-2.5 C
New York

“මහණ කරනවා කියපු නිසා මම මාමත් එක්ක ගියා” – එප්පාවල ළමයාගේ පාපොච්චාරණය

Published:

තම පියා නිවසට එන දවසේ මාමා සමඟ පලා ගියේ තාත්තා තමන් මහණ කරනවා යැයි කියන නිසා යැයි හිතවත් විදුලි කාර්මිකයකු සමඟ පලාගොස් සිටි එප්පාවල 09 හැවිරිදි පාසල් සිසුවා පොලිසියේ දී කීවේය.

ඔහු එප්පාවල කිරලෝගම ගැටදිවුල ප්‍රදේශයේ පදිංචිව සිටිය දී පසුගිය 19 වැනි දා සිට අතුරුදන්ව සිටියේය. මව පොලිසිය කියා තිබුණේ තම පුතා හිතවත්ව සිටි විදුලි කාර්මික ශිල්පියකු විසින් දරුවා රැගෙන යන්නට ඇතැයි සැකකරනු ලබන බවයි.

රිකිල්ලගස්කඩ ප්‍ර‍දේශයේ ජොන්ස්ලන් වතුයායේ නිවසක සිටිය දී අද (24) පොලිසිය විසින් මෙම දරුවා සොයාගනු ලැබීය.

දරුවා රැගෙන ගිය බව පැවසෙන සැකකාරි විදුලි කාර්මික ශිල්පියා ද ඔවුන්ට නවාතැන් දුන් නිවසේ හිමිකරු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. අදාළ සිසුවා සැකකරු සමග සිය කැමැත්තෙන් ගොස් ඇති බවට ද සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.

වැඩිදුර විමර්ශන සඳහා දරුවා සහ අදාළ සැකකාර විදුලි කාර්මික ශිල්පියා අද (24) පෙරවරුවේ එප්පාවල පොලිස් ස්ථානය වෙත රැගෙන එනු ලැබීය.

දරුවා පොලිසියට පවසා ඇත්තේ තමන් ගියේ මාස දෙකක පමණ සිට දන්නා හඳුනන මාමා කෙනෙකු සමඟ බවයි. තාත්තා එන බව දැනගත් විට මාමා සමඟ ගිය බවත් රැගෙන යාමට මාමා අකමැති වූ බවත් ඔහු කියා ඇත. ඔහු උපකාරක පන්තිවලට පවා මේ මාමා සමඟ ගොස් ඇති අතර දින දෙකක් ඔහුගේ කඩයේ නතර වී සිටි බව ද දරුවා පවසා තිබේ. එසේ ක‍ඩයේ නතර වී සිටිය දී තාත්තා එන බව කී නිසා මාමා සමඟ ගිය බව ඔහු පවසයි.

“මාමා මාව ගෙදරට එක්කන් ගියා.  ඒත් මාමා ගියාට පස්සේ මමත් ගියා මාමත් එක්ක. එයා කිව්වා ගෙදර යන්න කියලා. මම බෑ කිව්වා. තාත්තා කියනවා මාව මහණ කරනවා කියලා. ඒ නිසා මම මාමත් එක්ක ගියා” දරුවා පොලිසියේ දී පවසා තිබේ.

මෙම පාසල් සිසුවා අද අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කරන බවත් සැකකාර විදුලි කාර්මික ශිල්පියා සහ ඔවුන්ට නවාතැන් දුන් නිවසේ හිමිකරු තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.

Related articles

Recent articles

spot_img