මිල්ලනිය පාසලේ සිසුන්ට විදුලි සැර වැද්දවීමේ සිද්ධියට අදාල රසපරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර තිිබේ.
පාසල් ගුරුවරියකගේ මුදල් පසුම්බියක් නැති වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිනිය විසින් පොලිසිය පාසලට කැඳවා දරුවන් පොලිසියට බාර දුන් බවට චෝදනා එල්ල විය. එහි දී පොලිස් නිලධාරීණ් 5 ශ්‍රේණියේ සිසුවකුට විදුලි සැර වැද්දවූ බවට ද ප්‍රකාශ විය.
මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඉකුත් නොවැම්බර් 10 වනදා කරන ලද නියෝගය අනුව රජයේ ජ්‍යෙෂ්ඨ සහකාර රසපරීක්ෂකවරුන් අදාළ ජීප් රථය නොවැම්බර් 17 වනදා පරීක්ෂා කර තිබුණි.
මෙම රථය පරීක්ෂා කිරීමේ දී එහි බැටරියට බාහිරින් සම්බන්ධ කර තිබූ විදුලි රැහැන් දෙකක හෝ රථය තුළ තිබූ වැඩි විදුලි ධාරාවක් ලබාගත හැකි වෙනත් ආරෝපිත බැටරියක අග්‍රවලට සම්බන්ධ කරගත් විදුලි රැහැන් දෙකක අග්‍ර එකිනෙකට ස්පර්ශවීමට සැළැස්වීමෙන් තාපය උත්පාදනය කරගත හැකිවන බවත් ඒවා යම් පුද්ගලයකුගේ සිරුර මත ස්පර්ශවීමට සැළැස්වීමෙන් පිළිස්සුම් තුවාල ඇතිකළ හැකි බවත් රස පරීක්ෂක වාර්තාවේ සඳහන් කර තිබේ.
ජීප් රථයේ තිබූ පණිවිඩ හුවමාරු යන්ත්‍රය පරීක්ෂා කිරීමේ දී එහි වයර් එකිනෙක ස්පර්ශ කර, පුද්ගලයෙකුට විදුලිසැර වැද්දීමක් හෝ පිළිස්සීමක් සිදුකළ නොහැකි බව ද නියෝජ්‍ය රස පරීක්ෂක ජී.ජී.මඩවල කොළඹ මහේස්තාත් අධිකරණයට දැනුම් දී තිබේ. .
එම පණිවුඩ හුවමාරු යන්ත්‍රයට ජීප් රථයේ එංජින් කුටිය තුළ තිබූ වෝල්ට් 12 බැටරියකින් කළු පැහැති විදුලි රැහැනක් සහ ඇම්පියර් 10ක විලායකයකින් සම්බන්ධකරන ලද රතු පැහැති විදුලි රැහැනක් භාවිතයෙන් විදුලිය ලබාගෙන තිබූ බව ද එම විදුලි රැහැන් දෙක පණිවුඩ හුවමාරු යන්ත්‍රයට සම්බන්ධකර තිබූ බවත් එම කොටස් කළු පැහැති ටේප් පටයකින් ආවරණය කර තිබූ බවත් දක්නට ලැබුණු බවද රසපරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.