෝහල් 10ක් වෙත ඒකක 1,388ක් බෙදා තිබිණි. එලෙස බෙදා දීමට නොහැකිව 2020 ජූලි 16 දින වනවිට තවත් එන්නත් 5,612ක ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් අංශයේ ඉතිරිව තිබූ බව ද විගණකාධිපති වාර්තාවේ සඳහන් කර ඇත.
මේ අනුව Epoetin නම් මෙම ඖෂධය කඩිනමින් සැපයීමට ක්‍රියා කර ඇත්තේ කවරකුගේ වුවමනාවට ද යන්න හෙළිදරව් කළ යුතුය.
Till two three thieves send to Gallos this will not stop.