ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ මන්ත්‍රීධූරය අහෝසි කරමින් රිට් ආඥාවක් නිකුත් කරන්න යැයි ගොනුකර ඇති පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (28) තීරණය කළේය.
සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මෙම පෙත්සම ගොනුකර තිබේ. ඩයනා ගමගේට ලබන දෙසැම්බර් මස 12 වැනි දා අධිකරණයට කරුණු දක්වන ලෙස නොතීසි නිකුත් කිරීම ද සිදුකෙරිණි. එමෙන් ම ඇගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස ආගමන විගමන පාලකවරයාට නියෝගයක් ද නිකුත් කෙරිණි.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කරනු ලැබීය.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ හෆීල් ෆාරිස් කියා සිටියේ ඩයනා ගමගේට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණයකදී කරුණු හෙළිදරව් වී ඇති බවයි. ඒ බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරුණු වාර්තා කර ඇති බවත් හෙතෙම කීවේය.
වැඩිදුරටත් කරුණු දක්වමින් නීතිඥ ෆාරිස් මෙසේ ද කීවේය.
“ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති ප්‍රකාශයට අනුව ඩයනා ගමගේ තම බ්‍රිතාන්‍ය පුරවැසිභාවය වසන් කරමින්, ශ්‍රී ලාංකික පුරවැසියෙකු බව අඟවමින් මෙරට උප්පැන්න සහතිකයක් සහ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇතැයි සඳහන් කර තිබෙනවා. ඉන් පෙනී යන්නේ ඇයට ශ්‍රී ලංකාවේ පුරවැසි භාවයක් නොමැති බව.”
ඒ අනුව ඇයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තවදුරටත් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකමක් නැතැයි ඔහු පෙන්වා දුන්නේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටින සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් වශයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ “බී” වාර්තාව මගින් කරුණු අනාවරණය වී ඇතැයි කීවේය.