මහින්ද රූබසිංහ විසිනි
ගුරුවරියන්ගේ සාරිය දැන් රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙලා.
මේ කතාවේ පළමුව දක්නට ලැබෙන ඡායාරූපය එංගලන්තයේ ප්‍රථාමික විද්‍යාලයක පැවැත්වෙන තේ පැන් සංග්‍රහයක්. පාසලේ Head Teacher (විදුහල්පතිනිය) තමයි රැස්වීමක් සඳහා පාසලට පැමිණි දෙමාපියන්ට හා භාරකරුවන්ට සංග්‍රහ කරන්නේ.
දෙවැනි ඡායාරූපයේ රථ වාහන හැසිරවීමේ කබායක් ඇඳ සිටින්නෙත් ඇයමයි.
සිසුන් පාසලට පැමිණෙන විට මෙන්ම නැවත යන විටත් අසළ මාර්ගයේ රථවාහන හැසිරවීමට හෝ සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විදුහල්පතිනිය එළියට බහිනවා. මේ වෙලාවෙත් එයයි සිදුව තිබෙන්නේ.
එමෙන්ම ඒ ඡායාරූපයේ ම නිල් පැහැති ගවුමක් ඇඳ සිටින්නේ (Deputy Head Teacer) නියෝජ්‍ය විදුහපතිනියයි. ඇයගේ කර මතට අතක් තබා ගෙන සිටින්නේ සිසුවෙක්.
මේ ගුරුවරුන් සහ සිසුන් මේ විදියට ඉන්න එක සහ කරන දේවල් හරිද කියන එක ලංකාවේ අපට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒත් මෙහි ගුරු සිසු සබඳතාව වගේම පාසල හෝ ගුරුවරුන් දෙමාපියන් සහ සමාජය (Community) සමග ප්‍රශස්ත සබඳතාවක් පවත්වාගෙන යනවා. ඔවුන් කාගෙන්වත් ගෞරවයක් අපේක්ෂා නොකළ ද සිසුන් ඔවුන්ට අවනතවීම වගේම සමාජයේ සැලකිල්ලත් නො අඩුව ලබනවා.
මෙහේ ඇතැම් පාසල්වල ප්‍රධානීන් ලෙස ආචාර්ය උපාධිය සහිත අය කෙටි කාලයකට හෝ ඉන්න අවස්ථා තිබෙනවා. බොහෝ දුරට ප්‍රාථමික පාසල්වල විදුහල්පතිවරුන් හා ගුරුවරුන් උදේ පාන්දර ගේට්ටුව ළඟට විත් ළමයි ආදරයෙන් පිළිගන්නවා. දෙමාපියන් එක්ක පොඩි චැට් එකකුත් දානවා. පාසලත් නියමෙට ම රන් කරනවා. ගැළපෙන ඇඳුමක් අඳිනවා.
ඒ අනුව ගත්තම මේ රටවල සහ ලංකාවේ ගුරු භූමිකාව අතර ඇත්තේ විශාල පරතරයක්. ඇඳුම හෝ විලාසිතා එතරම් පශ්නයක් නොවෙයි. ආකල්පයි වැදගත්.
අපේ ගුරු භූමිකාව ඇතුලෙම ගෞරවය, පිළිගැනීම, බය පක්ෂපාතීත්වය වගේ දේවල් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සම්ප්‍රදාය නඩත්තු කිරීම, දඬුවම් දීම, වන්දනාමාන කරවා ගැනීම සියලු සිසුන්ට පුතා යනුවෙන් ආමන්ත්‍රණය කිරීම (ගුරුතුමියන් දුවලටත් වැඩි වශයෙන් පුතා කියන බව තමයි දන්නේ) වැනි දේත් දක්නට ලැබෙන්නක්.
සාරිය ද ගවුම ද කියන ප්‍රශ්නය ගුරුවරුන් ඇසුරේ පමණක් නොව සමාජයේ ද මහත් සේ කතා බහට ලක්වන්නේ මේ සංදර්භය නිසා ම විය යුතුයි. ගුරුවරුන්ගෙන් වගේම අධ්‍යාපනයෙන්ද අප මතුපිට දේ සොයනවා. ඒ ගැන ඕනවටත් වඩා වද වෙනවා.
විනය, හැදියාව පෙන්වීමට ගුරුවරියන් සාරිය, ඔසරිය ඇඳිය යුතු යැයි කිව්වත් වත්මන් ආර්ථික ගැටළු හමුවේ සාරි, ගවුම්, ඩෙනිම් ගැන සංවාදයක් පැන නැගී තිබුණත් ඇත්තම ප්‍රශ්නය වන්නේ ගුරු භූමිකාවේ මෙන්ම අධ්‍යාපනයේ කාලයක් පුරා පවතින ගැටළුවයි.
එමෙන්ම ගුරුවරුන්ගේ පැත්තෙන් ද ඉතා ලෙහෙසියෙන්, පහසුවෙන් විසඳාගත ගත හැකි බොහෝ දේ තිබෙනවා. තම දරුවා වෙනුවෙන් අපේ දෙමව්පියන් පන්තිභාර ගුරුතුමාට හෝ වෙනත් ගුරුවරුන්ටත් කොතරම් නම් බය පක්ෂපාතකමක් දක්වනවාද ? කිසිම කොන්දේසියකින් තොරව ළමයි දෙස බලන ගුරුවරුන් බිහිවීමට නම් අධ්‍යාපනයේ ද ක්‍රම වෙනසක් සිදුවිය යුතු වනවා. ඇඳුමකින් පමණක් එවැනි වෙනසක් කරන්න හැකියාවක් නැහැ. නූතනයට ගැළපෙන ගුරු පුහුණු වීම් ලබා දීමයි වැදගත්.
අනෙක ගුරුවරුන්ට සටන් කරලා විසඳාගත යුතු කරුණක් මෙහි ඇතැයි හිතන්නත් අමාරුයි. ඇඳුමක් හෝ නිල ඇඳුමක් සම්බන්ධයෙන් කාලානුරූපී තීරණ ගැනීම බලධාරීන්ගේ වගකීමක්.
පසුගිය ආණ්ඩු සමයේ ගැබිණි ගුරුවරියන්ට සුදුසු ඇඳුමක් හඳුන්වාදීමට උත්සාහයක් තිබුණා. එය ඇතැම් ගුරුවරුන්ගේ ද ඉල්ලීම මත එවක අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඒ සඳහා ක්‍රියා කරමින් සිටියා. ඒ වගේම ෆින්ලන්තය ඇතුලු යුරෝපා රටවල අධ්‍යාපන ක්‍රමයෙන් ගත හැකි බොහෝ යහපත් දේ පිළිබඳ ඔහුගේ අවධානයත් යොමුවී තිබුණා. ඒ සඳහා ඇතැම් පියවර ද ගැනුනා. එහෙත් ඒවා ඉදිරියට ගිය බවක් පේන්න නැහැ.
තවමත් සිදුවෙමින් තිබෙන්නේ සිසුන්ද , ගූරුවරුන්ද , රට ද සංතර්පණය නොකරන අධ්‍යාපන ක්‍රමය තවදුරත් පවත්වා ගෙන යාමයි. එනිසාම සිදුවන්නේ කාලයෙන් කාලයට එන පොඩි පොඩි මාතෘකා ගැන අප සියල්ලන් විහිළු තහළු කර ගනිමින් සිටීම පමණයි.