ද්විත්ව පුරවැසියන්ට තවදුරටත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවසරයක් නැතත් එවැනි පුද්ගලයන් මන්ත්‍රීධූරවල තවත් කාලයක් රැඳී සිටිනු ඇතැයි නීති වේදීහු පෙන්වා දෙති.
ඔවුන් පවසන්නේ ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග පවා ගැනීමට සිදුවනු ඇති බවයි.
පාර්ලමේන්තුවේ මන්ත්‍රීවරු ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටිය ද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක දේශපාලනය අනුව ද්විත්ව පුරවැසියන් ස්වේච්ඡාවෙන් ම සිය මන්ත්‍රීධූරවලින් ඉවත්වනු ඇතැයි කිසිසේත්ම විශ්වාස කළ නොහැකි කරුණකි.
ඒ අනුව එළැඹෙන සතියේ දී කතානායකවරයා විසින් සංශෝධිත ව්‍යවස්ථාවට අත්සන් තබා බලාත්මක කිරීමෙන් පසු ද්විත්ව පුරවැසියන් යැයි සැකකරනු ලබන මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග පවා ගැනීමට සිදුවනු ඇත. එය අධිකරණයක දී තහවුරු කිරීමට සිදුවන තත්වයක් දැනට උදා වී තිබේ.
මේ වනවිට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 10 දෙනකු ද්විත්ව පුරවැසියන් බව පැවසුණ ද ඒ බව තහවුරු කරගැනීමට අවශ්‍ය වේ. ඒ හේතුවෙන් ආගමන විගමන පාලකවරයාගෙන් ද ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරු පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුව විසින් ඉල්ලා ඇති අතර බුද්ධි අංශවලින් ද මේ වනවිට තොරතුරු ලබාගන්නා බව වාර්තා වෙයි.
මීට ඉහත ගීතා කුමාරසිංහගේ ද්විත්ව පුරවැසි බව පිළිබඳ තීරණයක් ගැනීම සඳහා අධිකරණයේ පැවරුණු නඩුව අවසන්වීමට වසර දෙකක පමණ කාලයක් ගත වූ බැවින් ඉදිරියේ දී ද ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරු සිය කැමැත්තෙන් ඉල්ලා අස් නොවුණහොත් ඔවුන්ගේ පුරවැසිභාවය තහවරු කරගෙන අධිකරණ ක්‍රියාවලියකින් ඉවත්කිරීම සඳහා දීර්ඝ කාලයක් ගතවනු ඇති බව නීතිවේදීන් පෙන්වා දෙයි.