කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ වෙනස්වී තිබෙන කාර්ය රටාවන් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන රෝගීන්ගේ ජීවිත අවදානමකට පත්වන බව වෛද්‍ය රසායන විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමදේශ පවසයි.

රෝහලට ඇතුළත් කරන පුද්ගලයන්ගේ ජෛව සාම්පල පීසීආර් පරීක්ෂණ සඳහා ලබාගැනීම පළමුවෙන් සිදුවෙයි. එසේ වුව ද පරීක්ෂණ කොළඹ ජාතික රෝහලේ දී සිදුකරන්නේ නැත. ඒවා වෛද්‍ය පර්යේෂණාගාරයට යොමුකරයි. මේ පරීක්ෂණ වාර්තා ලැබෙන තුරු රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමේ ප්‍රමාදයක් සිදුවීම බරපතල ගැටලුවක් බව කුමදේශ් ප්‍රකාශ කරයි.

ආසාධ්‍ය රෝගියකු පැමිණියහොත් විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලයත් ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතවීමට සිදුවන බැවින් වෙනත් සාමාන්‍ය දිනවල දී තරම් කඩිනමින් ප්‍රතිකාර ලබාදීමට අපහසු තත්ත්වක් උදාවී ඇතැයි ද ඔහු පෙන්වාදෙයි. ඇතැම් අවස්ථාවල දී තමන්ට ඇති අවදානම ද නොතකා වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය අසාධ්‍ය රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට යාමේ දී රෝගියා කොවිඩ් ආසාදිතයකු බව පසුව හෝ තහවුරු වූයේ නම් කාර්ය මණ්ඩලයට ම දින 14ක නිරෝධායනයට ලක්වීමට සිදුවන බැවින් රෝහලේ සමස්ථ රෝගී සත්කාරය බිඳ වැටෙන බවද හෙතෙම පවසයි.

වෛද්‍ය රසායන විද්‍යාඥ සංගමය ඉල්ලා සිටින්නේ කොළඹ ජාතික රෝහලේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට පහසුකම් ඇතිකරන ලෙසයි. එමගින් අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා රෝගී සත්කාරක සේවා ප්‍රමාදවීමෙන් සංකූලතා හේතුවෙන් රෝගීන් මියයාමේ අවධානම වළක්වා ගත හැකි බව ද කුමදේශ් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here