වාමාංශික දේශපාලනය එක්ක එකතුවෙලා ඉන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අපරාධකරුවන් සේ හැසිරෙනවා. මුළු විශ්වවිද්‍යාලය ම පාලනය කරන්නේ ඒ අය ඒ නිසා මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා විශ්වවිද්‍යාලවල නීතිය ක්‍රියාත්මක කරලා මේ විශ්වවිද්‍යාල පද්ධතිය බේරාගන්න කියලා” යැයි සිසුන්ගේ පහරදීමට ලක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය අතුල සේනරාත්න පවසයි.
ඔහු මේ බව කියා සිටියේ පහරකෑමෙන් පසු ප්‍රතිකාර ලබා සිය පුත්‍රයා සමඟ යළි නිවසට පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමිනි.
මහාචාර්යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
“මෙය අනාගතය පිළිබඳ ඉතාමත් අසුබ ලකුණුක්. මම අවුරුදු 43ක් විශ්වවිද්‍යාලයේ සේවය කළා. මම මේ මාසයේ විශ්‍රාම යනවා. විශ්‍රාම යන මාසයේ ම මෙවැන්නක් සිදුවීම ගැන ඉතාමත් කණගාටුයි. ඇඟට වැදුණු මේ වේදනාවට වඩා හිතට ලොකු වේදනාවක් තියෙනවා. මෙහෙම දෙයක් මෙච්චර කාලයකට වුණේ නෑ. ශිෂ්‍යයන්ගේ පිරිහීම තමයි මේකට හේතුව. ඔවුන් අන්ත වාමාංශික දේශපාලනයක යෙදිලා ඉන්නවා. මේ ළමයි හැමදේම කියන්නේ එයාලා හරි කියලා හිතාගෙන. කරන්නේ විනාශකාරී වැඩ. හරියට අපරාධකරුවන් වගේ.”
මහාචාර්ය අතුල සේනාරත්නට පහරදුන් සිසුන් 10 දෙනකු පමණ හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි. පසුගිය 10 වැනි දා රාත්‍රියේ මහාචාර්යවරයාගේ නිවස අසළ නවතා තිබූ යතුරුපැදියක් හේතුවෙන් මෝටර් රථය නිවස අසළට ගැනීමට නොහැකි වූ අවස්ථාවේ දී මහාචාර්යවරයාගේ පුත්‍රයා එම යතුරුපැදිය අයිනට කිරීමට උත්සාහ ගෙන තිබේ. එහි දී යතුරුපැදිය ඔහුගේ අතින් පෙරැළී ඇති අතර එහි ගැටීමෙන් නවතා තිබූ තවත් යතුරු පැදියක් ද පෙරැළී ගෙස් ඇත. එම අවස්ථාවේ පැමිණි විශ්වවිද්‍යාල සිසුන් මහාචාර්යවරයාගේ පුතාට පහර දී ඇති අතර පුතා බේරාගැනීමට පැමිණි මහාචාර්යවරයාට ද පහර දී ඇති බව පොලිසිය පවසයි.
අනතුරුව එම ප්‍රහාරයට සිසුන් 300ක පමණ පිරිසක් එක්වූ බවත් ඔවුන් මහාචාර්යවරයාගේ නිවසේ දොරවල් කඩා ඇතුළු වී නිල නිවසට ද අලාභහානි කළ බවත් මහාචාර්යවරයා සහ ඔහුගේ පුතා පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.
මහාචාර්යවරයාගේ නිල නිවසේ සවිකර ඇති ආරක්ෂිත කැමරාවල දර්ශන උපයෝගී කරගෙන එහි දේපළවලට හානි සිදුකරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු නිශ්චිතව හඳුනාගත් බව පොලිසිය පවසයි. මේ වනවිට තවත් සිසුන් 09 දෙනකු පමණ හඳුනාගෙන ඇති බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පේරාදෙණිය පොලිසිය සදහන් කළේය.
විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර පරීක්ෂණයක් ද මේ සම්බන්ධයෙන් සිදුකිරීමට පාලන අධිකාරිය තීරණය කර ඇත. පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා සියලු සිසුන්ට තාවකාලික පන්ති තහනමක් පැනවීමට ද පාලන අධිකාරිය දැනටමත් තීරණය කර තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් පවසන්නේ පොලිසිය පවත්වන පරීක්ෂණවලට අමතරව අභ්‍යන්තර පරීක්ෂණයකින් පසු එම පහරදීම කළ සිසුන්ට එරෙහිව අවශ්‍ය දඬුවම් ලබාදෙන බවයි.
මෙම පහරදීම සම්බන්ධයෙන් ලන 13 වැනි දා වැඩ වර්ජනයක් කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආචාර්යවරු තීරණනය කර තිබේ.