කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක 09 ශ්‍රේණියේ සිසුවියක් ලිංගික අපයෝජනයට ලක්කළා යැයි සැකපිට අත්අඩංගුවට ගත් බැංකු නිලධාරියකු ලබන 20 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල්.ඉලංගසිංහ අද (08) නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ 55 හැවිරිදි දෙදරු පියෙකි. ඔහු කුරුඳුවත්ත ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක කළමනාකරුවෙකි.
පාසල් සිසුවියගේ නිවසේ ස්ථාවර දුරකථනයට ලබාදුන් ඇමතුමක් ඔස්සේ ඇය සමඟ මිතුරු සම්බන්ධයක් ගොඩනගාගත් බැංකු කළමනාකරු එම සිසුවිය සිය ජීප් රථයේ නංවාගෙන කොළඹ ප්‍රදේශයේ රථගාල්වලට ගොස් ඇයට අතවර සිදුකර ඇතැයි ඔහුට චෝදනා එල්ල වී තිබේ.
14 හැවිරිදි දැරියගේ මව විසින් බම්බලපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි. එම සැකකරු මාස තුනක පමණ කාලයක සිට මෙම දැරිය සමඟ සම්බන්ධතාවක් පවත්වාගෙන ඇති බව ද අනාවරණය වී තිබේ.
සැකකරුගේ බිරිඳ මියගොස් ඇති බවත්, ඔහු වයස අවුරුදු 13ක සහ 17ක දැරියන් දෙදෙනකුගේ පියකු බවත් පොලිසිය පවසයි.