තමන් ගර්භණීව සිටින බව පවා නොතකමින් විශේෂඥ වෛද්‍යවරයකු තමන්ට පහරදුන් බවට පැමිණිලි කරන ලද කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට තම ගර්භනී බව හෝ පහරදීමකට ලක්වූ බව හෝ සනාථ කිරීමට මෙතෙක් නොහැකි වී ඇතැයි පොලිසිය පවසයි.
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ශල්‍ය ඒකකයේ සේවය කරන සාගරිකා දිලූෂානි සේනානායක මහත්මිය ගාල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක සඳහන් කර තිබුණේ තම ඒකකය භාර විශේෂඥ වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා මහතා තමන්ට වරින් වර මානසික වද හිංසා පමුණුවමින් කටයුතු කරන බවත් තමන්ට පහරදීමක් සිදුකළ බවත්. තමන් කරාපිටිය පිළිකා ඒකකයේ සේවයට පැමිණි දිනයේ පටන් එම වෛද්‍යවරයා තමන්ට විවිධ තර්ජන කළ බව ද දරුවන් බිහිවීම වැළැක්වීමේ වඳ සැත්කමක් සිදුකරගන්නා ලෙස බලපෑම් කළ බව ද ඇය පවසයි. මේ අතර දිනක් ඔහු තමන්ට පහරදුන් බවත් මේ පීඩනය ඉවසා සිටිය නොහැකි බැවින් පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කළ බව ද ඇය කියන්නීය.
මේ සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමට ගාල්ල කොට්ඨාස ළමා හා කාන්තා කර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය පසුගිය 23 වැනි දා කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ශල්‍ය ඒකකයට ද ගොස් තිබිණි. එම අවස්ථාවේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සාමාජික වෛද්‍යවරු කිහිප දෙනකු හා වෙනත් රෝහල් කිහිපයක වෛද්‍යවරු ද එම ස්ථානයට පැමිණීමත් සමඟ වෛද්‍යවරු දෙපිරිසක් අතර බහින්බස්වීමක් ද සිදුවිය.
23 වැනි දා රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ නියෝජිතයන් පිරිසක් තම ශල්‍යාගාර අසළට පැමිණ තමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා කළ බවට ක්‍රිෂාන්ත පෙරේරා මහතා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
ගාල්ල මූලස්ථාන පොලිසිය පවසන්නේ එම පැමිණිල්ල සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන් ම ප්‍රකාශ සටහන් කරගත් බවයි. මෙය වෛද්‍යවරුන්ගේ අභ්‍යන්තර ගැටුමක් බැවින් එම සිදුවීම සමථයකට පත්කරගැනීමට ඔවුන්ට අවස්ථාවක් ලබාදී ඇති බවත් එසේ නොවන්නේ නම් අධිකරණයට කරුණු වාර්තා කරන බවත් පොලිසිය කියා සිටියි.
වෛද්‍යවරිය කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි වරුණි බෝගහවත්ත මහත්මියගෙන් විමසූ විට ඇය මෙසේ කීවාය.
“අපිට වෛද්‍යවරිය ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු විභාග කළා. නමුත් එම වෛද්‍යවරිය තමන් ගැබිණියක බව පැවසුවත් ඇය මෙතෙක් ඒ බව සනාථ කළ හැකි ලේඛන ඉදිරිපත් කරලා නැහැ. ඒ වගේ ම පහරදුන් බවටත් කිසිම සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ. පිළිකා ඒකකයේ අනෙක් වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය වගේම රෝගීනගෙන් පවා සාක්ෂි ඉදිරිපත් වී නැහැ. තමන්ට පහරදුන්නා යැයි එම වෛද්‍යවරිය විසින් හඳුන්වන්නේ වාට්ටුව භාර වෛද්‍යවරයා. මේ පැමිණිලිකාර වෛද්‍යවරිය රාජකාරී පැහැර හරින බවට වාට්ටුව භාර වෛද්‍යවරයා විසින් මීට ඉහත අවස්ථාවල දී රෝහල් අධ්යක්ෂවරයාට ලිඛිතව කරන ලද පැමිණිලි ද අපට ඉදිරිපත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි අධිකරණයට කරුණු වාර්තා කරනවා. මේ පැමිණිල්ල සත්‍ය පැමිණිල්ලක් ද ව්‍යාජ පැමිණිල්ලක් ද යන කරුණු මත ඉදිරි කටයුතු තීරණය වේවි.”
ගර්භණීව සිටින තමන්ට වෛද්‍යවරයා පහරදුන් බව පවසමින් වෛද්‍ය සේනානායක මහත්මිය සමාජ මාධ්‍යවලට පවා ප්‍රකාශ මුදා හැර තිබේ. මාධ්‍ය මගින් ද ඒ පිළිබඳ විශාල ප්‍රචාරයක් ලබා දී ඇත.
මේ ප්‍රචාරයන් සියල්ල අසත්‍ය බවත් එම වෛද්‍යවරිය අසත්‍ය චෝදනා ඉදිරිපත් කරමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා මහතාට අපකීර්තියක් සිදුවන අයුරින් කටයුතු කිරීමට එරෙහිව ගාල්ලේ පදිංචි ජනතාව “සත්‍යය සමඟ ක්‍රිසන්ත” නමින් සංවිධානයක් ද පිහිටුවා තිබේ. එම සංවිධානය ඊයේ (04) ගාල්ලේ මාධ්‍ය සාකච්ඡාවක් ද සංවිධානය කර තිබණි. එම සංවිධානය විසින් මේ සිද්ධිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකරන වෛද්‍යවරියට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් ක්‍රිසන්ත පෙරේරා වෛද්‍යවරයාගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණක් පවත්වන ලෙසත් ඉල්ලමින් ජනාධිපතිවරයා වෙතත් සෞඛ්‍ය අමාත්‍යවරිය වෙතත් ලිපියක් යොමුකර ඇත. එම ලිපියට ගාල්ලේ පදිංචි 2000ක පරිසක් අත්සන් තබා තිබිණි.
මේ අතර විශේෂ නිවේදනයක් නිකුත් කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව පවසන්නේ තමන් පහරකෑමකට හා වදහිංසාවට ලක්වූ බවට චෝදනා කරන කණිෂ්ඨ වෛද්‍යවරිය කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පොරොත්තු සේවා හා සති අන්ත සේවා කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවයි. ඇය ගැබිණියක් නම් ගර්භණී භාවය තම සංගමය ද උතුම් ලෙස සළකන බවත් එවැනි තත්ත්වයක් හේතුවක් කරගනිමින් රෝගී සත්කාරක සේවාවලින් ඉවත්වීම වරදක් බවත් ඔවුන් පෙන්වාදෙයි. මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ කරාපිටිය ශාඛාවේ සභාපති විශේෂඥ වෛද්‍ය පී. සදානන්දන් හා ලේකම් විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත ජයසේකර යන මත්වවරුන්ගේ අත්සනිනි.
ඔවුන් ඉල්ලා සිටිනේ ද සමාජ මාධ්‍යවල වෛද්‍ය සේනානායක මහත්මිය විසින් ප්‍රචාරය කරන කරුණු පමණක් පදනම් කරගෙන තීරණ නොගන්නා ලෙසයි.
මේ වනවිට අදාල සිදුවීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය ආමාත්‍යාංශය ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.