spot_img
spot_imgspot_img

“ආශාවරී” සොයා ගිය මාධ්‍යවේදියාගේ හෙළිදරව්ව. ගුරුවරයා දරුවන් සඟවයි

පුවත්

විදෙස්

කරුණාරත්න ගමගේ

රටට බත සපයන උදාර මෙහෙවරේ සුවිශේෂී පංගුකාරයන් වන ගොවි ජනතාව විශාල පිරිසක් ජීවත්වන ප්‍රදේශයක් ලෙස පොලොන්නරුවේ මැදිරිගිරිය දිගු කලක පටන් ඉතා ප්‍රකටය. අක්කර සිය දහස් ගණනින් යුත් සුවිසල් කුඹුරු යාය යල මහ දෙකන්නයේ දියවරින් පෝෂණය කරනු ලබන්නේ පෙර රජ දවස කැරැවූ මහා වාපී උරුමයක් වන කවුඩුල්ල මහා ජලාශයයි. ඒ වැව පාමුල පිහිටි ගම් පියසෙක වෙසෙන ගොවි පවුල් අතර සිටින කුඩා දැරියන් පිරිසක් මේ වනවිට මැදිරිගිරිය නාමය රටේ පමණක් නොව ලොවෙහි ම ලක්‍ෂ සංඛ්‍යාත සංගීත ලෝලීන් අතරට ගෙන යාමට සමත්ව සිටී. ඒ අශාවරී සංගීත කණ්ඩාමයි. 

ඉතාමත් කෙටි කාලයක් තුළ සමාජ මාධ්‍ය ජාලා, එළිමහන් සංගීත සංදර්ශන ආදියෙන් සුවහසක් රසික රසිකාවන්ගේ හදවත් තුළට සමීප වන්නට ආශාවරී සංගීත කණ්ඩායමට හැකිවී තිබේ. ඈත දුෂ්කර කලාපයේ මැදිරිගිරියේ සිට දක්ෂ සංගීත කණ්ඩායමක් ලෙස සමාජයට පිවිස සංගීත ලෝලීන් අතර ජනාදරයට පත්වන්නට හැකි වීම සැබැවින්ම අපූර්වත්වයකි. මන්දයත් මැදිරිගිරිය යනු පරිසමාප්ත අර්ථයෙන්ම බහුතරයක් මහජනයා තවමත් කටුකත්වය අත්විඳින ප්‍රදේශයක් බැවිනි. අපගේ මෙම සටහනෙහි ආශාවරී නියොජනය කරනු ලබන්නේද ඒ පරපුරේ සාමාජිකයන් බව නොරහසකි.

අදින් දශක එකහමාරක් වැනි කාලයක් දෙස ආපසු හැරී බැලූවිට එකල මැදිරිගිරිය වඩා ප්‍රකට රුදුරු කොටි ත්‍රස්තයන්ගේ තර්ජන නිසා අප්‍රමාණව පීඩා විඳි කලාපයක් ලෙසයි. මායිම් ගම්මාන ලෙසින් හැඳින්වූ ගම්බිම් රැසක් මෙහි වූ අතර මහ රෑ මැදියමේ කඩා වැදුණු දෙමළ ත්‍රස්තවාදීන් කිරි දරුවන්, ගැබිනි මවුවරුන් ඇතුළු නිරායුද ජනයා අමු අමුවේ බුරුතු පිටින් මරා දැමූ අමිහිරි, දුක්මුසු සිදුවීම් අත් විඳින ලද්දේ මේ ජනයාගේ නෑසියන් විසිනි. එකල මෙන්ම මෙකල ද බීමට පවා දිය පොදක් ළිං පතුලක නොරඳන දැඩි නියඟය, වන අලි උවදුර, ජන ජීවිත අඩාළ කරන වකුගඩු රෝගය වැනි බොහෝ දේ මේ ජනයාට එතරම් ආගන්තුක නොවෙති. එපමණට දුක්ඛ දෝමනස්සයන්ගෙන් වෙළී ගත් ජන සමාජයක් තුළින් මෙවන් හැකියාවන් ඇති පිරිස් මතු වීම එක්තරා අන්දමක ආශ්චර්යයෙකි. මේ දැරියන් සීමා මායිම් නොතකා රටේ ලෝකයේ ඈත දුර ඉසව්වේ රසික හදවත්වලට පවා ළං වී ඇත්තේ ඔවුන්ගේ සෞන්දර්යාත්මක හැඟීම් පුබුදුවාලීමේ විස්කම තුළිනි.

සංගීත ක්ෂේත්‍රයේ බොහෝ දුර ගමනක් යාමේ අපේක්‍ෂාවෙන් පා පොඩි ඔසවා සිටින ආශාවරී සමඟ අත්වැල් බැඳගෙන සිටින මේ කුඩා දැරියන් සියලු දෙනාම ජීවත් වනුයේ මැදිරිගිරිය, නව නගරය, යාය 06 ප්‍රදේශයේ ය. ඔවුන්ට සංගීත කේෂ්ත්‍රයට පිවිසෙන්නට අත්පොත් තබා මෙතරම් දුරක් කැඳවා ගෙන යන ගුරුවරයා ද ඒ ගම්මානයේ ම තුන්වන පරම්පරාවේ සාමාජිකයෙකි. ඔහු නමින් නාලක ජයලත් ය.

ආශාවරී සංගීත කණ්ඩායමේ පුහුණුකරු සහ භාරකරු මෙන්ම කළමනාකරු ද නාලක ජයලත් ඇදුරුතුමන්ම ය. තම ගම්මානයේ වෙසෙන නෑ හිතවතුන්ගේ දියණිවරුන් පිරිසක් සරස්වතියගේ දරුවන් බවට පත් කර ගත් අපූරු කතාන්තරය හෙතෙම අප හමුවේ දිගහැරියේ මේ අන්දමටයි.

“මම පොඩි කාලේ ඉඳලම සංගීතයට හරිම ආසයි. තරුණ කාලේ අපි කීපදෙනෙක් එකතු වෙලා සංගීත කණ්ඩායමක් හැදුවා,නයිට් රයිඩර්ස් කියලා. මම තමයි ඒ සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදක හැටියට කටයුතු කළේ. නමුත් සංගීත භාණ්ඩ ගණනාවක් සෙල්ලම් කරන්න මට පුළුවන්. ආශාවරී සංගීත කණ්ඩායම හදන්න ප්‍රධාන හේතුවක් වුණේ කොරෝනා වසංගතය ආපු මුල්ම කාලේ දරුවෝ ඉස්කෝලේ ගියේ නෑ. ගුරුවරු හැටියට අපි ඉස්කොලේ ගියෙත් නෑ. පසු කාලේ තමයි මාර්ගත අධ්‍යාපනය ලබා දීම වගේ දේවල් ක්‍රියාත්මක වුණේ. මම කල්පනා කළා ගෙවල්වලට වෙලා නිකම් කාලය ගත කරන දරුවන් ඵලදායි දේකට යොමු කරන්න ඕන කියලා. ඒ අනුව මේ දරුවන්ට සංගීත භාණ්ඩ සෙල්ලම් කරන්න ඉගැන්නුවා. මුලදීම පුහුණු වුණේ වටපිටාවෙන් සපයා ගත්ත දේවල්වලින් අපිම හදාගත්තු සංගීත භාණ්ඩවලින්. ඒවා හැර එක බොක්ස් ගිටාර් එකක් විතරයි තිබුණේ. පස්සේ තමයි මේ සංගීත භාණ්ඩ එකින් එක අරගත්තේ. මේ දරුවන්ගේ දක්ෂතා දැකලා සමහර අය අපිට සංගීත භාණ්ඩ අරන් දුන්නා. මේ දරුවන්ගේ අම්මලා තාත්තලා ලොකු ආර්ථික හයියක් තිබෙන අය නොවෙයි. ජීවිත ගැට ගහගන්න, දරු පවුල් රකින්න එදිනෙදා ලොකු වෙහෙසක්, මහන්සියක් දරන අය. ඒ නිසා ඒ අයට පුළුවන්කමක් නෑ දරුවන්ට සංගීත භාණ්ඩ අරන් දෙන්න ලොකු මුදලක් වියදම් කරන්න.” 

දැන් අපි මඳකට ආශාවරී දෙසට හැරෙමු. මෙම සංගීත කණ්ඩායමට පණ පොවන ශිල්පිනියන් ගණන නවයකි. ඔවුන් සියලුම දෙනා දැනට පාසැල් අධ්‍යාපනය ලබන කුඩා දැරියන්ය. එම පිරිසෙන් සිසුවියන් හය දෙනකු මැදිරිගිරිය ජාතික පාසලේ ඉගෙනුම ලබන අතර අනෙක් තිදෙනා මැදිරිගිරිය නව නගරය මහින්ද ජාතික පාසලේ අධ්‍යාපනය හදාරති.

සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදනය තිමානී කෞෂිකාගෙනි. ඇය හයවෙනි ග්‍රේණියේ ඉගෙනුම ලබන්නීය. ඔක්ටර්පෑඩ් වාදනය කරනු ලබන්නේ හය වසරේ සිසුවියක වන නෙතුනි වියානා විසිනි. බේස් ගිටාර් වාදනය කරනු ලබන සෙත්මී රුවන්සා පාසලේ 7 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. රිදම් ගිටාරයට පණ පොවනු ලබන අමාෂා විනිවිදිනි දැරියද ඉගෙනුම ලබන්නේ 7 වෙනි ශ්‍රේණියේ ය. ගිහානී සෞම්‍යා ඕගනය වාදනය කරමින් සංගීත කණ්ඩායම ඔපවත් කරන අතර ඇය 9 වෙනි වසරේ ඉගෙනුම ලබයි. සම වයස් දැරියන් වන ගයානී හංසිකා සහ තීක්ෂණා වත්තේගම ගී ගයන ආශාවරී සංගීත කණ්ඩායමේ නිවේදිකාව ලෙස කටයුතු කරන්නේ මිහිලී පේෂලා දැරියයි. ඇය ඊට අමතරව ගීත ගායනය සඳහා ද එක්වෙයි.

මේ කුඩා දැරියන්ගේ සංගීත හැකියාවන් එළිමහන් සංගීත සංදර්ශනවලත්, සමාජ මාධ්‍ය තුළත් දකිමින් ඔවුනට ආදරය කරන විශාල රසික පිරිසක් අප රටේ මෙන්ම විදෙස්හි ද සිටින බව සංගීත කණ්ඩායමේ පුහුණුකරු නාලක ජයලත් කීවේය. සමාජ මාධ්‍ය ඔස්සේ දසතින් ගලාගෙන එන සුබ පැතුම් ඊට කදිම නිදසුන් බව හෙතෙම කියයි. ආශාවරීට එලෙස ආදරය කරන අය මෙන්ම ආශාවරීගේ ජනප්‍රියත්වය දකින්නට අකමැති, ඊර්ෂාවෙන් පෙළෙමින් අකුල් හෙළන පිරිසක්ද සිටින බව ද ඔහු පැවැසීය. කොතරම් බාධක පැමිණිය ද ආශාවරී ඒ සියල්ල මැඩගෙන රසික හදවත්වලට වඩාත් ළං වෙමින් සිටින බව නාලක කියා සිටියි.

පසුගිය දිනෙක කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් කොළඹ සිට මැදිරිගිරිය නවනගරයේ යාය 06 ප්‍රදේශයේ පිහිටි නාලක ජයලත්ගේ නිවසට පැමිණීම ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවූ තත්ත්වයෙකි. ඔවුන් එසේ පැමිණ සිටියේ ලමා ආරක්ෂණ අධිකාරිය වෙතින් ලැබුණු පැමිණිල්ලක් විමර්ශනය කිරීමට බව බව පවසා ඇත. එම පැමිණිල්ල නම් වයස අවුරුදු දහසයට අඩු දැරියන් පිරිසක් යොදවා ගෙන මුදල් ඉපැයීමක් සිදුකරන බවටය.

මීට ඉහතදී ද ආශාවරී එළිමහන් සංදර්ශනයකට පැනැවුණු හදිසි තහනමක් පිළිබඳව නාලක පවසයි. ඒ ගම්පහ වැලිවේරිය ප්‍රදේශයේදීය. වැලිවේරියේදී අපට අනපේක්‍ෂිත අත්දැකීමකට මුහුණපෑමට සිදුවුණේත් ඒ අනුව තමයි. ඒකට හේතුව මොකක්ද කියලා කියන්න මම දන්නේන නෑ. කම්කරු දෙපාර්තමේන්තුවෙන් මාව හොයාගෙන ආපු නිලධාරීන් කිව්වෙ සංගීත කණ්ඩායම සංදර්ශන පවත්වන එක අත්හිටුවන්න කියලයි. ඇයි මේ දරුවෝ සංගීත ක්‍ෂෙත්‍රයේ ඉදිරියට යන්න උත්සාහයක් දරන එකේ වරදක් තියෙනවද? මීට කලින් අතීතයේ මේ රටේ ළමා ගායක ගායිකාවන් සංගීත ක්‍ෂෙත්‍රයේ ඉඳලා නැද්ද? එහෙම නම් මේ අපේ දුප්පත් දරුවන්ට විතරද ඒ තහංචි. මේ දරුවෝ සංගීත සංදර්ශනවලට සහභාගී වෙන්නේ පාසැල් වෙලාවේ නෙවෙයි. මේ නිසා ඒ අයගේ පාසැල් ගමන අඩපණ වෙලා නෑ. ඉගැනීමේ කටයුතු අතපසු කරලා නෑ. මේ දරුවන්ගේ මවුපියන්ගේ කැමැත්ත ඇතිවයි මම මේ දරුවන්ව සංගීත සංදර්ශනවලට එක්ක යන්නේ. ඒ අය සංගීත සංදර්ශන වලට සහභාගී වෙන්නේත් ඉතාම කැමැත්තෙන් 

ඔහු එසේ පැවැසූව ද තම සංගීත කණ්ඩායම පිළිබඳව සමාජයට සඟවන කිසියම් රහසක් ඇත්ද යන සැකයක් අප තුළ ඇතිවූ බවද ලියා තැබිය යුතුය. එනම් මේ කුඩා දැරියන්ගේ හපන්කම් පිළිබඳව සටහනක් ලිවීමේ අරමුණින් අප මැදිරිගියට ගිය ගමනේ දී ප්‍රථමයෙන් හමුවූයේ මැදිරිගිරිය ජාතික පාසලේ විදුහල්පති, ඩී. පී. ආර්.ඩී. චතුරංගය. අප පැමිණි කාරණය පැහැදිලි කිරීමෙන් පසු චතුරංග එයට අවශ්‍ය සහය අප වෙත ලබා දෙන්නැයි නාලක ජයලත් ගුරුතුමා විදුහල්පතිතුමන්ගේ කාර්යාලයට කැඳවා උපදෙස් දුන්නේ අප ඉදිරිපිටදී

මය. එසේ වුවද මෙම සංගීත කණ්ඩායමේ සාමාජික දරුවන් හෝ ඔවුනගේ මාපියන් සමඟ කතාබහක යෙදෙන්නට අපට අවස්ථාවක් ලබා නොදීමට මේ ගුරුවරයා වග බලා ගත්තේය. අප පැමිණි වාහනයෙන් ඒ දරුවන්ගේ නිවෙස්වලට අපව කැඳවා ගෙන යෑමට තබා අඩුම තරමින් ඒ මාපියන් සමඟ දුරකතනයෙන් හෝ කතා කිරීමට අංකයක් හෝ ලබාදීමට පවා හෙතෙම මැළි විය. ඒ අනුව අපට ඇතිවන සැකය නම් මේ දැරිවියන් යොදවා විශාල වශයෙන් මුදල් උපයන බවට දැනට පැතිර යන කටකතා සහ ළමා ආරක්ෂණ අධිකාරියට ලැබී තිබෙන පැමිණිලිවල කිසියම් සත්‍යතාවක් ඇතිද යන්නයි.මෙම දැරිවියන් යොදවා සංගීත ප්‍රසංග පැවැත්වීමෙන් විශාල මුදලක් උපයන බවට පවතින කටකතා වලට පණ ලැබෙන්නටද ගුරුවරයා විසින් පනවන මෙවැනි වාරණ හේතුවන බව ද පෙන්වා දිය යුතුය.

මේ දරුවන් සංගීත කණ්ඩායම තුළ කටයුතු කිරීම නිසා ඔවුනගේ පාසලට පැමිණීමේ හෝ ඉගෙනීමේ කටයුතු කරගෙන යාමේ දී පසුබෑමක් දක්නට නොමැති බව ඔවුන් ඉගෙන ගන්නා පාසැල්වල විදුහල්පතිවරුන් සහ විෂය භාර ගුරුවරු අප සමඟ පැවැසූහ.

රට තුළ එවන් වටපිටාවක් පරිසරයක් පවතිද්දී දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව සොයා බලන්නට, ඔවුන් යොදවන වෘත්තීන් හෝ වෙනත් කටයුතු ඇත්නම් පසුවිපරම් කරන්නට හෝ නියාමනය කරන්නට කටයුතු කිරීම රාජ්‍ය මට්ටමින් පිහිටුවා තිබෙන ආයතනවල වගකීමක් බව අපි දනිමු. එහෙයින් ඒ සඳහා කිසි­‍වකු හෝ උරණ වීම ද එතරම් යුක්ති සහගත නොවන බැව් පෙන්වා දියයුතුය.

කෙසේ නමුත් මැදිරිගිරියේ ආශාවරී යනු කටුක දුෂ්කර රජරට වනස්පතියෙන් මතුවූ කරඹ මලක් බඳුය.


අශාවරී සංගීත සංදර්ශන දැනට 50ක් තියලා තියෙනවා
– ආශාවරී නිර්මාතෘ නාලක ජයලත් කියූ කතාව

නාලක ජයලත්

 “නාලක ජයලත්” ඔබ මේ ආශාවරී සංගීත කණ්ඩායමේ නිර්මාතෘවරයා. ඔබ ගැන කෙටි හැඳින්වීමක් කළොත්?

මගේ නම එස්. ජී. නාලක ජයලත්. දැන් මගේ වයස අවුරුදු 36යි. මගේ උපන් ගමත් මැදිරිගිරිය, නවනගරය යාය 06 ගම්මානය. මගේ අම්මා තාත්තගේ උපන් ගමත් මේක.මැදිරිගිරිය ගොවි ජනපදය ආරම්භ කිරීමෙන් පස්සේ රජයෙන් ඉඩම් දෙනකොට අපේ කිරි අත්තට තමා මේ ඉඩම් හම්බ වෙලා තියෙන්නේ. මම තුන්වෙනි පරම්පරාවටයි අයිති වෙන්නේ. මගේ පවුලේ මමයි වැඩිමලා. මට බාල නංගියි, මල්ලියි ඉන්නවා.

අධ්‍යාපනය ලැබුවේ කොහේද?

මම ඉස්කෝලේ ගියේ ගමේ පාසැල වන මහින්ද ජාතික පාසලට. පාසැල් අධ්‍යාපනය අවසන් කළෙත් ඒ පාසැලෙන්මයි. පාසැල් අධ්‍යාපනයෙන් පස්සේ මම බාහිර උපාධිය ලබා ගත්තා කැලණිය විශ්වවිද්‍යාලයෙන්.

ඔබේ රැකියාව?

මේ වෙනකොට මගේ රැකියාව රජයේ පාසැලක ගුරු වෘත්තිය. මැදිරිගිරිය ජාතික පාසැලට තමයි පළමුවෙන්ම පත්වීම ලැබුණේ. ගුරු පත්වීම ලැබිලා දැනට අවුරුදු එක හමාරක් විතර වෙනවා. සිංහල විෂය උගන්වන්නේ.

ඊට කලින් ඔබ වෙනත් රැකියාවල් කළාද?

මීට කලින් අවුරුදු 10ක විතර කාලයක් මම කළේ උපකාරක පන්තිවල සිංහල විෂය ඉගැන්වීම. දැනටත් මම පාසැල් වෙලාවෙන් පසුව සහ සති අන්තයේ දිනවල උපකාරක පන්තිවල ඉගැන්වීම කරනවා.

ගුරු පත්වීමක් ලැබෙන්න කලිනුත් මැදිරිගිරියේ උපකාරක පන්ති කළාද?

මැදිරිගිරියෙත් ඉගැන්නුවා. පොලෙන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, මහනුවර වැනි නගරවලත් උපකාරක පන්තිවල මම ඉගැන්නුවා.

ඔබ සිංහල විෂය සම්බන්ධයෙන් ජනප්‍රිය ගුරුවරයෙක් වෙන්න ඇති?

ඔව් ඇත්තෙන්ම ජනප්‍රියයි. “අපේ කාලයේ දිසාපාමොක් නාලක ජයලත්” කියලා තමා මාව හඳුන්වන්නේ. මගේ පන්තිවල ළමයි තමයි විභාගයෙන් ඒ දිස්ත්‍රික්කවල පළවෙනියා වෙන්නේ. ඒ නිසයි එහෙම මාව හඳුන්වන්න හේතුව.

ඔබේ ආශාවරී සංගීත කණ්ඩායමත් දැන් හරි ජනප්‍රියයි නේ. මේ වෙනකොට සංදර්ශන කීයක් විතර පවත්වලා තිබෙනවාද?

සංගීත සංදර්ශන පවත්වන්න පටන් අරගෙන දැනට මාස තුනයි. ඒ කාල සීමාව තුළ සංදර්ශන 50ක් විතර පවත්වලා තියෙනවා.

එක සංදර්ශනයක් වෙනුවෙන් ගාස්තුව කීයක් අය කරනවාද?

ඒක ඉතින් කියන්න අමාරුයි. දුර ප්‍රමාණය අනුව වෙනස් වෙනවා.

සංගීත කණ්ඩායමේ ළමයින්ට ඔබ මුදල් ගෙවීමක් කරනවාද?

ඔව් අනිවාර්යයෙන්ම ගෙවනවා. එක ෂෝ එකකට රුපියල් 5000 ගානේ දෙනවා.

ඒ දෙන මුදල් දරුවෝ වියදම් කරනවාද? නැතිනම් ඒ අයගේ ගෙවල්වලට දෙනවාද?

මම ඒ දරුවන්ට බැංකු ගිණුම් ආරම්භ කරලා ඒ සල්ලි පොත්වල දාලා දෙනවා. ඒ අයගේ ඇඳුම්, සපත්තු ආදිය ගන්න වියදම්වලට සල්ලි ගන්න අවස්ථා තියෙනවා. දැන් සපත්තු කුට්ටමක් රුපියල් 6,000ක් විතර වෙනවා. ඇඳුම් වලටත් රුපියල් 10,000ක් විතර යනවා.

වගකීම ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවට
– උදය කුමාර අමරසිංහ, සභාපති, ළමා රක්ෂණ අධිකාරිය

උදය කුමාර අමරසිංහ

ළමයින්ට සිදු වෙන අපචාර සම්බන්ධව පැමිණිලි බාර ගැනීම සහ ඒවා අදාළ අංශ වෙත යොමු කිරීමේ නෛතික බලය පැවරෙන්නේ අපටය. අදාළ පැමිණිල්ල කම්කරු දෙපාර්තමේන්තුවට යොමු කළා. මේ සඳහා ක්‍රියා කිරීමේ වගකීම ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවට. මීට අදාළ විමර්ශන කිසිවක් අප සිදු කරන්නේ නෑ.


පොලිසිය මැදිහත් වෙන්නෙ නැහැ
– 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය

ආශාවරී වැනි සංගීත කණ්ඩායම් හෝ වෙනත් කලා දක්ෂතාවන් පිළිබඳව පොලිසිය මැදිහත් වී ඒවා නැවැත්වීමට හෝ පාලනය කිරීමට කිසිවිටෙකත් කටයුතු නොකරයි

ප්‍රචාර අසත්‍යයි 
– නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති කම්කරු කොමසාරිස් ජනරාල්

නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති

ළමා ශ්‍රමය මෙරටින් තුරන් කිරීමේ කාර්ය නීතියෙන් පැවරී ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවට යි. එහෙත් ළමා හැකියාවන් ප්‍රගුණ කිරීමට අනතුරුදායක නොවන පුහුණුවීම් කටයුතු සිදු කිරීමට ළමයින් සේවයේ යෙදවීමේ පනත මඟින් බාධා නොකරයි. ආශාවරී සංගීත කණ්ඩායම තහනම් කළ බවට වන ප්‍රචාර අසත්‍යයයි.

(2022 නොවැම්බර් 13 වැනි දින සිළුමිණ පුවත්පතේ පළ වූ ලිපියකි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!