-1.6 C
New York

ධනුෂ්කට අද සිදු වූ දේ

Published:

කාන්තාවකට අතවර කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ අනන්‍යතාව තහවුරු කරගැනීම අද (07) සිඩ්නි අධිකරණය මගින් සිදුකෙරිණි.

සිඩ්නි නගරයේ රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටින ඔහු වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහි දී ඔහුට ඇප ලබාදීමක් සිදුවූයේ නැත.

නැගෙනහිර සිඩ්නි ප්‍රදේශයේ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව නිව් සවුත්වේල්ස් පොලිසිය විසින් ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇප මත මුදාහැරීම පොලිසිය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා ඕස්ට්‍රේලියාවට ගිය ධනුෂ්ක ගුණතිලක එහි පළමු වටයේ තරඟ අතරතුර ආබාධයකට ලක්වූ අතර ඉන් පසු තරඟවලට සහභාගී නොවුණ ද ඔහු කණ්ඩායම සමඟ එහි තබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය කටයුතු කර තිබිණි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ අවසන් තරඟය නිමා වී පැය කිහිපයකට පසු ඊයේ (06) අලුයම නිව් සවුත්වේල්ස් පොලිසිය ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

අන්තර්ජාල යෙදවුමක් ඔස්සේ තමන් ධනුෂ්ක ගුණතිලක හඳුනාගත් බවත් ඉන් අනතුරුව අදහස් හුවමාරු කරගෙන ඔහු නිවසට පැමිණි බවත් කාන්තාවක විසින් පොලිසියට පැමිණිලි කර තිබේ. එලෙස පැමිණි ධනුෂ්ක ගුණතිලක විසින් තමන්ට ලිංගික අතවරයක් කළ බව ද ඇය පැමිණිලි කර ඇතැයි පොලිසිය මාධ්‍යයට පවසා ඇත.

ධනුෂ්ක සම්න්ධයෙන් එරට අධිකරණය ගනු ලබන ක්‍රියාමාර්ග සමීපපව නිරීක්ෂණය කරන බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා කර පුළුල් පරීක්ෂණයක් කඩිනමින් ආරම්භ කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ. ඔහු වරදකරු වුවහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද එම ආයතනය පවසයි. මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුට සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ ක්‍රීඩා කිරීම තහනම් කිරීමට ද පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කියයි. ඔහු වරදකරු යැයි ඕස්ට්‍රේලියානු අධිකරණය තීරණය කළහොත් වසර 14ක උපරිමයක් දක්වා සිරදඬුවම් නියම වන බව නීති විශාරදයෝ කියති.

ආබාධයකට ලක්ව සිටි ධනුෂ්ක ගුණතිලක ආපපසු ශ්‍රී ලංකාවට නොඑවා ඕස්ට්‍රේලියාවේ රඳවා තබාගත්තේ කවර හේතුවක් නිසා දැයි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරුණු විමසා ඇත.  

Related articles

Recent articles

spot_img