spot_img
spot_imgspot_img

“වරදක් නැතිව දඬුවම් විඳිනවා දුටින්” – සිංහරාජය කපා දැමීමේ උත්සාහයක්

පුවත්

විදෙස්

(සිරංගිකා ලොකුකරවිට)

“දුකක් නැතිව කඳුළක් හෙළනවා දුටින්

ලෙඩක් නැතිව බෙහෙතක් බඳිනවා දුටින් 

වරදක් නැතිව දඬුවම් විඳිනවා දුටින්

කළයක් අරන් ජලයක් බානවා දුටින්”

මේ පැරණි කිතුල් කවියකි. සිංහරාජ  මහා වනාන්තරයේ කිතුල් මැදීම සඳහා අතීතයේ  පැල් අටවා ගත් ප්‍රදේශය අද හැඳින්වෙන්නේ පැල්වාඩිය නමිනි. කිතුල් මැදීමට අතුරේ ගිය මිනිසුන් ද එහි නැවතී සිටි බැවින්  අතුරේගෙදර පැල්වාඩිය යනු නම් දෙකක් ඇති එකම ගමකි.

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, දෙල්ලව වනාන්තරය මායිමේ සුන්දර පරිසරකට හිමිකම් කීව ද අතුරේගෙදර පැල්වාඩිය ගමේ අදට ද ඇත්තේ ඉහත  කිතුල් කවියේ පද සිහිගන්වන තත්ත්වයකි. 

මැතිවරණයක් පැවැත්වෙන විට පැල්වාඩිය අතුරේගෙදර ගම ගැන කඳුළු කතා පත්තර පිටු ගණනක ලියැවෙයි. රූපවාහිනී නාලිකාවල ද විනාඩි කිහිපයක් ඒ දුකට වෙන් වෙයි. මේ සියල්ලෙන් කියැවෙන්නේ ගමේ ජනතාවට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කිලෝමීටර් 50කට වැඩි දුරක් දුෂ්කරතා විඳ ගෙන ගමන් කිරීමට සිදුවන බව ය. අතුරේගෙදර පැල්වාඩිය ගම දෙල්ලව වනාන්තරය හේතුවෙන් ග්‍රාම නිලධාරී වසමෙන් වෙන් ව හුදෙකලාව පිහිටා ඇති බවත්, ප්‍රවේශ මාර්ගක් පවා නොමැති අතිශය දුෂ්කර ගමක් බවත් බොහෝ ‘මාධ්‍ය කතාවල’ කියවෙයි. 

මැතිවරණ කාලයේ දී මේ ගමට දැඩි අවධානයක් යොමු වන අතර ඡන්දය ජය ගැනීමෙන් පසු, දෙල්ලව වනාන්තරය කපා ගමට පාරක් තනා දෙන බවට දේශපාලකයෝ රැස්වීම්වල දී දහසක් පොරොන්දු දෙති. 

සැබැවින් ම ගමේ ප්‍රමුඛ අවශ්‍යතාව රක්ෂිත වනාන්තරයක් කපා ගමට මාර්ගයක් සකසා ගැනීම ද යන්න විමසා බැලිය යුතු වන්නේ අද ඔවුන් මුහුණ දෙනවා යැයි උත්කර්ශයට නංවන ගැටලුවට උචිත වන විසඳුම පරිපාලනමය අංශ වෙතින් සරලව ම ලබා ගත හැකි වන හෙයිනි.  ඒ සඳහා දෙල්ලව රක්ෂිත වනාන්තරය කපා දැමීම ප්‍රථම හා එක ම විසඳුම නොවන හෙයිනි.

ගමේ පිහිටීම 

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 238 ඒ, ඉහළ මිල්ලව ග්‍රාම නිලධාරී වසමට අතුරේගෙදර පැල්වාඩිය ගම අයත් වෙයි.

මේ ගම ඉහළ මිල්ලව ග්‍රාම නිලධාරී වසමෙන් ස්වාභාවික ව ම හුදකලා වී තිබේ. ඒ, අතීතයේ දෙල්ලව රක්ෂිතය ලෙස හැඳින්වූ වනාන්තරය නිසා ය.   2019 වර්ෂයේ සිට දෙල්ලව රක්ෂිතය, සිංහරාජ රක්ෂිතයට එකතු කර ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇති බැවින් දැන් එය සිංහරාජ රක්ෂිතයයි. 

මේ ගමට ගාල්ල දිස්ත්‍රික්කයෙන් පිවිසුම් මාර්ගයක් නැත. ගමට පිවිසිය හැක්කේ මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය, පල්ලේගම සිට වතුරාව ඔස්සේ, බෙලිඅත්තකුඹුර හරහා දිවෙන මාර්ගයෙන් පමණි. අතුරේගෙදර පැල්වාඩිය ගමේ අවසන් නිවස ද පසු පසුවන තුරු එම පාර කාපට් යොදා සංවර්ධනය කර ඇත.

ගම‍ේ පිහිටීම, ඡන්ද මධයස්තානය සහ ය‍ෝජිත මාර්ගය දැක්වෙන සිතියම

ගම් වැසියෝ

ගමේ ජීවත්වන පවුල් සංඛ්‍යාව 74ක් වන අතර එම පවුල්වල සාමාජිකයෝ  300ක් පමණ සිටිති. ඔවුන්ගෙන් ඡන්ද බලය හිමිව ඇත්තේ 164 දෙනකුට පමණි. 

අදින් දශක හතරකට පහකට ඉහතදී කැලෑ කොටා පදිංචි වූ බහුතරයකට එම ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ද නැත. ආණ්ඩුව විවිධ අවස්ථාවල දී ඉඩම් ප්‍රදානය කර ඇත. ඒවා රජයේ ඉඩම්ය.ඒ නිසා කිහිප දෙනකුට පමණක් සින්නක්කර ඔප්පු ඇත. 

ගම්වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය තේ වගාව වන අතර වී, පොල් සහ එළවළු වගා කළ සශ්‍රීක ඉඩම් ඇත. සෑම නිවසකම පාහේ යතුරු පැදියක් හෝ ඇති අතර, නිවෙස් උළු සෙවිළි කර ගොඩ නඟා ඇත. අධ්‍යාපනය අවසන් බොහෝ කළ තරුණ තරුණියන් ගමින් බැහැර ව රැකියා ‍සඳහා පිටත් ව ගොසිනි.

අතුරේගෙදර පැල්වාඩිය ගම

ගම සැබැවින් ම දුෂ්කර ද ?

මේ ගමට තෙකලා විදුලිය තිබේ. ඒ විදුලිය ලැබෙන්නේ දෙණියාය දෙසිනි.

ගමේ දරුවන් බහුතරයක් පාසල් යන්නේ ද, බැංකු කටයුතු  ඇතුළු  සියලු අවශ්‍යතා ඉටුවන්නේ ද දෙණියාය සහ පල්ලේගම නගරවලිනි. 

“ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ ප්‍රාදේශීය සභාවෙන් යමක් කරගන්න වුණොත් ඒකට නෙළුවට යන්න ඕනෑ. ග්‍රාම නිලධාරී ඉන්නේ මිල්ලව නිසා ග්‍රාම නිලධාරී සහතිකයක් ගන්න හෝ මරණයක් සිදුවුණා ම ඒ කටයුතු සඳහාත් කිලෝ මීටර 50ක් විතර යන්න ඕනෑ. නැත්නම් ග්‍රාම නිලධාරීවරයා කැලේ මැදින් තියෙන අඩි පාරේ ගමට ගෙන්න ගන්න වෙනවා. පවුල් සෞඛ්‍ය සේවිකාව ඉන්නෙත් මිල්ලව. ඒ නිසා දරුවන් ලැබෙන්න ඉන්න කාන්තාවන්ට සායනික කටයුතු සඳහා එහාට යන්න දහ දුකක් විඳින්න වෙනවා” යි අතුරේගෙදර ගමේ වාසයකරන ජී.සුබසිංහ මහත්මිය (61) කියයි.

ඇය එසේ පැවසූව ද මාතෘ සායනය සඳහා ඔවුන්ට දෙණියාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් පහසුකම් ලැබෙන බව අපට තහවුරු කර ගැනීමට හැකි විය. වෛද්‍යවරයකු හමුවීම සඳහා ද ඔවුන් යන්නේ දෙණියාය රෝහලට යි.

ජී.සුබසිංහ

ඡන්ද දවසක සිදුවන්නේ කුමක්ද?

ඡන්දය දිනයට පළාතේ දේශපාලකයන් ගම්වැසියන්ට ඡන්ද මධ්‍යස්ථානයට යාමට බස් රථයක් දෙයි. ඒ බසයේ ගොස් ප්‍රවාහන පහසුකම් සැපයූ අපේක්ෂකයාට හෝ ඔහුගේ කණ්ඩායමට මනාපය ලබා දී පැමිණීම ගැමියන්ගේ පුරුද්ද ය.  එදින ඔවුන්ට නගරයේ ඇවිද  තම අවශ්‍යතා ඉටු කරගැනීමට ද හැකියාව ලැබෙයි. ගමේ ඇතැම් අය කැලේ මැදින් පා ගමනින් ගොස් ඡන්දය ප්‍රකාශ කරති.

එවකට නෙළුව ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කළ චතුරංග ගුණසේකර මහතා පවසන්නේ 2020 වසරේ පාර්ලිමේන්තු මැතිවරණය පැවති දිනයේ ද ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගැමියන්ට බස් රථයක් ලබා දුන් බව ය.

විදානපතිරණගේ මාටින් සිංඤෝ මහතා (60) කැළය කපාගෙන ගමෙහි පදිංචි වූවෙකි. ඔහුට දැන් රජයෙන් ඒ ඉඩම දීමනාවක් ලෙස ලැබී තිබේ. ඔහු පවසන්නේ  කැලේ මැදින් පාරක් දෙන බව කියමින් දේශපාලකයන් ගැමියන් රවටන බවයි. ප්‍රධාන පාරෙන් කිලෝ මීටර 50ක් යා යුතු ගමන කැලේ මැදින් යන විට කිලෝ මීටර 04ක් දක්වා අඩුවන බව ද ඔහු කීවේය.

මාටින් සිංඥෝ

කැලෑ කපා අල්ලාගත් ඉඩම්වලට මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලයේ දී දීමනා පත්‍ර ලැබී ඇත. ඔවුහු දැන් කැලේ කපා පාරක් ඉල්ලති.

“මාත් කැලේ කපාගෙන තේ වවලා ගෙවල් හදාගෙන පදිංචි වුණා. අපිට දැන් රජයේ ඔප්පු දීලා තියෙනවා. සින්නක්කර ඉඩම් නෑ. අපි ඉල්ලන්නේ මේ ගමට පාරක්.” එසේ කීවේ වයස 55ක් වන එම්.ආර්.ජී.ජයතිලක මහතාය. 

එම්.ආර්.ජී.ජයතිලක

ඡන්ද මධ්‍යස්ථානය පිහිටුවන මිල්ලව කණිෂ්ඨ විද්‍යාලයට ගිය අප, එහි සිට දුර සලකුණු කර ගනිමින් අතුරේගෙදර පැල්වාඩිය ගමට ගිය විට එම දුර කිලෝ මීටර 37ක් බව තහවුරු විය.ඡන්දය දැමීමට කිලෝමීටර් 50ක් යෑමට සිදුවන බවට කියන කථාවේ සත්‍යයක් නොමැති බව එයින් පැහැදිලි විය.

ගමට ආසන්න ම පොදු බස් රථ පැමිණෙන ස්ථානය බෙලිඅත්තකුඹුර ය. ගමේ අවසන් නිවසේ සිට බෙලිඅත්තකුඹුරට දුර කිලෝ මීටර 5.1කි. බෙලිඅත්තකුඹුරේ සිට දෙණියාය නගරයට දුර කිලෝ මීටර 10කි. නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දෙණියාය මිල්ලව හරහා යන්නේ නම් කිලෝ මීටර 57ක් දුර වන අතර පල්ලේගම හරහා ලංකාගම මාර්ගයේ නෙළුවට යන්නේ නම් ඇත්තේ කිලෝ මීටර 35කට වඩා අඩු දුරකි. 

මිල්ලව කණිෂ්ඨ විද්‍යාලයේ පිහිටි ඡන්ද මධයස්ථානය

සැඟවුණු අරමුණක්

“දුකක් නැතිව කඳුළක් හෙළනවා දුටින්” යන පද වැලෙහි අර්ථය මේ ගමට මනාව ගැළපෙන්නේ ගම්වැසියන්ගේ ‘වවා ගත් දුකට’ දේශපාලකයන් කිඹුල් කඳුළු හෙළන නිසා ය. ඡන්ද පෙට්ටියක් ඉදිරියට දමා සපුරා ගන්නට ඔවුන් තැත් දරන වුවමනාවේ සැඟවුණු අරමුණ වෙනෙකක් බව කරුණු සොයා බැලීමෙන් තහවුරු තර ගන්නට අපට හැකියාව ලැබිණි.

ගම්වැසියන් සහ දේශපාලකයන් ඉල්ලා සිටින්නේ අතුරේගෙදර පැල්වාඩිය ගමට නෙළුව දෙසින් මාර්ගයකි. දෙල්ලව රක්ෂිතය හරහා අඩි 20ක් පළල පැරණි මාර්ගයක් ඇති බවත් කැළය කපා එම මාර්ගය තමන්ට යළි සකසා දෙන ලෙසත් ගම්වැසියෝ ඉල්ලා සිටිති.

මේ මාර්ගයේ කතාව කරළියට පැමිණ ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ව සිටිය දී ය. එවකට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වූ පියසේන ගමගේ තමන්ට වාසි සැලසෙන ඡන්ද බළකොටුවක් ලෙස මේ ගම සැලකුවේ ය. ඔහු ගමේ ‘මවා ගත් දුෂ්කරතා’ පෙන්වා දෙමින් 2011 වර්ෂයේ සිට, නෙළුව සිට දෙල්ලව රක්ෂිතය හරහා අතුරේගෙදර පැල්වාඩිය දක්වා මාර්ගයක් ලබා දෙන ලෙස දිගින් දිගට ම ඉල්ලීම් කර තිබේ.

මාතර, තිහගොඩ, පේලිගොඩ ඝෝෂිතාරාමයේ වැඩ සිටින, අගලකඩ ධම්මාලෝක හිමියන් ද මේ මාර්ගය ඉල්ලා සිටින ප්‍රබල චරිතයකි. හිමියන් පවසන්නේ 1920 වර්ෂයේ සිට දෙල්ලව කැලේ මැදින් පාරක් පැවති බව ය. 

 අතුරේගෙදර ගමේ  ජීවත් වූ තම ඥාතීන්ගෙන් උරුම වූ සින්නක්කර ඔප්පු තමන්ට ඇති බව ධම්මාලෝක හිමියෝ කියති. දැනට මාතර රැකියාව කරන තමන් විශ්‍රාම ගිය පසු  වූ ඒ ඉඩමක පන්සලක් සාදාගෙන දිවි ගෙවීමට අපේක්ෂා කරන බැවින් කැලේ මැදින් පාරක් අවශ්‍යයයි ඒ හිමියෝ ද කියති.

ගමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී සරත් ජයවර්ධන මහතා, කැලය මැදින් පාර ඉල්ලා දේශපාලකයන්ට සහ විවිධ ආයතන වලට  ලිපි ගණනාවක් ලියා තිබේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ද ඔහු මේ මාර්ගය සැකසීම සඳහා ඉල්ලීමක් කර ඇත. 

සාගල රත්නායක, පියසේන ගමගේ, හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා සහ නෙළුව ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.අයි.ජී.සුනිල් යන අය ද මාර්ගය සකස් කිරීම  සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා තිබේ.  

එසේ වුව ද යෝජිත මාර්ගය සම්බන්දව  මේ දක්වාම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවසරයක් ලබා දී නැත.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අප කළ ඉල්ලීමකට පිළිතුරු වශයෙන් ගාල්ල දිසා වන සංරක්ෂක කර්යාලයෙන් ලැබුණු ලේඛන අනුව පැහැදිලි වන්නේ දෙල්ලව සිට ඉහළගල ආරණ්‍ය සේනාසනය, අලිවාඩිය හරහා අතුරේගෙදර දක්වා යෝජිත මාර්ගයේ මුළු දිග කිලෝ මීටර 8.1ක් බව ය. එහි දෙල්ලව සිට  කිලෝ මීටර 01ක පමණ අඩි 08ක් පළලට ඇති අතර දෙල්ලව සිට ඉහළගල ආරණ්‍ය සේනාසය දක්වා අඩි 12ක් පළල, කිලෝ මීටර 04ක කොටසක් පවතී. ආරණ්‍යය අසල සිට අලි වාඩිය දක්වා මාර්ගය අතහැර දමා ඇති අතර එය දැන් වනාන්තරයෙන් වැසී ගොස් තිබේ. එම දුර කිලෝ මීටර 02ක් පමණ වෙයි.  

මේ මාර්ගයේ දෙල්ලව සිට නෙළුව ප්‍රාදේශීය සභාවට අයත් ව ඇත්තේ කිලෝ මීටර 02ක දුරක් පමණි. එතැන් සිට සිංහරාජ රක්ෂිත වනාන්තරයට අයත් භූමියේ පිහිටි කිලෝ මීටර 5.5 ක දුර ඇතුළත කිසිදු ගමක් හෝ නිවසක් නැත. 

මේ සම්බන්ධයෙන් ගාල්ල දිසා වන නිලධාරී ආචාර්ය වසන්ත ලියනගේ මහතාගෙන් විමසූ විට ඔහු කීවේ රටේ පවතින වන සංරක්ෂණ නීතිය අනුව රක්ෂිතයක් හරහා මාර්ගයක් තැනීමට කිසිසේත් ම ඉඩ ලබාදිය නොහැකි බව ය. 

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එසේ කීව ද දේශපාලකයන්ගේ පෙලැඹවීමෙන්  2011 වර්ෂයේ දී කොළඹ, මතුගම, නෙළුව, දෙල්ලව හරහා අතුරේගෙදර පැල්වාඩිය ඔස්සේ දෙණියාය මාර්ගය තැනීමට වරාය හා මහා මාර්ග අමාත්‍යාංශය ලංසු ද කැඳවා තිබිණි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය නොලැබීම නිසා මාර්ගය තැනීමේ උත්සාහය සාර්ථක වූයේ නැත. 

මාර්ගය සැකසීම සඳහා ලංසු කැඳවා ඇති ආකාරය

ලෙඩක් නැතිව බෙහෙතක් බඳිනවා දුටින්” 

දේශපාලකයන් ‍කියන තරම් දුකක් අතුරේගෙදර පැල්වාඩිය ගමේ වැසියන්ට නැත.  ඔවුහු ගැමි පරිසයේ තම ජීවන වෘත්තීන්වල යෙදෙමින් ජීවිකාව සරි කරති.

මේ නිසා ම කිතුල් කවියේ දෙවැනි පදයේ දැක්වෙන,  “ලෙඩක් නැතිව බෙහෙතක් බඳිනවා දුටින්” යන්න පැල්වාඩිය අතුරේගෙදර ගම සම්බන්ධයෙන්  සත්‍යයක් වී තිබේ. 

ගමේ තරුණයන් පවසන්නේ දිස්ත්‍රික් මායිම් වෙනස් කර ගම මාතර දිස්ත්‍රික්කයට ඇතුළු කරනවාට කැමැත්තෙන් පසු වන බව ය.

 ගමේ තරුණයකු වන ලහිරු මධුශංක (26) මෙසේ කීවේය. 

“අපි ඉගෙන ගත්තේ දෙණියායේ. සියලු ම කටයුතුවලට යන්නේ දෙණියායට. බැංකු ගනුදෙනු වෙන්නේ, සන්නිවේදන කටයුතු වෙන්නේ, තැපැල් ලිපින තියෙන්නේ, තැපැල් බෙදන්නේ, ලයිට් බිල් ගෙවන්නේ මාතර දිස්ත්‍රික්කයෙන්. අපිනම් කැමතියි මේ දිස්ත්‍රික් මායිම් වෙනස් කරලා අපේ ගම මාතර දිස්ත්‍රික්කයට ඇතුළු කරනවාට. රජයේ ඇතැම් නිලධාරීන් පවා මේක අල්ලගෙන වාසි ගන්නවා.”

ලහිරු මධුශංක

ගාල්ල දිස්ත්‍රික්කයේ හුදකලා වූ මේ ගමට රජයේ දීමනා සියල්ල, කිසිදු සොයා බැලීමක් හෝ වග විභාගයක් නැතිව ලැබෙයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ජංගම සේවයක් පැවැත්වීමට මෙන් මාසයකට හෝ දෙකකට වතාවක් ගමට පැමිණ නා, කා බී විනෝද වී යන බව කියන තරුණයන් පවසන්නේ අතුරේගෙදර පැල්වාඩිය ගම, මාතර දිස්ත්‍රික්කයට ඇතුළු කිරීමට බලධාරීන් ද මනාප  නැති බව ය.

නෙළුව ප්‍රාදේශීය ලේකම් ආර්.එච්.එස්. ප්‍රියදර්ශන මහතා පවසන්නේ මෙවැනි කතාවකි.

“ඡන්ද පෙට්ටියේ ප්‍රශ්නය නම් අපිට ඊළඟ මැතිවරණයේදී විසඳන්න පුළුවන්. ගමට බහුකාර්ය ගොඩනැඟිල්ලක් හදලා ඡන්ද පෙට්ටියක් එතැන තියන්න දැනට සාකච්ඡා කරලා තිබෙනවා. දෙල්ලව කැලේ හරහා පාර දෙන්න වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකඟ නැහැ. ගමේ ජනතාව මාතර දිස්ත්‍රික්කයට එකතුවෙන්න කැමති නැති නිසා අපිට තීරණයක් ගන්න බැරිවයි ඉන්නේ”

වරදක් නැතිව දඬුවම් විදිනවා දුටින්

සිංහරාජ වනාන්තරය යනු නිරිත දිග තෙත් කලාපයේ පිහිටි විශාලත ම සදාහරිත වැසි වනාන්තරය යි. කිසිම දිනක මිනිස් පහසක් නොලැබූ වනාන්තරයක් ලෙස සැලකෙන එය ප්‍රාග් ගොන්ඩ්වානා යුගයේ සිට අඛණ්ඩව පැවත එන බැවින් 1988 වර්ෂයේ දී මෙරට ප්‍රථම ලෝක උරුමය ලෙස නම් කෙරිණ. ඉන් පසු 1997 වර්ෂයේ දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාතික සංරක්ෂණ සමාලෝචන ව්‍යාපෘතිය අනුව කරන ලද දිගු කාලීන අධ්‍යයනයකින් පසු දෙල්ලව රක්ෂිතය ඇතුළු පරිවාර වනාන්තර 12ක් සිංහරාජ වනාන්තරයට එක්කර එහි සීමා මායිම් නැවත ගැසට් කෙරිණි. 

මේ ‍යෝජිත මාර්ගය වැටී ඇත්තේ වර්තමාන සිංහරාජ මහා වනාන්තරය මැදිනි. ‍ඉහළ ජෛව විවිධත්වයක් ඇති අතිශය සංවේදී වනාන්තර කොටසක් කපා හෙළි පෙහෙළි කරමින් මාර්ගයක් තැනීම මෙරට වන සංරක්ෂණ නීතිය අනුව කිසිසේත් ම කළ නොහැකි කාර්යයකි. එවැනි උත්සාහයක යෙදීම පවා සිංහරාජ වනාන්තරය ලෝක උරුම තත්වයෙන් ඉවත්වීමට ද හේතුවක් විය හැකි ය. 

කළ යුත්තේ කුමක් ද ?

අතුරේගෙදර පැල්වාඩිය ගම ගාල්ල දිස්ත්‍රික්කයෙන් හුදකලාව පැවතීම සත්‍යයක් වුව ද සැබැවින්ම එය දුෂ්කර ගමක් නොවේ. 

ඡන්ද පෙට්ටියේ ගැටලුව විසඳා ඇතැයිි ප්‍රාදේශීය ලේකම්වරයා කියයි.

ඉතිරිව ඇති ප්‍රධාන ගැටලුව වන්නේ පරිපාලනමය කාර්යයන් ඉටුකර ගැනීමේ දුෂ්කරතාවයි.  

මාර්ගය අවශ්‍ය වී ඇත්තේ ගමේ නැති දුෂ්කරතා පෙන්නා, කැලේ කපන්නට පිඹුරුපත් සකසන දේශපාලකයන්ට බව පැහැදිලි ය. ඔවුන්ගේ අරමුණ තම ඡන්ද ගොඩ රැක ගැනීම ය. නැතිනම් මාර්ග තැනීමට වියදම් කරන කෝටි ගණනක මුදලින් කොමිස් ලබා ගැනීමය. 

ගමේ තරුණ ප්‍රජාව මේ ප්‍රශ්නය තේරුම් ගෙන ඇතැයි පෙනෙන්නට තිබේ. ඔවුන් පවසන්නේ තම ගම මාතර පරිපාලන දිස්ත්‍රික්කයට එකතුකර රක්ෂිත වනාන්තරය බේරා ගතයුතු බව ය. 

ලෝක උරුම වනාන්තරයක අගය නොදන්නා බල ලෝභී දේශපාලකයනුත්, පක්ෂ පාට තවරා ගත් දේශපාලකයන්ගේ ‘වැදි බණ’ දේව භාෂිත සේ සලකන  ගමේ ඇතැම් වැඩිහිටියනුත් ‘ප්‍රශ්නය’ මඩේ දම දමා සෝදන බව පෙනෙන්නට තිබේ.

නෙළුව සිට දෙල්ලව රක්ෂිතය හරහා අතුරේගෙදර පැල්වාඩිය දක්වා මාර්ගයක් ලබා ගැනීමේ හානිකර අරමුණ වෙනුවට, පවුල් කිහිපයක් පරිපාලනමය වශයෙන් මාතර දිස්ත්‍රික්කයට එකතු කිරීමේ සරල පිළිතුරක් පවතින බව ඇතැම් රාජ්‍ය නිලධරයන් ද වුවමනාවෙන් ම අමතක කර දමා ඇති බව මැදිහත් ව බලන කවරකුට වුව ද තේරුම් යන්නකි.

බලධාරීන්ගේ පටු  තීන්දු  තීරණ නිසා  කිසිදු වරදක් නැති මහා වනාන්තරය නිස්කාරණේ දඬුවම් විඳිය යුතුද?

ගමේ අවසන් නිවස දක්වාම මාර්ගය කාර්පට් කර ඇති ආකාරය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!