වලස්මුල්ල සිට මහනුවර දක්වා අද (04) සවස ධාවන වෙමින් තිබූ පුද්ගලික බස් රථයකට නැගගත් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් කිහිප දෙනකුට තුවාල සිදුවී බස් රථයටත් අලාභහානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.
දෙපිරිස අතර ඇති වූ ගැටුම හේතුවෙන් බස් රථය හබරාදුව පොලිසිය භාරයට ගෙන ඇති අතර ගැටුමට සම්බන්ධ පිරිසක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැලිගමින් පිරිසක් බසයට පළමුවෙන් ගොඩ වී ඇති අතර ඔවුන් බීමත්ව සිටි බවත්, ගාල්ලෙන් බහින බව පැවසූ බවත් එම බසයේ ගමන් ගත් මගීහු කියති. තවත් කණ්ඩායමක් ඉන් පසු බසයට වැලිගම ආසන්නයෙන් ම ගොඩවී ඇති අතර විනාඩි කිහිපයකින් ඔවුන් දෙපිරිස අතර මේ ආරවුල හටගෙන තිබේ.
සාමාන්‍ය මගීන්ට ද බාධා වන අයුරින් ගැටුම් ඇතිකරගත් මේ දෙපිරිස 30කට ආසන්න පිරිසක් බවත් පැවසේ.
හබරාදුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.